Saturday, July 20, 2013

Gossip News - ලේ පෙරෙන කටවල් සහිත මිනීකන යක්ෂයන් අප හමුවට එන්නේ මෙහෙමයි

ලේ පෙරෙන කටවල් සහිත මිනීකන යක්ෂයන් අප හමුවට එන්නේ මෙහෙමයි 
මින් මද කලකට ඉහතදී මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වයස අවුරුදු දොළහක පිරිමි දරුවකු මා වෙත එක්කරගෙන ආවේ ඔහුගේ මවුපියන්ය. මේ දරුවාගේ විශේෂත්වය වූයේ කරේ කහ, රතු හා කළු නූල් ‍පොටවල් කිහිපයක් පළඳවා තිබිමයි. “පුතාට නිතරම අවතාර පේනවා.  එයා ඒකට බය වෙලා එයාට තොවිලයක් කරල ආරක්ෂා නූලකුත් දැම්මා. වැඩක් වුණේ නෑ. පුතාගෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර් තමයි කිව්වෙ ඩොක්ටර් කෙනකුට පෙන්නන්න කියල.”

දරුවාගේ මව කීවේ බොහෝ අවිහිංසක ලෙසය. ඉන්පසු මම දරුවාගේ රෝග තත්ත්වයේ සුලමුල විමසුවෙමි. ඔහු එම මවුපියන්ගේ වැඩිමහල් දරුවා වූ අතර වයස අවුරුදු පහක නැගණියක්ද ඔහුට සිටියි. ඊට සති හතරකට පමණ ඉහතදී දිනක් මේ දරුවා සිහිනෙන් බය වී කෑගසා අවදි වී ඇත. දළ දෙකක් සමග අතිශය විකෘති මුහුණක් ඇති අද්භූත මනුෂ්‍යයෙකු තමා දුටු බව එම දරුවා ඒ මොහොතේ කියා තිබිණි. ඉන්පසු වරින්වරම රාත්‍රියේ අවදියෙන් සිටින විටදී ඔහුට මේ අද්භූත රුව පෙනී ක්ෂණයෙන් නැති වී ගොස් ඇත. වරෙක ඇඳ යටින් එම අද්භූත රුව මතු වූ අතර තවත් විටෙක ජනෙල්වලින් එබි බලනු දරුවා දැක තිබේ. ඒ අවස්ථාවට දරුවා මහ හඩින් කෑගසා අවදි වෙයි. 
ඉන්පසු කට්ටඩියෙක් ලවා ඇප නූලක් දමා ඉන් සතියකට පමණ පසු නිවසේ තොවිලයක් සූදානම් කර තිබිණි. 
මේ දරුවාගේ මිත්තණිය එනම් පියාගේ මව මියගොස් තිබුණේ ඊට මාස තුනකට පමණ කලිනි. ඇය ජීවත්ව සිටියදී මේ දරුවාට බොහෝ සෙයින් ආදරය කළාය. දරුවා තුළත් මවුපියන් කෙරෙහි නොතිබුණු ඇල්මක් මිත්තණිය කෙරෙහි තිබිණි. 
“එකත් එකටම ඔය නම් අර මැරිච්ච උන්දෑ තමයි. මැරිලත් දරුවව දාලා යන්න බැරුව මෙහාටම එන්න ඇති. අසල්වැසියෝ කතා වූහ. 
මම මේ දරුවාගේ පවු‍ලේ තොරතුරු තවදුරටත් විමසා බැලුවෙමි. 
එම මියගිය මිත්තණිය ජීවත්වී ඇත්තේ ඔවුන් සමගය.  දරුවාගේ දෙමාපියන් සුළු දේටත් කෑකොස්සන් ගසමින් නිතර අඬදබර කරමින් ජීවත් වන අයයි. දෙමාපියන්ගේ මේ ආරවුල් වඩාත් බලපෑවේ මෙම පුතුටය. එමගින් ඔහු දැඩි මානසික පීඩාවක් අත් විඳ තිබිණි. 
