Saturday, July 20, 2013

Gossip lanka - පොලුවලින් පහරදී කපා කොටා මරා දැමූ වතු අධිකාරි ඝාතනයත් සමග ‍පොලීසියේ රෙදි ගැළවුණු හැටි

Wathu-adikariමේ රටේ ජනමාධ්‍යවේදීන්ට ආචාර ධර්ම පද්ධතියක් සකස් කළ යුතු යැයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කියද්දීසන්ධාන ආණ්ඩුවට සහය දෙන ප්‍රාදේශීය දේශපාලන මැරයෙකුට පසුගිය 05 වැනිදා තවත් වටිනා ජීවිතයක් බිල්ලට ගැනීමේ චෝදනා එල්ලවිය. මෙම මැරයා 'අතකොට චූටියා' නමින් හැඳින්වෙයි. දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා වූයේ 'අතකොට චූටියා'ය.
පසුගිය මාස දහතුනක පමණ කාලය තුළදී ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් සිදුකර ඇතැයි කියන විවිධාකාර අපරාධ සම්බන්ධයෙන් එවැනි දේශපාලනඥයන් අසූවකට අධික පිරිසකට එරෙහිව මේ වනවිට නඩු පවරා තිබේ.


එසේ නඩු පැවරුවත් මොවුන් ගේ සාපරාධී ක්‍රියාවල කිසිම අඩුවීමක් දකින්නට නැත. පිස්සු බල්ලන් මෙන් වියරු වැටී මිනිසුන්ට පහර දෙති. වෙඩි තබති. මරා දමති. එවැනි අපරාධ සම්බන්ධව පුවත් ජනමාධ්‍ය හරහා හෙළිදරව් නොවන දිනයක් දැන් නැති තරම්ය. ඒ තරමට ප්‍රාදේශීය දේශපාලකයෝ දේශපාලන බලයෙන්, ධනයෙන් පිස්සන් රැලක් බවට පත්වෙමින් සිටී. 
එවැනි දේශපාලන පිස්සන්ගේ ම්‍ලේච්ඡ පහරදීමෙන් පසුගියදා මරුමුවට පත්වූයේ දැරණියගල 'නූරි' වතුයායේ වතු අධිකාරී නිහාල් පෙරේරා යන අයයි. නිහාල් පෙරේරා ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.
‍පොලු පහර කා, කඩු පහරවලට බිලිවී, කිනිසිවලින් ලද දරුණු තුවාලවලින් නිහාල් පෙරේරා මරුමුවට පත්වන්නට ප්‍රධාන සාධක දෙකක් බලපෑවේය. ඒ රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ දේශපාලන බලය ඉදිරියේ හොරි සෑදී, කැහැටු ගැසී, නිවට තත්ත්වයට පත් වූ ‍පොලිස් දෙපාර්තමේන්තුවේ දුක්මුසු තත්ත්වයයි. නිසි අධ්‍යාපනයක් නොලද නමුත් දේශපාලනයෙන් මැර බලයක් මවාගෙන කසිප්පු ජාවාරමේ යෙදුන 'අතකොට චූටියා' සහ ඔහුගේ දැරණියගල මැර හමුදාව ඉදිරියේ එහි ‍පොලීසිය අවුරුදු ගණනක් තිස්සේ දණ ගසාගෙන බලු ගාණට වැටී සිටියා යැයි කෙසේ විශ්වාස කරම්ද?
