ලොව නිර්මාණය වී ඇත්තේ හිරුගේ කිරණින් හා මවගේ කිරිවලින් බව මැක්සිම් ගෝර්කි ලියා තැබුවේය. මාතෘත්වය යනු මේ විශ්වයේම අනාගතයයි. මව්වරුන් විසින් ලෙයින් කිරෙන් තනන දියණිවරුන් යනු අනාගත මාතෘත්වයේ හිමිකාරිත්වයයි. එහෙත් පහනක් සේ බැතින් පෙමින් දල්වාලිය යුතු ජීවිතය මඟ වරදාගත් ශාපයකට අඳුරු අගාධයකට ඇද දමා ගත් මාවතේ දියණියන් පිළිබඳ අපි සති කිහිපයක් මුළුල්ලේ කතා කළෙමු.
ගැහැනුන් ගණිකාවන් වෙන්නේ ඇයිද යන්න පිළිබඳ මෙන්ම පිරිමින් ගණිකාවන් සොයා එන්නේ ඇයිද යන්න පිළිබඳවද අපි සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයක් ඔස්සේ කතා කළෙමු.
සුපිරි මට්ටමේ ගණිකා නිවාසයක ගණිකාවක් බවට පත්වීම මුදල් හදල් දෝරගලායන අරුමෝසම් වර්ණ සහිත ලෝකයකට නිරායාස දොරගුළු විවර වීමක්ය යන සිතුවිල්ල ඔබ සිතේ ජනිත විය හැකිය. එහෙත් වර්ණ ගල්වන ලද ඒ හැම ආකර්ෂණීය සිතුවමකම පිටුපස ඇත්තේ දහස් ගණන් පැන්සල් ඉරි රැඳුණු අඳුරු කටු සටහනකි. මෙය ඔබ අනිවාර්යෙන්ම තේරුම් ගත යුත්තකි.
සුපිරි මට්ටමේ ගණිකා නිවාස පවත්වාගෙන යන පුද්ගලයන් අතර දේශපාලනඥයන්, උසස් පොලිස් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් සිටියි. සංචාරක හෝටල් ව්‍යාපාර අරඹා එම ව්‍යාපාර ලාභ ලබන ව්‍යාපාර බවට පත් කර ගත් ඉනික්බිති ඒ බොහෝ ව්‍යාපාරිකයෝ සුපිරි මට්ටමේ ගණිකා නිවාස පවත්වාගෙන යාමට පෙළඹෙති. සුපිරි මට්ටමේ ගණිකාවක් බවට පත්වීමට පූර්ණය කළ යුතු වන්නේ සුදුසුකම් කිහිපයක් පමණි. ඒ වයසින් ළාබාල වීම හා සිත කය පිනවන රූපසම්පත්තියකින් යුතු වීම පමණි.