මේ හේතු මත දරුවා වඩාත්ම සමීප වූයේ මිත්තණියටය. ඇය මේ දරුවාට බොහෝ ආදරය පෑවාය. නැගණිය ලැබුණු පසු මේ දරුවාට මවගෙන් ලැබෙන අවධානය නැගණියටත් බෙදී ගිය නිසා දරුවා ඒ අඩුපාඩුව පිරිමසා ගත්තේත් මිත්තණිය වෙතිනි. මේ ආකාරයට දරුවාත් මිත්තණියත් අතර විසල් බැඳීමක් පැවැතියේය. 
දියවැඩියාව ඇතුළු රෝග කිහිපයකින් පීඩා විඳි මිත්තණිය හදිසියේම මියගොස් තිබුණේ මින් සිව් මසකට පමණ පෙරදීය. බොහෝ දෙනකුගේම අදහස වූයේ දරුවා කෙරෙහි සෙනෙහසින් හිඳ මියගිය මිත්තණිය භූතාත්මයක් ලබා දරුවා වෙත පැමිණ ඇති බවය. 
ඉන්පසු භූතාත්මය පලවා හරින්නට තොවිලය කළ දවසේ රාත්‍රියේ සිට පස් හැවිරිදි නැගණියටත් අයියාට පෙනෙන භූතයා පෙනෙන්නට පටන් ගෙන තිබිණි. නමුත් අයියා මෙන් නංගී ඊට බිය නොවූ අතර තමන්ට හිටි හැටියේ දකින්නට ලැබුණු ඒ රුවට සෙල්ලම් බඩුවලින් සහ ගල් කැටවලින් දමා ගසන්නට ඇය පෙළඹුණාය. ඒ අනුව භූතාත්මයෙන් අනිසි බලපෑමක් නැගණියට ඇති නොවිණි. 
දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු ලෙස කරුණු විමසීමේදී වැදගත් තොරතුරු කිහිපයක් ඉස්මතු කර ගත හැකි විය. 
මේ දරුවා සිටියේ මානසික පීඩනයකිනි. පළමුවෙනි හේතුව මවුපියන්ගේ අඬදබරය. ඊළඟට එම පීඩනය තවත් වර්ධනය වූයේ ඔහුට බෙහෙවින් ආදරය කළ මිත්තණිය මියයාමෙන් ඇති වූ වියෝ දුකද ඊට එකතුවීම නිසාය. මේ අතර ආච්චිව හීනෙන් පෙනුණේ එහෙම නැද්ද, ආච්චි දැන් කොහෙ හරි ඉඳල පුතා දිහා බලාගෙන ඇති වැනි අප අතර තිබෙන සාම්ප්‍රදායික මත වැඩිහිටියන් විසින් මේ දරුවාගේ මනස තුළට දමා තිබිණි. ඒවාද දැඩිව ඔහුගේ සිතේ කාවැදී පැවැතියේය. මේ අතර මේ වයසේ දරුවන් රූපවාහිනියෙන් දකින කාටූන් වැඩසටහන්වල හිඳින මන:කල්පිත අද්භූත චරිත නිසා හට ගන්නා මනෝ භාවයන්ද මෙයට එකතු විය. මේ සියලු දේවල් නිසා විවිධ චිත්ත රූප මනසෙහි හට ගැනීම සිදුවේ. ව්‍යාජ භ්‍රාන්ති (pseudo hallucinations) ලෙසින් එක්වරම දෙනෙත් ඉදිරිපිට මැවී නොපෙනී යන්නේ ඒවාය. 
ව්‍යාජ භ්‍රාන්ති පිළිබඳව අපේ සමාජය තුළ බොහෝ දෙනකුටම වැටහීමක් නැතිවා විය හැකිය. වැටහීමක් තිබුණත් ඊට වඩා අප කැමති වන්නේ ජාන මගින් සහ සංස්කෘතියෙන් අපට උරුම වූ හොල්මන් අවතාර ගැන විශ්වාස කරන්නටය. 
