Friday, July 19, 2013

Gossip lanka - ඔව්. අර්ජුන් මගේ පෙම්වතා අමීෂා කාවින්දි


අමීෂා කාවින්දි කලා ක්‍ෂේත්‍රයට පැමිණියේ නර්තන ශිල්පිනියක ලෙසය. මීට දින කීපයකට පෙර තිරගතවීම ඇරඹුණු අර්ජුන් කමලනාත් අධ්‍යක්ෂණය කළ ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය වන ජිනාගේ චරිතය නිරූපණය කරන්නේ අමීෂාය. අමීෂා, අපගේ කලා ක්‍ෂේත්‍රයට පෑයූ තරුවක් ලෙස හැඳින්වීම නිවැරැදිය. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අප අමීෂාව මෙවර එක්කරගන්නේ එබැවිනි.
අමීෂා ඔබ මේ දිනවල මොන වගේ වැඩත් එක්කද ඉන්නේ?
මේ දවස්වල අර්ජුන් අයියා (අර්ජුන කමලනාත්) අධ්‍යක්ෂණය කළ ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට දායක වෙනවා. ඒ වගේම අර්ජුන් අයියගේම ‘ආශාවේ මායා’ චිත්‍රපටයේ දෙබස් කැවීම්වලටත් දායක වෙනවා.
’ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයට ඔබ දායක වී තිබෙන්නේ කොහොමද?
මෙහි ප්‍රධාන නිළි චරිතය රඟපාන්නෙ මම. ඒ වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලටත් මම දායක වුණා.

