ඇය බුවිනි චාපා දියලගොඩ. බුවිනි අපගේ රංගන ක්ෂේත්රයට පෑයූ නවක තරුවක් ලෙස හැඳින්වීම නිවැරදිය. ඇය දක්ෂ රංගන ශිල්පිනියක වන වත්සලා දියලගොඩගේ නැඟණියයි. බුවිනි මේ දක්වා දායක වී ඇති නිර්මාණ සංඛ්‍යාව විශාල නොවූව ද එම නිර්මාණ කීපය තුළින් තම රංගන හැකියාව මනාව පෙන්වීමට ඇය සමත්ව ඇත. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද බුවිනි එක්කර ගන්නේ ඇයගේ නවතම තතු විමසා බලන්නටය.
ඔබ රංගන ශිල්පිනියක් වෙන්න සිහින මැවූ කෙනෙක්ද?
ඔව්. රංගනයට ඒමේ ආශාවක්, පුංචි හීනයක් මගේ හිතේ කොනක තිබුණා. මගෙ ගම කඩුවෙල. පාසල් ගියේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට. පාසලේ දී මම කලාවට සම්බන්ධ වුණා. උසස් පෙළට ඉගෙනගත්තේ නාට්‍ය හා රංග කලාව, නර්තනය කියන විෂයයන්. පාසල් නාට්‍ය තරගාවලියකදී පාසලේ හොඳම නිළිය වෙන්නත් මට අවස්ථාව ලැබිල තියෙනවා.
එතකොට ඔබ ටෙලිනාට්‍ය රංගනයට පිවිසුණේ කොහොමද?
2012 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනී සේවය මඟින් සංවිධානය කළ සිංහල අවුරුදු උලෙළට මමත් ඉදිරිපත් වුණා. එහිදී මාව දැකපු කීප දෙනෙක්ම මට විවිධ නිර්මාණවලට කතා කළා. ඒ අනුවයි මට සුනෙත් මාලිංග ගේ ‘මිල්ලෑව වලව්ව‘ ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ මගේ පළමු රංගනය.
ඔබට මතකද රූපවාහිනී කැමරාවට මුහුණ දුන් පළමු දවස?
ඔව්. මට ඒ දවස තාම මතකයි. ‘මිල්ලෑව වලව්ව’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් පටන්ගන්න පළමු දිනයේ පළමු දර්ශනයේ මට රඟපාන්න තිබුණා. එදා පොඩි බියක් මට දැනුණා. නමුත් අධ්යක්ෂතුමා එතැන සිටි ප්‍රවීණ නළු නිළියන්ගේ සහයෝගය නිසා මට ඒ වැඩේ එදා හොඳට කරන්න හැකිවුණා.
ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ...?
සුනෙත් මාලිංගගේ ‘නුඹට ඉන්නෙ මං විතරද’, සම්පත් ශ්‍රී රෝෂන් ගේ ‘හිරු තනිවෙලා අහසේ’, ජෝසප් ජෙරමිගේ ‘පබසරා’, ධම්මික තිසේරා ගේ ‘මල් මී’ කියන ටෙලිනාට්‍ය වලටත්, සුනෙත් මාලිංගගේ ‘ස්පන්දන’ චිත්‍රපටයටත් මම මේ වන විට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ප්‍රේක්ෂකයින් ගොඩක් දෙනෙක් ඔබව හඳුනනවාද?
බුවිනි චාපා කිව්වට ගොඩක් දෙනෙක් තවම දන්නේ නෑ. නමුත් වත්සලා දියලගොඩගෙ නංගි කිව්වම ගොඩක් දෙනෙක් දන්නවා.
ඔබ රංගනයට ආවේ අක්ක නිසාද?
නැහැ. මම රංගනයට ආවේ රංගනයට තියෙන ආශාව නිසා. පුංචි කාලෙ ඉඳලම ඒ ආශාව තිබුණා. අක්ක මට ගොඩක් කලකට පෙර රංගනයට ආවා. අක්කගෙ රඟපෑම් දැකල රංගනයට තිබුණු මගේ ආශාව වැඩිවුණා.