දැන් අපි මේ ව්‍යාජ භ්‍රාන්ති හෙවත් අවතාර හොල්මන් වැනි දෑ සහ ඒවා ඇතිවන හේතු ගැන පුළුල්ව විමසා බලමු. ව්‍යාජ භ්‍රාන්ති හේතු ගණනාවක් නිසා ඇති විය හැකිය. 
අධික ලෙස වැඩ කරන විට ඇති වෙන තදබල මානසික ආතතිය, රෝග පීඩා නිසා සිත කය දෙක දුර්වල වීම, තමා අතිශයින් ආදරය කළ කෙනකු ඈත් වීම හෝ මියයාම නිසා ඇතිවන තදබල වියෝ දුක ව්‍යාජ භ්‍රාන්ති කරවන්නට සමත් හේතු අතරින් කිහිපයකි. 
එසේම තවත් හේතු තිබේ. බාහිරින් සන්නිවේදන නැති පාළු ස්ථානයක කලක් ගත කරන්නට සිදුවීම, විවිධ දර්ශන දක්නට නොමැති ඒකාකාරී දසුන්ම එක දිගට දක්නට තිබෙන අධිවේගී මාර්ගයක ඒකාකාරී ලෙස රිය පැදවීම වැනි තත්ත්වයන්වලදී අපට බාහිරින් ඇසෙන දෙයක් හෝ විශේෂයෙන් පෙනෙන යමක් නැති නිසා මොළය තුළම විවිධ විවිධ චිත්ත රූප මැවී ඒවා අපට විවිධ රූප ලෙස පෙනෙන්නටත් විවිධ ශබ්ද ලෙස ඇසෙන්නටත්  පුළුවන. අවතාර හොල්මන් ලෙස කෙනකුට හැඟී යා හැකි මේවාද ව්‍යාජ භ්‍රාන්ති වේ. 
අවතාර හොල්මන් ගැන තදින් විශ්වාස කරන අයටද එම විශ්වාසය නිසා මනසේ ඇඳෙන චිත්ත රූප දෙනෙත් අභියස පෙනී නොපෙනී යන්නටත්, කටහඬවල් ශබ්ද ලෙස ඇසී නොඇසී යන්නටත් පුළුවන. විශේෂයෙන් නිහඬ රාත්‍රී යාමයන්හි මේ තත්ත්වය වැඩිය. 
පවු‍ලේ අනෙක් අය සහ ඇසුරු කරන අය අවතාර හොල්මන් විශ්වාස කරන්නේ නම් සහ ඔවුන් ඒ සම්බන්ධයෙන් අසා දැක ඇති දේවල් නිතර කතාබහ කරන්නේ නම් ඒවා මානසික ඇනවුම් (SuggeStions) ලෙස මනසට කාවැදී ඒ අනුව එවැනි විශ්වාසයක් නැති කෙනකුට වුවත් හොල්මන් අවතාර ලෙස ව්‍යාජ භ්‍රාන්ති ඇති වීමට පුළුවන. 
සමහර අය එවැනි මානසික ඇනවුම්වලට භාජනය වීමේ හැකියාව වැඩිය. ඒ පෞරුෂත්වය දුර්වල වීම සහ අනුන් මතම තීරණ ගන්නා අනුන්ගෙන් යැපෙන පෞරුෂත්වය (Dependnt personality) තිබිම වැනි හේතු මත පහසුවෙන් මානසික ඇනවුම්වලට නතු වන නිසාය. 
එවැනි අයටද ව්‍යාජ භ්‍රාන්ති හට ගත හැකිය. 
