අම්බපාලියයැයි ඈ නම් ලද්දීය. ලෝකයේ ඉපැරණිම රැකියාව රන්කහවනු උපයන මාවත බවට පත්කරගත් අම්බපාලියන් උකුසු ඇස් ගෙන, මොනර වෙස්ගෙන අද ද මේ අහසත් පොළවත් අතර සරන්නීය. වැටෙන්නට දී වැටෙන අතකට, නිරුවත වහන් කළ දුහුල් සළුවට, ඈ මොනර කොළ උපයන්නීය: රූසිරි නම් මායාවෙන් වැසුණු දෙතිස් කුණු කය වළඳන්නට දී මහත්වරුන්ට.... නමවත් නොදන්න පිරිමින් සමග යහන්ගත වෙන්නට සැදී පැහැදුණු වෙසඟනයැයි නම් ලද ඈ මාවතක් මාවතක් පාසා වීදිවල මෙන්ම සමාජ ශාලා, සුපිරි ගණිකා නිවාසවල ද හිඳ ඉටුකරන්නේ එකම රාජකාරියකි.
ඒ ලෙයට මසට මිලක් කියමින් පිරිමි සිරුරක ගින්න නිවීමේ රාජකාරියයි. නමුදු ඔවුන්ද ගැහෙන සැලෙන සිතුවිලි උපදින හදවත් ඇති මනුෂ්‍ය කුලකයේම මිනිසුන් නොවේද? පැයට දෙකට ගැහැනු සිරුරු මිල කරන සංස්කෘතියේ නෙතට වහංවුණු කතාන්දරය එන්න කියවන්න අපත් එක්ක.
ගැහැනුන් ගණිකාවන් වෙන්නේ ඇයි? මේ වෙද්දී ශ්‍රී ලංකාවේ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් ගණිකා වෘත්තියේ යෙදෙන පසුබිමක් තුළ ගැහැනුන් ගණිකාවන් වෙන්නේ ඇයි යන්න පිළිබඳව සමාජයීය සාධක ඔස්සේ විමසන්නට සිත්වෙයි.
තරුණියන් මෙන්ම විවාහක දරුවන් සිටින කාන්තාවෝද ගණිකා වෘත්තියට පෙළඹෙති. ගැහැනුන් ගණිකා වෘත්තියට පෙළඹෙන්නට එක් හේතුවක් වන්නේ ඔවුන්ට තම අනන්‍යතාව තහවුරු කර දැක්වීම සඳහා උප්පැන්න සහතිකය හෝ ජාතික හැඳුනුම්පත නොමැතිවීම යන කාරණයයි. සමාජය කෙතරම් නවීකරණය වුවද විවිධ හේතු මත උප්පැන්නය හෝ හැඳුනුම්පත නැති පිරිස් අදටත් සිටිති.