Friday, July 19, 2013

Cricket News - අභියෝගය ජය ගැනීම මා සතුයි... - කෝඩුකාර නායක චන්දිමාල්





දස වසරකින් ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී එක්‌දින තරගයක්‌ ජය ගැනීමට අපොහොසත්ව සිටින දකුණු අප්‍රිකානු කණ්‌ඩායම අද (20 දා) තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකාව සමගින් සහභාගි වේ. දිවා රාත්‍රි තරගයක්‌ ලෙස පැවැත්වෙන මෙය ප.ව. 2.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ට තරග දෙකක්‌ තහනම් වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් අද ශ්‍රී ලංකාවේ ලාබාලතම ක්‍රිකට්‌ නායකයා සහ 17 වැනි එක්‌දින නායකයා ලෙස ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවනු ලබයි. ඊයේ දිනයේදී පුහුණුවීම්වලින් අනතුරුව සිය අභියෝගය ජය ගැනීමට තමන් සූදානමින් සිටින බව චන්දිමාල් මාධ්‍ය හමුවේ පැවසීය.


"මම ගමේ ක්‍රිකට්‌ සෙල්ලම් කරල ඉතාමත් දුක්‌ මහන්සි වෙලා තමයි අද මේ තත්ත්වයට ඇවිල්ල ඉන්නෙ. ඇත්තටම ජාතික කණ්‌ඩායමේ නායකත්වයට පත්වෙනව කියන එක ලෙහෙසි පහසු කාර්යක්‌ නෙමෙයි. මම පාසලේ ක්‍රිකට්‌ සෙල්ලම් කරන කාලයේ සිට ලොකු අරමුණක්‌ සහ ඉලක්‌කයක්‌ ඇතිව සෙල්ලම් කළා. අද එතැනට ඇවිල්ල ඉන්නවා. එතැනිනුත් ජාත්‍යන්තරයේ සුපිරි ක්‍රීඩකයෙක්‌ වීම තමයි මගේ අරමුණ. මම කියන්නෙ අපේ පාසල් ක්‍රීඩකයන්ටත් ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණ ඇතිව ක්‍රිකට්‌ සෙල්ලම් කරන්න කියල. එතනදි අපිට නොයෙකුත් අභියෝග සහ විවේචන එල්ලවෙන්න පුලුවන්. ඒ හැම දෙයක්‌ම ජය ගනිමින් ඉදිරියට ආවොත් තමයි අපිට ජය ගන්න පුලුවන්." යනුවෙන් චන්දිමාල් සිය නායකත්වයට පත්වීම පිළිබඳව අදහස්‌ දැක්‌වීය.

"පෞද්ගලිකව අවසන් තරගාවලි දෙකේදී මම අසාර්ථක වුණා කියල පිළිගන්නවා. අපි කොච්චර හොඳට සෙල්ලම් කළත් යම් යම් අවස්‌ථාවලදී අසාර්ථක වෙනවා. මේ තරගාවලියේ මගේ අභියෝගය තියෙන්නෙ නායකත්වය දරන පළමු තරග දෙකේදී පිතිකරුවකු විදිහට සහ නායකයකු විදිහට එම අභියෝගය ජය ගනිමින් සමස්‌ත තරගාවලියම හොඳින් අවසන් කරන්නවා." යනුවෙන් චන්දිමාල් තමා සතු අභියෝගය පිළිබඳව අදහස්‌ දැක්‌වීය.

කොදෙව්හි පැවැති තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියෙන් ආබාධයක්‌ හේතුවෙන් ඉවත්ව සිටි තිලකරත්න ඩිල්ෂාන් නැවත කණ්‌ඩායමට එක්‌ව සිටින අතර ඔහු අද දිනයේදී උපුල් තරංග සමග ඉනිම ආරම්භ කිරීමට නියමිතය. සංචිතයට අලුතින් එක්‌වූ ජෙහාන් මුබාරක්‌ සහ ඇන්ජලෝ පෙරේරාගෙන් එක්‌ අයකු අද දිනයේදී ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ස්‌ථානයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස්‌, "අපිට තියෙන ලොකුම අභියෝගය දේශගුණය සහ තණතීරුවලට හුරුවීමයි. අපි පුහුණු තරගයේදී හොඳ අත්දැකීමක්‌ ලබාගත්තා. අද උදැසන තණතීරුව බලල හොඳම සංචිතය පිටියට පිවිසෙනවා." යනුවෙන් පැවසීය.

දකුණු අප්‍රිකානු කණ්‌ඩායම 2002 වසරේ සැප්තැම්බර් මාසයේදී කෙන්යාව පරාජය කිරීමෙන් පසු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වූ තරග හයෙන් පරාජයන් තුනක්‌ සහ විසඳුමකින් තොරව තරග තුනක්‌ වශයෙන් තීරණ ලබා ඇත. ඒ අනුව වසර 11 කට ආසන්න කාලයකදී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජයග්‍රහණයක්‌ නොලබා ඇති දකුණු අප්‍රිකාව මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සමග සහභාගි වූ තරග පහෙන් තරග හතරක්‌ම පරාජය වී තිබීම ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මානසිකත්වය ඉහළ දමන්නක්‌ වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ඉතිහාසයේ සහභාගි වූ එක්‌දින තරග 51 කදී දෙපිලම කරට කර ජය ලබා ඇති අතර එහිදී දකුණු අප්‍රිකාව ඉදිරියේ ජයග්‍රහණ 25 ක්‌ද ශ්‍රී ලංකාව ඉදිරියේ ජයග්‍රහණ 24 ක්‌ද වශයෙන් සටහන් වේ. අවසන් වරට දෙපිලම 2012 වසරේ සිට සහභාගි වූ එක්‌දින තරග පහෙන් තරග තුනක්‌ ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබේ.

ක්‍රීඩාංගණය

අද තරගය සඳහා සූදානම් කළ ඇති තණතීරුව තණකොළ රහිත තණතීරුවක්‌ බව ඊයේ දිනයේදී දිස්‌වූ අතර එය පිතිකරුවන්ට මනා සහයෝගයක්‌ ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. පසුගිය දින කිහිපයේදී කොළඹට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ආසන්නයේ මඳ වශයෙන් වතුර රැඳී තිබීමද විශේෂත්වයකි.

තරගයට සහභාගි වීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්‌ඩායම

උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක/අජන්ත මෙන්ඩිස්‌, ෂමින්ද එරංග සහ ලසිත් මාලිංග

තරගයට සහභාගි වීමට අපේක්‍ෂිත දකුණු අප්‍රිකානු කණ්‌ඩායම

හසීම් අම්ලා, ඇල්විරෝ පීටර්සන්, ඡේපී ඩුමනි, ඒබී ඩිවිලියර්ස්‌ (නායක), දු ප්ලෙසිස්‌, ඩේවිඩ් මිලර්, රොබින් පීටර්සන්, රයන් මැක්‌ලර්න්, මොනී මෝර්කල්, ක්‍රිස්‌ මෙරිස්‌ සහ ආරොන් පෙන්ගිසෝ

No comments:

Post a Comment