අසවල් තැන හොල්මනක්් තියනවා කීප දෙනෙක්ම බය වෙලත් තියනවා යැයි කවුරුන් හෝ කිව්වොත් එය දැඩිව මනසට කා වැදුණු අයකු එම ස්ථානයෙන් යන විට ඒ විශ්වාසය නිසා සිතේ ඇඳෙන චිත්ත රූප සැබෑවටම දෙනෙත් ඉදිරිපිට දර්ශනය වන ආකාරයක් පෙනෙන්නට පුළුවන. ඒ අනුව ඒ පුද්ගලයා තමා ද එම අවතාරය දුටුු බව සෙසු අයට කියන විට එම අවතාරය පිළිබඳව තිබෙන විශ්වාසය ඔවුන් ද තහවුරු කර ගනු ඇත. එවිට ඔවුන්ටද එබඳු ව්‍යාජ භ්‍රාන්ති හට ගැනීමට හැකියාව තිබේ. අවතාර හොල්මන් පිළිබඳ විශ්වාස පැතිරෙන්නටත් බලපායි. 
මේ හැරුණු විට ව්‍යාජ භ්‍රාන්ති හට ගන්නා මානසික රෝග ද තිබේ. භින්නෝන්මාදය (Schizophrenia), විශාදය (DepreSsion) වැනි මානසික රෝගවලදී හට ගන්නා භ්‍රාන්තිමය තත්ත්වයන් එම රෝගීන් හොල්මන් අවතාර ලෙස විශ්වාස කරන අතර ඔවුන් ඒවා අනෙක් අයට පවසන විටද ඒ අයද මේවා අදාළ මානසික රෝගයේ 
ලක්ෂණ බව නොදැන හොල්මන් අවතාර ලෙස විශ්වාස කරන්නට පෙළඹිය හැකිය. හිස්ටීරියා හෙවත් මායා රෝගය නමින් හඳුන්වන විඝටනාබාධය (Dissociative diSorder) රෝගය ඇති අයගෙන් ලැබෙන මානසික  ඇනවුම් මත අනෙක් අයටද ව්‍යාජ භ්‍රාන්ති ඇති වීමට හැකියාව තිබේ. 
අපි එය තවදුරටත් පැහැදිලි කර ගනිමු.
හිස්ටීරියා තත්ත්වය මත යම් පුද්ගලයකුට තමන්ගේ නිවසේ භූතයකු සිටින බවට ව්‍යාජ භ්‍රාන්ති අසන්නටත් දකින්නටත් ලැබුණේ යැයි සිතන්න. ඒ අනුව භූතයාගෙන් විවිධ කරදර විපත් පැමිණෙන බවට විශ්වාසයෙන් භූතයාව පන්නා දැමීමට නිවසේ තොවිලයක් වැනි දෙයක් කරන්නට පෙළඹිය හැකිය. තොවිලයෙන් පසු භූතයාව එම භූමියෙන් පිටමං කළ බව නිවැසියන් පැවැසූ පසු එම භූමියෙන් පිටමං වූ භූතයා දැන් තමන්ගේ නිවසට පැමිණ ඇතැයි අසල්වැසියකුට හැඟෙන්නට බැරිකමක් නැත. එසේ හැඟෙන්නේ නිකන්ම නොවේ. ඒ නිවසට පිට පිටම රෝග පීඩා, පාඩු වැනි විවිධ කරදර ඇති වූ කල ඊට සාධාරණ හේතුවක්  සිතාගන්නට බැරි වන විටදී භූතයෙකු වැනි නොපෙනෙන බලවේගයකට එය පවරන්නට අප කැමතිය. කෙසේ හෝ මේ ආකාරයට එකම ගමේ නිවෙස් කිහිපයකම අය වුව  ඒ  භූතයා නිසා තමන්ටත් කරදර ඇති වී තිබෙන බව විශ්වාස කිරීමට පෙළඹිය හැකිය. මේ තත්ත්වය හඳුන්වන්නේ සමූහ මායාව හෙවත් ර්චඉඉ ඩ්රඵබඥපඪච ලෙසිනි. 