වතු අධිකාරී නිහාල් පෙරේරා මරා දමන ලද්දේ දේශපාලන පළිගැනීමකට නොවේ. ව්‍යාපාරික ප්‍රශ්න මුල්කර ගෙනත් නොවේ. අනාවරණය වී ඇති ආකාරයට එය හුදෙක්, ප්‍රාදේශීය මැර දේශපාලන ජාවාරම් ඉටුකරගැනීමේ අරමුණින් සිදු කළ බිහිසුණු පළිගැනීමකි. දැරණියගල පළාතේ නමගියNoori-teaඅපරාධකරුවා වශයෙන් ‍පොලීසිය හොඳින් දන්නා අතකොට චූටියා නූරි වත්තේ ඉඩම් බලයෙන් අල්ලා ගෙන සිටියේය. එහි කර්මාන්ත ශාලාවෙන් රැගෙන යන තේ කුඩු පෙට්ටි කොල්ල කෑවේය. නූරි වත්තේ වටිනා ගස් බලෙන් කපා විකුණුවේය. අමු තේ දලු කිලෝ එකක් ගානේ කප්පමක් ගත්තේය. කර්මාන්ත ශාලාවට පැන එහි වටිනා යන්තේ‍රා්පකරණවලට පහරදී අලාභහානි සිදුකළේය.
මෙම අපරාධවලට විරුද්ධව නැගී සිටීම වතු අධිකාරි නිහාල් පෙරේරාගේ ඝාතනයට මූලික හේතුව බව මේ වන විට අනාවරණය වී තිබේ.
මේ රටේ මිනිසෙකුට නිදහසේ ජීවත් විය නොහැකි, නිදහසේ අදහසක් ප්‍රකාශ කළ නොහැකි, අසංවර, අශෝභන, ම්‍ලේච්ඡ දේශපාලන සංස්කෘතියකට රට ගොදුරු වෙමින් තිබේ. ඒ වගේම අවංක ලෙස රාජකාරිය කරන්නට කැපවී සිටින රජයේ හෝ පෞද්ගලික අංශයේ නිලධාරීන්ට නීතිගරුක ලෙසින් රාජකාරියේ නියැලිය නොහැකි තත්ත්වයක් අද දක්නට ලැබේ. ඒ, තුට්ටු දෙකේ පාදඩ දේශපාලනඥයින් රොත්තක් විසින් රටේ පාලනය සම්පූර්ණයෙන් අවුල් ජාලාවක් බවට පත්කරමින් ප්‍රාදේශීය වශයෙන් ජනතාව බියවද්දන්නට පටන් ගෙන තිබිම හේතුවෙනි. 
මියගිය නිහාල් පෙරේරා යනු මෙරට වතු ක්‍ෂේත්‍රයේ ඉතා විශිෂ්ටයකු බව මේ දිනවල ඔහු පිළිබඳ පළවන වාර්තාවලින් පෙනේ. නිහාල් පෙරේරා 'නූරි' වතුයාය බාරගෙන ඇත්තේ එය සම්පූර්ණයෙන් කඩාවැටීමකට ලක්වී තිබියදීය. වතුයාය කඩාවැටීමට මූලික හේතුව වශයෙන් පළවන්නේ 'අතකොට චූටියා' සහ ඔහුගේ මැර කල්ලිය විසින් මෙම වතුයායට කඩාපැන එහි දේ‍පොළ අවුරුදු ගණනක් තිස්සේ කොල්ලකෑමයි. වතුයායේ එවකට සිටි නිලධාරීන්ට සේවය කිරීමට සිදුවී ඇත්තේ වතු පාලන නීතිරීති යටතේ නොව, අතකොට චූටියාගේ නියෝග යටතේ බව පැවැසේ. මේ හේතු නිසා වත්තේ ආදායම පහත වැටී බංකොළොත් විය.
බංකොලොත් වතුයාය ආයෝජන මණ්ඩලයේ භාරයට ගත්තේය. අනතුරුව එය දියුණු කිරීමේ අරමුණින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඇමෙරිකාවේ 'වෝටර්ස් බේ' නමැති සමාගමට පැවරුවේය. එම සමාගම ශ්‍රී ලංකා රජයේ සාදර ආරාධනය පිළිගෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක මුදලක් මූලික අයෝජනයක් වශයෙන් 'නූරි' වතුයායට යෙදවීය.
