Saturday, July 20, 2013

Gossip lanka - සහෝදරයාට එල්ල වූ ඉඩම් වංචා චෝදනාව ගැන දමිතා

“මගේ අයියා අහිංසකයි. එයා කාටවත් වරදක් කරන අයෙක් නමෛයි. එයාත් රැවටීමකට ලක්වුණා. අයියා කාටවත් වංචා කළේ නැහැ.” අපේ රටේ සම්මානනීය නිළියකවන දමිතා අබේරත්න මේ කතාව කියන්නේ තමන්ගේ සහෝදරයා ගැනය.ඇයට සිය සහෝදරයා ගැන මෙසේ කතා කරන්නට සිදු වූයේ ඇගේ සහෝදරයා අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි සමාගමක්‘හරිත වසන්තය’ නමින් වගා ඉඩම් විකිණීමේ ව්‍යාපාරයක් හරහා ජනතාවගෙන් මුදල් වංචා කිරීමක් ගැන එල්ලවූ චෝදනාවක් නිසාය. (මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් පසුගිය ඉරිදා (14) ලක්බිම පුවත්පතෙහි පළවිය) ඒ සම්බන්ධයෙන් සංජය බණ්ඩාර අබේරත්න නම් වූ දමිතාගේ සහෝදරයාව අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය. ඒ එම සමාගමෙන් ඉඩමක් මිලදී ගෙන ලක්ෂ ගණනක වංචාවට හසුවූ අනුරාධපුරයේ පදිංචිකරුවෙකු වන ගුණපාල සිල්වා නමැත්තෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