රංගනයට අමතරව තවත් ආශා කරන ඉලක්කයන් තිබුණද?
ඔව්. ගුවන් සේවිකාවක් වීමේ ආශාව මට තිබුණා.
අක්කගෙන් මොනවගේ සහයෝගයක් ද ඔබට ලැබෙන්නේ?
විශාල සහයෝගයක් මට මගෙ අක්කගෙන් ලැබෙනවා. මට කිසියම් නිර්මාණයකට කතාකළාම තිරපිටපතක් ලැබුණම ඒ ගැන මම මුලින්ම කියන්නෙ අක්කට. එතකොට ඒ චරිතය රඟපාන විදිය, ඒ චරිතයේ ස්වභාවය මට අක්ක කියලා දෙනවා. ඒ සහයෝගය මට ගොඩක් වටිනවා.
අක්කයි ඔබයි එකම නිර්මාණයකට තවම දායක වෙලා නැතිද?
නැහැ. තවම ඒ අවස්ථාව උදාවුණේ නෑ. අක්කත් මමත් එකට නිර්මාණයක රඟපාන්න ආශාවෙන් ඉන්නේ.
ඔබේ පවුලේ තොරතුරු?
අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි, මමයි අපේ පවුලේ ඉන්නේ. අක්ක දැන් විවාහ වෙලා. මගෙ අම්ම තමයි මගේ සෙවණැල්ල වගේ දැන් ඉන්නේ. පවුලේ අයගෙන් මගේ රඟපෑම් කටයුතුවලට ලැබෙන සහයෝගය මට විශාල හයියක්.
ඔබ මේ වන විට රඟපාල තිබෙන චරිත මොනවගේ ඒවාද?
මේ වන විට මම විශාල නිර්මාණ ප්‍රමාණයකට දායක වෙලා නැති වුණත් කරල තිබෙන චරිත එකිනෙකට වෙනස්. ‘මිල්ලෑව වලව්ව’ ටෙලි නාට්‍යයේ මම කළේ දඟකාර යුවතිකගේ චරිතයක්. ‘හිරු තනිවෙලා අහසේ’ ටෙලි නාට්‍යයේ හිතුවක්කාර චරිතයක්. ‘පබසරා’ ටෙලිනාට්‍යයේ ගැමි චරිතයක්. ‘මල්මී’ ටෙලිනාට්‍යයේ චරිත දෙක් කළා. එකක් මුඩුක්කු පරිසරයක ජීවත්වන ත්‍රීවීල් එකක් පදවන යුවතියකගේ චරිතයක්. අනෙක් චරිතය සල්ලිකාර පවුලක අහිංසක යුවතියකගේ චරිතයක්.
එතකොට ඔබට ත්‍රීවීල් පදවන්න පුළුවන් ද?
මීට කලින් මම ත්‍රීවීල් පදවන්න දැනගෙන හිටියේ නෑ. ටෙලිනාට්‍යයට ඕන නිසා ත්‍රීවීල් පදවන්න පුරුදු වුණා.
ඔබ රඟපාන්න කැමැති චරිතයක් එහෙම තියෙනවද?
මගේ රංගන හැකියාව පෙන්වන්න පුළුවන් අන්දමේ අභියෝගාත්මක චරිත රඟපාන්න මම කැමැතියි. ඒ වගේම අන්ධ යුවතියකගේ චරිතයක් රඟපාන්න මම හරිම කැමැතියි.
දිගටම රංගන ක්ෂේත්රයේ ඉන්න බලාපොරොත්තු වෙනවාද?
ඔව්. මට හැකිතාක්කල් මම රංගන ක්ෂේත්රයේ ඉන්නවා.
යෞවනියක් හැටියට ජීවිතයට සමීප සුවිශේෂී කෙනෙක් ඉන්නවද?
නැහැ. එහෙම කෙනෙක් තවම නෑ.
No comments:
Post a Comment