මෙම සමාගමේ සහ ආයෝජන මණ්ඩලයේ පූර්ණ එකඟතාව මත වතුයාය දියුණු කිරීමේ වගකීම පවරන ලද්දේ තේ වතු කළමනාකරණයේ සහ සංවර්ධනයේවිශිෂ්ටයකු ලෙස පිළිගත් නිහාල් පෙරේරා ටයි. දෙස් විදෙස් වතු සංවර්ධන ක්‍ෂේත්‍රය පිළිබඳ නිපුණයකු යැයි කියන නිහාල් පෙරේරා, ජාවාරම්කරුවෙකු මෙන්ම වර්තමාන ප්‍රාදේශීය දේශපාලන නියෝජනයක් ද වූ 'අතකොට චූටියා' හෝ ඔහුගේ මැර කල්ලිය විසින් මහ දවල් එම වතුයායේදීම ඉකුත් 05 වැනිදා ඝාතනය කළේය. ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකානු රජය පිළිගත් විශිෂ්ටයකුට අත්වූ ඉරණම එයයි.
Noori-tea1'නූරි' වතුයාය නිහාල් පෙරේරා විසින් භාර ගන්නා ලද්දේ මීට මාස හයකට පමණ පෙරදී යැයි පැවසේ. බංකොළොත් තත්ත්වයට වැටී අවසන් හුස්ම 
හෙළමින් තිබූ මෙම වතුයායේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ඇමෙරිකානු 'වෝටර්ස් බේ' සමාගම තවත් ඩොලර් මිලියන 65ක් යොදවනු ලැබිය. එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස නිහාල් පෙරේරා විශිෂ්ට සේවාවක් ඉටුකරමින් මාස තුනක් ඉක්ම ගිය අවස්ථාවේ ඇමෙරිකාවේ පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයකදී ලොව හොඳම තේ සඳහා පිරිනැමෙන ජාත්‍යන්තර සම්මානය 'නූරි' වත්තේ තේ පැකට්ටුව වෙනුවෙන් දිනාගන්නට සමත්විය. මීට පෙර එම සම්මානයට හිමිකම් කියා ඇත්තේ ජපානයයි. අතකොට චූටියා හෝ ඔහුගේ මැර කල්ලිය විසින් මරා දමන ලද්දේ එබඳු විශිෂ්ටයෙකි.
චූටියාගේ මැර බලයෙන් සහ දේපළ කොල්ලකෑමෙන් මුදවා ගත් 'නූරි' වතුයාය පාලනය කළ අවංක කාර්යශූර වතු අධිකාරීවරයකු මෙලෙස මරා දැමීම මගින් සමාජගත වන සංඥාව අතිශයින් බිහිසුණුය. ඒ 'මැර දේශපාලකයන්ට ඕනෑම කුජීතයක් ගහගන්නට ඉඩ හැර කට පියාගෙන පැත්තකට වී සිටිනු' යන නියෝගයයි. එම නියෝගය පිළිපදින්නට බැරි රජයේ හෝ පෞද්ගලික අංශයේ නිලධාරීන්ට 'රස්සාව ගසා දමා ගෙදර පලයන්' යැයි දේශපාලන ලොක්කෙක් වුවත් කීවාට කිසිම වරදක් නැත. මන්ද ඒ තරමට ප්‍රාදේශීය මැර දේශපාලනය දිවයින පුරා පිහිටි බොහෝ රාජ්‍ය හා පෞද්ගලික දේපළ, ආයතන සිය අණසකට ගෙන තිබෙන බැවිනි.
නිහාල් පෙරේරා ඝාතනය සිදුවන්නට පෙර අතකොට චූටියාගෙන් ඔහුට මැර ප්‍රහාර එල්ල වී තිබේ. එක්වරක් වත්තට පැන පහර දී ඔහුගේ පාදයකට බරපතළ තුවාල සිදුකර තිබෙන බව පැවැසේ.