“අයියා පිටරට රැකියාවක් කරල දුක් මහන්සියෙන් හම්බකරගත් හැමදෙයක්ම මේ ව්‍යාපාරය නිසා නැති වුණා. මම කියන්න ලැජ්ජ නැහැ. ඔහුටත්, ඔහුගේ පවුලටත්  අද කන්න බොන්න දෙන්නෙ මම. “ දමිතා පවසන්නේ සිය සහෝදරයා වැටී සිටින තත්ත්වය කෙබඳුදැයි පෙන්වීමටය.
දමිතා පවසන ආකාරයට අනුව සහෝදරයා පිටරට රැකියාවකට ගොස් පැමිණි පසු ලංකාවේ ජීවත්වන්නට රැකියාවක් අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයෙකු මුණගැසීමට ගොස් ඇත. ඉන්දික හේවාවසම් නමැත්තා ඔහුට මුණගැසී ඇත්තේ එහිදීය.
“එයා අයියගෙන් විස්තර අහල ඊට පස්සෙ කියල තියෙනවා රක්ෂා කරල හරියන්නේ නැහැ බිස්නස් එකකින් ගොඩ එනව හැරෙන්න කියල. එයා කියල තියෙනවා එයා ගාව අයිඩියාස් තියෙනවා. ඔයා ගාව සල්ලි  තියෙනවා. දෙන්න එකතු වෙලා බිස්නස් එකක් පටන්ගමු කියල.” දමිතා පවසන ආකාරයට හරිත වසන්තය ඉඩම් ව්‍යාපාරය පටන්ගන්නට මුල්වන්නේ    එසේය.
“දේශපාලනඥයන් ළඟ විවිධාකාර මිනිස්සු ඉන්නව. ඒ අය මැති ඇමැතිවරුන්ගේ නම් පාවිච්චි කරලත් වංචා වැඩ කරනව. ඒව මැති ඇමැතිවරු දන්නෙත් ‍පොලිසියට ඒ අය අසුවුණාමයි. ඒ නිසා මම සහෝදරයාට ඒ ගැන පැහැදිලි කළා . මටත් කියන්න පුළුවන් සීමාවක් තියෙනවනේ.’ යැයි ඇය පවසන්නීය.
ඇය පවසන ආකාරයට හරිත වසන්තය නමින් කළ වගා ඉඩම් විකිණීමේ ව්‍යාපාරය පාඩු ලබන්නේ  සංජය බණ්ඩාර අබේරත්න සමග එකී සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු  කළ සිය සහෝදරයාගේ ව්‍යාපාරික සගයා මුදල් වංචා කරන්නට ගැනීම හේතුවෙනි. ඔහු සිය පෞද්ගලික ගිණුම්වලට පවා මුදල් දමාගත් බව ඇය පවසන්නීය.
එතකොට ඔබගේ සහෝදරයා එම සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළා. අනිත් අධ්‍යක්ෂවරයා මුදල් වංචා කරන බව ඔහු දැන නොසිටියාය කියලද කියන්නේ? අපි ඇගෙන් ඇසුවෙමු.
“ඒ වෙනකොට වෙන්න තියෙන දේවල් සියල්ල වෙලා ඉවරයි. අර පුද්ගලයා සමාගමෙන් ඉවත්වෙලා ගිහින්. අයිය අමාරුවේ වැටුණා. හැබැයි එයා පැනල ගියේ නැහැ. සමාගමෙන් ඉඩම් ගත්තු හැමෝටම ඒ ඉඩම් කොටස් තවත් පර්චස් තිහ හතළිහක් වැඩිපුර එක්ක ලබා දුන්න. ගුණපාල විතරයි එකඟතාවයකට ආවේ නැතිව ‍පොලිසියට ගිහින් තිබ්බේ. යම් සමාගමක් පටන්ගෙන පවත්වාගෙන යා නොහැකිව පාඩු ලබනව නම් ඒ සමාගම වසා දමනවා හැරෙන්නට කරන්න දෙයක් නැහැ නේද? “ 
ඇය පවසන ආකාරයට අනුව සමාගමට එරෙහිව ‍පොලිසියට පැමිණිලිකර ඇත්තේ ගුණපාල පමණි. සමාගමෙන් ඉඩම්  මිලදී ගත් තවත් බොහෝ අය සිටියත් ඒ අය පැමිණිලි කරන්නට නොයන්නේ ඔවුන් සහ (සමාගම වෙනුවෙන් ) ඇගේ සහෝදරයා අතර ඇතිවූ එකඟතාව මතය. නැතිනම් ඒ අයට ඔවුන් මිලදී ගත් ඉඩම් සඳහා අදාළ ඔප්පු ලබාදී වැඩිපුර ඉඩම් කොටස්ද දී ඇති බැවිනි.
“ඔබ මේ සමාගම වෙනුවෙන් පුවත්පත් දැන්වීමක සිටියා නේද? එතකොට ඒ දැන්වීමේ ඔබ සඳහන් කරල තිබුණා ඔබත් එහි ආයෝජකයෙක් බව. ඒ නිසාම ඔබේ වචන විශ්වාස කරල මිනිස්සු සමාගමෙන් ඉඩම් මිලදීගෙන අමාරුවේ වැටුණ කීවොත්.” ඇගෙන් ලක්බිම නැවත වරක් ප්‍රශ්න කළේය.
“ සමාගමේ මගේ අයිය අධ්‍යක්ෂවරයෙක්. එයා මගෙන් ඉල්ලීමක් කළා එයාගේ සමාගමේ දැන්වීමකට මගේ ෆොටෝ එක පාවිච්චි කරන්න ඕනේ කියල. මොනව උනත් ඒ මගේ සහෝදරයනේ. ඒකට මම ඉඩදුන්න. කිසිදු ගාස්තුවක් අය කළේ නැහැ. ඒ දැන්වීමේ මම ආයෝජකයෙක් කියල තිබෙනව කියල මම දන්නෙත් සති දෙක තුනක්ම පත්තරේ දැන්වීම ගියාට පස්සේ. අඩුම තරමේ ඒ දැන්වීම පත්තරේ යන්න ඉස්සර මම දැක්කේ නැහැ. ඒ දැන්වීම දැකල මා ගැන තිබෙන විශ්වාසයට ඇතැම් අය ඒ සමාගමේ ඉඩම් ගන්න ඇති. හැබැයි මමත් දැනගත්තේ ඒ දැන්වීම ගැන මගෙන් විවිධ අය අහන්න ගත්තමයි. මම අයියගෙන් ඒ ගැන ඇහුවා. මම අයියට අවසර දුන්නේ ෆොටෝ එකක් පළ  කරන්න විතරක් නිසා. පස්සෙ තමයි දන්නේ ඒ දැන්වීම ගැන අයියත් දන්නේ නැති බව. ඒ සියල්ල කරල තියෙන්නේ ඉන්දිකයි. ඒ නිසා මම වහාම ඒ දැන්වීම ඉවත් කරගන්න කියල ලිඛිතව දැනුම් දුන්න. ඒ අනුව ඒ දැන්වීම ඉවත් කරගත්ත කියල මට ලිඛිතව දැනුම් දුන්න. සමාගමේ වැඩ ගැන මම කිසිවක් දන්නේ නැහැ. හැබැයි මගේ සහෝදරයා ඒ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් බව මම පිළිගන්නව“ ඒ දමිතාගේ පිළිතුරය.