ඔබ මෙතෙක් රංගනයෙන් දායක වී ඇති සිනමා නිර්මාණ?
’ඩබල් ගේම්’, ‘ජය පිට ජය’, ‘සුදු හංසි’, ‘සර් ලාස්ට් චාන්ස්’ කියන චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටය වන ‘සඳ දෙව්දෝනි’ චිත්‍රපටයත්, ‘සදාකල් ඔබ මගේ’ චිත්‍රපටයත් තවම තිරගත වුණේ නෑ.
’ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ මොන වගේ චිත්‍රපටයක්ද?
මෙය විනෝදය පිරුණු සටන් ජවනිකා, ගීත ඇතුළත් ඉතාම සුන්දර චිත්‍රපටයක්. මෙහි මම නිරූපණය කරන්නේ ‘ජිනා’ කියන යුවතියගේ චරිතය. මම රඟපෑ චිත්‍රපට අතරින් මම වඩාත්ම කැමැති චිත්‍රපටය තමයි ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’. මේක තාරුණ්‍ය වෙනුවෙන්ම කළ චිත්‍රපටයක්.
මෙතෙක් කල් ඔබ රඟපා ඇති චිත්‍රපට සියල්ලම වාණිජමය චිත්‍රපට නේද? කලාත්මක චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණොත් එය බාරගන්නවද?
මම රඟපෑ ‘සුදු හංසි’ මැද මාවතේ චිත්‍රපටයක්. මෙතෙක් මම රඟපෑ චිත්‍රපට සියල්ලම වාණිජමය චිත්‍රපට බව ඇත්ත. නමුත් කලාත්මක චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණොත් එය සතුටින් බාරගන්නවා.
මම හිතනවා එවැනි චිත්‍රපටයකත් හොඳින් රඟපාන්න මට අවස්ථාව ලැබෙයි කියලා.
හැබැයි මම පෞද්ගලිකව වඩාත්ම කැමැති වාණිජමය චිත්‍රපටවල රඟපාන්න. ඒ මොකද ඒ චිත්‍රපට හරිම සුන්දර නිසා.
ඔබත් අර්ජුන්ත් අතින් ඉදිරියේ දී තවත් චිත්‍රපට බිහිවේවිද?
බලාපොරොත්තුවක් තියෙනවා. ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයේ සාර්ථකත්වය අනුවයි ඒ ගැන හිතන්නේ.
ඔබ ටෙලිනාට්‍යවල නැත්තේ ඇයි?
‘කාව්‍යා’ සහ ‘නිලංජනා’ කියන ටෙලිනාට්‍යවල මම රඟපාල තියෙනවා. ඒ දෙකම දීර්ඝ ටෙලි නාට්‍ය. දීර්ඝ ටෙලිනාට්‍යවල රඟපෑම මට නම් හරිම අමාරුයි. ඒ මොකද, දිනපතාම ඒවායේ රූපගතකිරීම් සිදුවීම.
ඒ නිසයි මම ටෙලිනාට්‍යවලට වැඩිපුර දායක නොවෙන්නේ. හැබැයි කොටස් 30ක 35ක පමණ හොඳ පිටපතකට අනුව නිර්මාණය වන ටෙලිනාට්‍යයක රඟපාන්න මම ආසයි.
දැන් නර්තනයෙන් ඈත් වෙලාද?
මම කලාවට ආවේ නර්තනයෙන්. නර්තන කණ්ඩායමකට සම්බන්ධ වෙලා මම නර්තනයේ යෙදුණා. දැන් මම එහි නෑ. නමුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් සහභාගි වෙන දේශීය විදේශීය ප්‍රසංගවලට මම නර්තනයෙන් දායක වෙනවා. මම කවදාවත්ම නර්තනයෙන් ඉවත් වෙන්නේ නෑ. නර්තනය තමයි මගේ අංක එක.
අර්ජුන් කමලනාත් ඔබේ පෙම්වතා නේද?
ඔව්.
ඒ නිසා අර්ජුන සමඟ තිරයේ පෙම් ජවනිකා රඟපෑම ඔබට පහසුවුණාද?
’ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයේ අර්ජුන් අයියා මගේ පෙම්වතා වගේම ඔහු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. මෙහිදී අධ්‍යක්ෂවරයා ලෙසත් ඔහුගෙන් මට උපදෙස් ලැබුණා. මෙහි අපි පෙම්වතුන් ලෙස ඉතා සමීපව රඟපාන දර්ශනත් තියෙනවා. ඒවා රඟපැමේදී අර්ජුන් අයියා මගේ සැබෑ ජීවිතයේ පෙම්වතා වීම පහසුවක් වුණා කියන එක හරි.
තිරයේ ඔබේ පෙම්වතා අර්ජුන් පමණද?
මොකද මම දන්නෙ නෑ. මෙතෙක් තිරයේ මට රඟපාන්න ලැබිල තියෙන්නෙම අර්ජුන් අයියගේ පෙම්වතිය හැටියට.
ඒක සැලසුම්සහගත වැඩක්ද?
නැහැ. එහෙම දෙයක් නෑ. මේ වන තෙක් එසේ රඟපෑවත් ඉදිරියේ දී කිසියම් අධ්‍යක්ෂවරයෙක් මට කතාකළොත් වෙනත් රංගන ශිල්පියකු සමඟ පෙම්වතුන් ලෙස රඟපාන්න මම ඒක බාරගන්නවා.
අර්ජුන් ඒකට අකැමැති වෙයිද?
නැහැ. එයාගෙ කිසිම අකැමැත්තක් නෑ.
අර්ජුන්ගෙත් ඔබෙත් විවාහය ළඟදී සිදුවේවිද?
අපේ විවාහය නම් දැන්මම සිදුවෙන්නේ නෑ.
ඔබ රූපය ගැන කෙතරම් සැලකිලිමත්ද?
සැලකිලිමත් වෙනවා. තැනට ඔබින ආකාරයට මම ඇඳුම් පැලඳුම් තෝරාගන්නවා. ආහාර පාලනය, ව්‍යායාම කිරීම වගේ දේවල් මම කරන්නේ නෑ. නමුත් එසේ කිරීම රංගන ශිල්පිනියකට අවශ්‍යයි.
ඔබේ පවුලේ කවුද ඉන්නේ?
අම්මයි, තාත්තයි, අක්කයි, මමයි තමයි අපේ පවුලේ. අක්ක විවාහකයි. අක්කට බබාල දෙන්නෙක් ඉන්නවා. අපි හරිම සතුටින් ඉන්නවා.
දැන් ඔබේ තිබෙන ලොකුම බලාපොරොත්තුව කුමක්ද?
අර්ජුන් අයියා අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වන ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටය සාර්ථකව තිරගතවනවා දැකීමයි ලොකුම බලාපොරොත්තුව.

No comments:

Post a Comment