එහෙත් නිහාල් පෙරේරා මරා දමන්නට අතකොට චූටියාගේ කිසිම සම්බන්ධයක් නැති බවට ඔහු අදටත් රැකබලාගන්නා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය මේ වනවිටත් දැරණියගල පුරා ප්‍රචාරයක් යවමින් සිටී. එම ප්‍රචාරයට අනුව නිහාල් පෙරේරා මරා දමා ඇත්තේ අතකොට චූටියාගේ අක්කාගේ පුතකු විසිනි. අක්කාගේ පුතා සහ අතකොට චූටියා වෛරයෙන් පසුවන බවත්, වතු අධිකාරී ඝාතනය කර එම ඝාතනයේ වගකීම අතකොට චූටියා (‍පොඩි මාමා) පිට පැටවීම අරමුණ බවත් එම ප්‍රචාරයෙන් පැවැසේ.
2011 ප්‍රාදේශීය සභා ඡන්දයේදී අතකොට චූටියාට නාම යෝජනා ලැබි නැත. එහෙත් පළාතේ එජනිස දේශපාලන අධිකාරිය සමග මොහු පවත්වාගෙන ගිය සම්බන්ධකම්වලට නාම යෝජනා නොලැබිම ප්‍රශ්නයක් වූයේම නැත. පළාතේ ඡන්දය දිනන්නට, මනාප ලබාගන්නට අතකොට චූටියා දැරණියගල දේශපාලන අධිකාරියට බොහෝ උදව් උපකාර කර තිබේ.
නිහාල් පෙරේරා ඝාතනයත් සමග සැඟවී ගිය අතකොට චූටියා නීතිඥවරුන් මාර්ගයෙන් අවිස්සාවේල්ල උසාවියට භාර විය. දැන් ඔහු පසුවන්නේ බන්ධනාගාරයේය. මෙම අපරාධකරුගේ සියලුම අපරාධ පිටුපස දැරණියගල ‍පොලීසියේ ලොක්කා සහ ඔහුගේ ‍පොලිස් නිලධාරීන් ගැවසෙමින් චූටියාට එතෙක් මතෛක් ආරක්ෂාව ලබාදී තිබේ යැයි දැරණියගල බොහෝ දෙනා පවසති.
'නූරි' වත්තේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කීපයක් වතු අධිකාරී නිහාල් පෙරේරා විසින් දැරණියගල ‍පොලීසියට ඉදිරිපත් කර තිබිණ. එහෙත් ‍පොලීසියේ ඕ.අයි.සී. ඒවා ගණනකට නොගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිහාල් පෙරේරා ඝාතනයට ලක්විය. ඔහු ඝාතනයට ලක්වීමෙන් පසු ලැබුණු තොරතුරු මත ජනාධිපති මහින්ද රාජපක්ෂ වහාම ‍පොලිස්පතිවරයා අමතා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට උපදෙස් ලබා දුන්නැයි වාර්තා වේ.
රටේ සුවිශේෂී සිදුවීම් සියල්ලටම ජනාධිපතිවරයාට මැදිහත්වන්නට සිදුවී තිබිම කරුමයකි. බස්, දුම්රිය වර්ජන, හෙදී, දොස්තර වර්ජන, විශ්වවිද්‍යාල වර්ජන ආදී සෑම මඟුුලකටම අත දමන්නට ජනාධිපතිවරයාට මේ නිසා සිදුවී තිබේ. ඒවා ගැන වගකිව යුතු ආයතන හා පුද්ගලයෝ ඒ දක්වා සිදුකරනුයේ ප්‍රශ්නය අවුල් ජාලාවක් බවට පත්කිරීම බව පෙනේ.
වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ 'නීතිගරුක' ‍පොලිස්පතිතුමා දැරණියගල ‍පොලීසියේ ඕ.අයි.සී.වරයා පාදුක්ක ‍පොලීසියට මාරු කළේය. සිදුවිය යුත්තේ එයද නැත්නම් මෙතරම් කාලයක් කසිප්පු ජාවාරම්කරුවෙක්ව, කොල්ලකරුවෙක්ව සහ මිනීමැරුම් ඇතුළු තවත් අපරාධ රැසකට වගකිවයුතු සැකකරුවෙක්ව නීතියේ රැහැනට නොගෙන ‍පොලිස් දෙපාර්තමේන්තුවට ඉතිරිවී තිබෙන ගෞරවයත් විනාශ කරන්නට ක්‍රියා කළැයි කියන ඕ.අයි.සී. ගේ සූට් එක ගලවා, වැඩ තහනමට ලක්කර පරීක්ෂණ ආරම්භ කිරීම නොවේදැයි රටේ ජනතාව ප්‍රශ්න කරති.
නමුත් ‍පොලීසිවල මොනතරම් දක්ෂ අවංක නිලධාරින් සිටියද ඔවුනට නීතිය, නීතියේ හැටියට ක්‍රියාත්මක කරන්නට අද අවස්ථාවක් නැති තරම්ය. ‍පොලීසියේ ලොක්කෝ පාදඩ දේශපාලකයන් සමග අඩිපුඩි ගසා බාල් නටද්දී සුළු මුලාදෑනින්ට සිදුවන්නේ නගුට පස්ස පැත්තේ ගසා ගෙන සිදුවන දේ බලා සිටින්නටය. සමහර විට අතකොට චූටියා 
නළවන්නට දැරණියගල ‍පොලිස් ඕ.අයි.සී.ට සිදුවූයේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ උපදෙස් මත විය හැක. එසේ නොවේ යැයි කියන්නටත් පිළිවන.
කෙසේ වෙතත් කප්පමක් ගන්නට මිනිසෙක් මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි චෝදනා නගා අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධනගේ සේවය අත්හිටුවා, යුනිෆෝම් ගලවා, රිමාන්ඩ් කළේය. ඒ එක නීතියකි. දැරණියගල වතු අධිකාරිවරයාගේ ඝාතනය සිදු කරන්නට මිනීමරුවන්ට අනියම් ලෙස සහය විනැයි චෝදනා එල්ලවන දැරණියගල ඕ.අයි.සී.ට තවත් නීතියක් තිබේදැයි ජනතාව ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරයි.
මන්ද වාස්ට මෙන්ම චෝදනා දැරණියගල  ඕ.අයි.සී.ට ත් එරෙහිව නගන්නට පුළුවන් බව පෙන්වා දෙමින්ය. ඒ වතු අධිකාරී නිහාල් පෙරේරාට මරණ තර්ජන තිබෙන බව දැන සිටීම, ඒ පිළිබඳ පැමිණිලි ලැබිම, පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොකිරීම, ඒ හේතුවෙන් අපරාධකරුවන්ට නිදැල්‍ලේ ගැවසීමට ඉඩ ලැබිම, අදාළ සැකකරුවන් අතින් නිහාල් පෙරේරා ඝාතනයට ලක්වීම, එම ඝාතනයෙන් පසුවත් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම හා එම කරුණු අනුව මෙම ඝාතනයට ඕ.අයි.සී.ගෙන් අනුබලයක් ලැබිම වැනි සැකකටයුතු කාරණා රාශියක් ඉදිරිපත් කරමිනි.