ඇය ඒ කියන ආකාරයට අනුව හැමදෙයක්ම කර ඇත්තේ ඇගේ සහෝදරයා නොවේ. ඇය සමාගමේ ආයෝජකයෙක් ලෙස පුවත්පත් දැන්වීමක් පළකර ජනතාව මුලාවේ දමා ඇත්තේද ජනතාවගෙන් මුදල් ගරාගෙන ඇත්තේද ඇගේ සහෝදරයා නොවේ. ඒ සියල්ල කර ඇත්තේ ඉන්දිකය. හැබැයි ඒ ඇගේ  සහෝදරයාත් සමාගමේ අධ්‍යක්ෂ ලෙස සිටියදීමය.
“මගේ නම විකුණල අයියා ඒ වැඩේ නම් කළේ නැහැ.” ඇය වඩාත් අවධාරණයෙන් පවසා සිටින්නේ එයය. 
“අයියව රවට්ටපු ඒ මනුස්සයා ඉඩම් විකුණන ව්‍යාපාරයක තවමත් නිරතව සිටිනව. එයාව අත්අඩංගුවට ගන්නේ නැතිවයි මගේ සහෝදරයාව අල්ලල රිමාන්ඩ් කළේ. එයාට ‍පොලිසිය දැනුම් දුන්නේ ගුණපාලගේ ඉඩමේ ඔප්පුව අරන් එන්න කියලයි. ඒක අරගෙන ගියාමයි අයියව අත්අඩංගුවට අරගෙන උසාවි දැම්මේ. ඒ නිසා අපි යම් වැඩපිළිවෙළක් කළා. ඒ අනුව ඉන්දික උසාවියට ඉදිරිපත් වුණා. දැන් අයියගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙලයි තියෙන්නේ.” දමිතා එසේද පවසන්නීය.
ඇය එසේ පැවැසුවත් මෙම ඉඩම් වංචාව පිළිබද විමර්ශන පැවැත්වූ අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරන්නේ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනාටම වගකීම්වලින් නිදහස් විය නොහැකි බවය. ‘ඒ අයට මේ ගැන ප්‍රකාශයක් දෙන්නට පැමිණෙන්නැයි අවස්ථා දහයකදීම ‍පොලිසිය මගින් දැනුම් දුන්නද ඒ කිසිදු දැනුම් දීමක් සැලකිල්ලට නොගෙන ‍පොලිසියට කට්ටි පනිමින් සිටි බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (09) වගන්ති ප්‍රකාරව කළ නියෝගයෙන්  පසුවයි සංජය බණ්ඩාර අබේරත්න පැමිණ භාරවුණේ’ යැයිද එම ඒකකයේ                      අධීක්ෂණ ප්‍රධානියා ලෙස කටයුතු කරන සහකාර ‍පොලිස් අධිකාරී කැළුම් තිලකරත්න මහතා පවසන්නේය. 
මෙම වංචාවට සම්බන්ධ බව කියන ඉන්දික නමැති සමාගම් අධ්‍යක්ෂවරයාද අධිකරණයට පසුව ඉදිරිපත් වී තිබිණි. ඒ අනුව වංචා කළ මුදල් ගුණපාලට ලබාදී එකඟතාවකට පැමිණීමට එහිදී දෙපාර්ශ්වයම එකඟ වූ බව ද සහකාර ‍පොලිස් අධිකාරිවරයා  සඳහන් කළේය. එම එකඟතාවට අනුව කටයුතු සිදුවන්නේ ඊළග නඩු දිනයේදීය. 
“ඔය කියන කිසිම දැනුම් දීමක් අයියට ලැබිල නැහැ. අපේ ගෙදර හැමතිස්සෙම අම්ම ඉන්නව. ‍පොලිසිය ආව නම් අම්ම ඒ පණිවුඩය භාරගන්නව. අයියට ලැබුණේ එකම එක ‍පොලිස් දැන්වීමක් විතරයි. ඒකට අයියා ගියා. ඒ වෙලාවෙයි අයියව අත්අඩංගුවට ගත්තේ. අයියට වංචාවක් කරන්න ඕනෙකමක් තිබුණනන් රට යන්න තිබ්බ. එයා එහෙම ගියෙත් නැහැ.” දමිතා සිය සහෝදරයා වෙනුවෙන් හඬ අවදි කරන්නේ එසේය. ඒ විතරක් නොව. ඇය පවසන්නේ මේ ගැන මෙතරම් මාධ්‍යයෙන් පන්නන්නේ ඔහු දමිතා අබේරත්න නම් වූ නිළියගේ සහෝදරයා වන නිසා බවය. කෝටි ගණන් වංචා කරන්නන් කොතෙකුත් රටේ සිටියත් ඒ අය ගැන මාධ්‍යවල නොලියවෙන බවද ඇය සඳහන් කරන්නීය.
 ‍පොලිසිය නම් මේ ගැන පවසන්නේ දමිතා  කුමක් සඳහන් කළත් ඇගේ සහෝදරයා මෙකී සමාගමේ අධ්‍යක්ෂවරයෙක් බැවින් ඔහුට ඒ එල්ලවූ චෝදනාවලින් ගැලවිය නොහැකි බවය. අනික ඔහු සමාගමේ සිදුවූ කිසිවක් නොදන්නවා යැයි කීමත් සියල්ල සිදුවීමෙන් පසු කරුණු දැනගත් බව කීමත් විහිළුවක් බවත් ‍පොලිසිය පවසන්නේ ඇගේ සහෝදරයාට ‍පොලිසියට පැමිණෙන්නැයි නිකුත් කළ සියලු දැනුම් දීම් පිළිබඳ විස්තර ‍පොලිසිය සතුව තිබෙන නිසාය.

No comments:

Post a Comment