අධික ලෙස මත්පැන් පානය කරන්නට යොමු වූ අයකුට එකවරම එය නතර කරන්නට සිදු වූ විටද ව්‍යාජ භ්‍රාන්ති ඇති වේ. මේ අනුව විවිධ මිනිස් හා සත්ව රූප විකෘති ආකාරයෙන් දිස් විය හැකි අතර ඔහුට අවතාර පෙනෙන බවට පවු‍ලේ අය ද විශ්වාස කරන්නට බොහෝ විටම හැකියාව තිබේ. 
 මත්ද්‍රව්‍ය නිසාද ව්‍යාජ භ්‍රාන්ති හට ගනී. 
කෙසේ වුවද හොල්මන් අවතාර වැනි ගුප්ත දේවල් පිළිබඳ කතා අසන්නට එවැනි ‍පොතපත කියවන්නට බොහෝ දෙනකු කැමතිය. එවැනි දේවල්වල කුතුහලය පැවැතීම නිසාත් ආවේගශීලී බවක් ඒ තුළ රැඳී තිබෙන නිසාත් අපේ යටි සිත තුළ ඒවා කෙරෙහි සහජ ආශාවන් පවතියි. මේ කුතුහලයට හා ආවේගයට ඇති කැමැත්ත නිසාම ගුප්ත දේවල් පිළිබඳව තර්කානුකූලව සිතා බැලූ කල එහි සත්‍යයක් නැතැයි හැඟෙන විට පවා එම තර්ක පසෙක ලා ඒවා විශ්වාස කරන්නට මිනිස්සු පෙළඹී සිටිති. 
අනෙක් අතට විශ්වාස කරන්නට මිනිස්සු පරිණාමයෙන්ම අප තුළ කුතුහලය පවතින අතර ඒ නිසාම රහස් සොයන්නට හා අලුත් අත්දැකීම් ලබන්නට දැඩි වුවමනාවක් අප තුළ පවතියි. මනුෂ්‍යයන් ලොව ඉතිරි වී පවතින්නේ ඒ හේතුව නිසාය. 
නැත්නම් තවත් බොහෝ වඳ වී ගොස් සිටින සත්වයන් මෙන් මිනිස් සත්වයන්ද මේ වන විට ලෝකයෙන් වඳ වී ගොස් තිබෙන්නට පුළුවන. 
මේ ආවේගශීලී බව සහ කුතුහලය නිසාම අවතාර හොල්මන් සහිත චිත්‍රපට නරඹන්නටත් අප කැමතිය. චිත්‍රපටය තුළ අවතාර හොල්මන් සටන් කරමින් වීර ක්‍රියාවන්වල නිරත වන විට අපිදු මනසින් ඊට සම්බන්ධ වෙමු. නමුත් අපට ඒ සටනින් කිසිදු හානියක් නොවන බව අපේ සිතට සීයට සීයක්ම සහතිකය. ඒ එය චිත්‍රපටයක්  බව සිත දන්නා නිසාය. මේ අනුව අපට දැනෙන්නේ අප ආරක්ෂාකාරී බලකොටුවක හිඳ සටනට සම්බන්ධ වන ආකාරයේ සංතෘප්තිමත් හැඟීමකි. චිත්‍රපටය අවසන් වන විට එහි චරිතවලට මොනවා වුණත් අපට කිසිදු අනතුරක් සිදු නොවීම යනු අප ජයග්‍රහණය කිරීමය. මේ නිසා අපි එවැනි දේවල් නැවත නැවතත් නරඹන්නට පෙළඹෙමු. අවතාර, හොල්මන් ආදිය ගැන අප තුළ සහජ ආශාවක් පවතින හේතුව දැන් ඔබට පැහැදිලි වී ඇතැයි සිතමු. ඒ අනුව මේවා අප තුළම ඇතිවන ව්‍යාජ භ්‍රාන්ති බව මනෝ වෛද්‍ය විද්‍යාත්මකව මෙලෙස පැහැදිලි කර අන් විටෙක පවා  ඒවා පිළිගන්නවාට වඩා බැහැර කරන්නට අපේ සිත ප්‍රිය කරනු ඇත.

No comments:

Post a Comment