ජනාධිපති සහ 
ආරක්ෂක ‍ලේකම්වරයා නියෝග නොකළේ නම් දැරණියගල ඕ.අයි.සී. අදටත් එතැනමදැයි ප්‍රශ්නයක් මතුවේ. අනෙක් අතට මෙවැනි අපරාධවලට සම්බන්ධ යැයි කියනා ‍පොලීසිවල උසස් නිලධාරීන්ට ලැබෙන්නේ දඬුවමක් නොවේ. ස්ථාන මාරුවීමකි. නමුත් ආණ්ඩුවට අනවශ්‍ය පුද්ගලයෙකු නම් එම නිලධාරියාගේ සේවය නවතා යුනිෆෝම් ගලවා රිමාන්ඩ් කරන්න වුවත් පිළිවන. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නීති රටක පැවතීම යුක්තිගරුක සමාජයක් බිහිවීමට විශාල බාධාවක් නොවේදැයි ජනතාව ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරයි.
ඝාතනයට ලක්වූ වතු අධිකාරී නිහාල් පෙරේරාගේ පවු‍ලේ ඥාතියෙක් මෙම ලියුම්කරු සමග සාකච්ඡා කළේය. 'නූරි' වතුයායේ පවතින තත්ත්වය, එහි වතු අධිකාරී නිහාල් පෙරේරාට තිබෙන මරණ තර්ජන, ඒවා සම්බන්ධයෙන් දැරණියගල ‍පොලීසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ සියලුම තොරතුරු ‍පොලිස් කොමිසම දන්නා බව එම කොමිසමේ නිලධාරීන්ම තමන්ට පැවසුවේ යැයි ඒ ඥාතියා මා හා කීවේය. එහෙත් පැමිණිල්ලක් නැති බැවින් කොමිසමට ක්‍රියාත්මක වන්නට නොහැකි වූ බව වැඩිදුරටත් ඔවුන් පවසා සිටි බව හෙතෙම කීවේය.
එය සැබෑවක් නම් මේ රටේ ‍පොලීසි හා ‍පොලිස් කොමිසම්වලින් රටට ඇති ප්‍රයෝජනය කුමක්දැයි ප්‍රශ්න කරන්නට සිදුවී තිබේ. මේවා පිහිටුවා තිබෙන්නේ නීතිය රකින්නටය. සුරක්ෂිත කරන්නටය. ඒ හරහා ජනතාවගේ ජීවිත, දේපළ ආරක්ෂා කරන්නටය. නමුත් පැමිණිලි නැතිව ඒ කිසිත් කරන්නට බැරිය. නිහාල් පෙරේරා නොව, එවැනි තවත් දක්ෂ පුද්ගලයන් පේළියට සිටුවා ජඩ දේශපාලනය විසින් වෙඩි තබා මරා දැමුවද ‍පොලිස් කොමිසමට කරන්න කිසිම දෙයක් නැත. ඒ පැමිණිලි නැති නිසාය.
වර්තමානයට ගැළපෙන නීති නැත්නම් නීති සාදාගත යුතුය. ‍පොලිස් කොමිසමට ගොස් පැමිණිලි කරනවා තබා එය පිහිටුවා ඇත්තේ කොතැනකද කියා කියන්නවත් රටේ ජනතාව නොදනිති. එවැනි පසුබිමක් තුළ කොමිසම 'මඤ්ඤං' කතා කීම ජනතාවගේ හොම්බට ඇනීමක් හා සමානය. 
ඒ වගේම ඝාතනයට ලක්වූ නිහාල් පෙරේරා තමන්ට තිබෙන මරන තර්ජන සහ රජයේ වතු යායට ප්‍රාදේශීය මැර දේශපාලන පාක්ෂිකයා විසින් සිදුකරන හානිය පිළිබඳ වැවිලි ඇමැති මහින්ද සමරසිංහට ද ලිඛිතව දැනුම් දී තිබිණ. එහෙත් ඒවාද වැටී ඇත්තේ කුණු බාල්දියට ද යන සැකය මතුවේ.
දේශපාලනය නොකරන මිනිසුන්ගේ ඉරණම එයයි. ප්‍රවේශම්වන්න. ඔබගේ මරණයටද වගකිවයුත්තකු නැති විය හැක.

No comments:

Post a Comment