Wednesday, May 8, 2013

ගැබිනි මව්වරුන්ට උණ හා කැස්ස ඇති වුවහොත් වහා ප්‍රතිකාර ගත යුතුයි


ඉන්ෆ්ලුවන්සා රෝග බිය රට පුරාම මේ දිනවල පැතිර යාමට ප්‍රධාන හේතුවක් වූයේ පසුගිය දිනවලදී කාසල් කාන්තා රෝහ‍ලේ ගැබිනි මවුවරුන් දෙදෙනෙකු මිය යෑමය.තදබල ලෙස උණ හා කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණ මවක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව රෝහ‍ලේ නේවාසිකව සිටි තවත් මවුවරුන් දෙදෙනකුද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවට පුවතක් රට පුරා පැතිර ගියේය. මේ රෝගීි තත්ත්වයට හේතුව ඉන්ෆ්ලුවන්සා වෛරසය ශරීර ගත වීම බවද, තවත් ගර්භණී මවුවරුන් 8 දෙනෙකුටම එම වයිරසය ශරීරගත වීම හේතුවෙන් රෝහ‍ලේ විශේෂිත ඒකකයක ප්‍රතිකාර ලබා දීමට රෝහල් බලධාරීන්ට සිදු වූ බවද වාර්තා විය.
ඇතැම් අයකුට මාරාන්තික වුවත් බොහෝ දෙනෙකුට මාරාන්තික නොවන ඉන්ෆ්ලුවන්සා වෛරසය  මේ සඳහා හේතුකාරක වී තිබුණි. ඉන්ෆ්ලුවන්සා වයිරසය මිනිසාගේ ස්වසන පද්ධතිය ආක්‍රමණය කර ඇතැම් විට ඉබේටම සුව වන අතර ඇතැම් පුද්ගලයින්ට නියුමෝනියා තත්ත්වයන් ඇති කරවයි.
සෙම්ප්‍රතිශ්‍යාව උණ රෝග තත්ත්වයක් ඇති කළ හැකි වයිරස වර්ග 100ක් පමණ තිබුණද ඉන්ෆ්ලුවන්සා වයිරසයට ප්‍රධාන තැනක් හිමිවනුයේ එය රටින් රටට ශීඝ්‍රයෙන් පැතිර යාමට සමත්වීම හේතුවෙනි.
ඉතා සුළු කාලයක් තුළ ලෝක ජනගහනයෙන් ඉතා වැඩි ප්‍රතිශතයක් ආසාදනය කරමින් ඇතැම් පුද්ගලයින්ට දරුණු නියුමෝනියා තත්ත්වයක් ඇති කර මරණය සිදු කිරීමට මෙම ඉන්ෆ්ලුවන්සා වයිරසයට හැකියාව පවතී. 

ඉන්ෆ්ලුවන්සා වයිරසය ඒ ඕ  හා ඛි යනුවෙන් ප්‍රභේද තුනක් වෙයි. වසංගතයක් ලෙස පැතිර යමින් මිනිසාට ඉතාමත් දරුණු තත්ත්වයක් හා මරණය පවා ඇති කිරීමට සමත් වනුයේ ඉන්ෆ්ලුවන්සා ඒ වයිරසයයි.
මෙම වයිරසය ස්වාභාවික ධාරකයා වන්නේ ජලජ පක්ෂීන්ය. ඉන්ෆ්ලුවන්සා ඒ  වයිරසයේ විවිධ ප්‍රභේද වරින් වර මතුවී පළමුව ගෘහ ආශ්‍රිත කුකුළන් අතර පැතිරීමට පටන් ගනී. ඉන් අනතුරුව මිනිසාට බෝවේ. මෙසේ අලුතින් ඇතිවන ඉන්ෆ්ලුවන්සා ඒ   වයිරසයේ උප ප්‍රභේද සඳහා මිනිසා තුළ පෙර ප්‍රතිශක්තියක් නොමැති බැවින් මිනිසා අතර වේගයෙන් පැතිර යාමට පටන් ගනී. මේ දිනවල ඇති වී තිබෙන ඉන්ෆ්ලුවන්සා ඒ  වසංගතය එවැන්නකි.
දැනට අප රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඉන්ෆ්ලුවන්සා ඒ  වයිරසය මීට වසර කීපයකට පෙර චීනයෙන් වාර්තා වූවකි. අප්‍රේල් 25 වන දින වන විට රෝගීන් 109ක් චීනයෙන් වාර්තා වූ අතර ඔවුන්ගෙන් පුද්ගලයින් 22 මිය ගියේය.
මෙම වයිරස් රෝගයේ ව්‍යාප්තිය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ව්‍යාප්තියට බෙහෙවින්ම සමාන වේ. මෙය කැස්සෙන් සහ කිවිසීමෙන් පිටවන ශ්‍රාව බිඳිති මගින් මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේශනය වේ.
රෝග ලක්ෂණ මතුවී දින 7ක් දක්වා කාලය තුළ ආසාදිත පුද්ගලයකුගෙන් තවත් අයට රෝගය වැළඳේ.
සෙම්ප්‍රතිශ්‍යාව උණ, කැස්ස උගුරේ ආසාදනය, ඇඟපත රුදාව, හිසරදය සීතල ගතිය හා මහන්සිය යන රෝග ලක්ෂණ මතුවෙන අතර ඇතැම්    පුද්ගලයින්ට නියුමෝනියා තත්ත්වයන් පවා ඇති කරනු ලබයි.
මෙසේ රෝගය දරුණු විය හැක්කේ ශරීරයේ ප්‍රතිශක්තීය හීන වූ පුද්ගලයින්ටය. එනම් ගර්භණී මවුවරුන්ට, කුඩා දරුවන්ට, වයස්ගත වූ පුද්ගලයින්ට හා විවිධ නිදන්ගත රෝග වැළඳී සිටින අයටය.
මෙය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් බැවින් කහින විට සහ කිවිසීමේදී නාසය සහ මුඛය ආවරණය කර ගැනීමත්, දෑත් සබන් ගා පිරිසිදු ජලයෙන් සේදීමත්, ඇස්,නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීමත්, ආසාදිත පුද්ගලයින් ඇසුරට නොයාමත්, වයිරසය ආසාදනය වුවහොත් නිවෙස තුළම රැඳී සිටීමත් මගින් අන් අයට රෝගය බෝවීම මග හරවා ගත හැකිය.
විශේෂයෙන්ම ගර්භණී මවුවරුන්ට මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව උණ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුවුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා වහාම යොමු විය යුතු අතරම වැඩිපුර දියර වර්ග පානය කරමින් විවේකීව ගත කිරීම වැදගත්ය. 

වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය සුදත් පීරිස් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන්.

No comments:

Post a Comment