අයි.පී.එල්. අලුත් වීරයෙක්
ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළ ඉන්දියා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලිය පසුගියදා ආරම්භ වුණා. එහි දෙවැනි තරගය පැවැත්වුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.
පළමුව පන්දුවට පහරදුන් බැංග්ලෝර් පිලට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් කඩුලු 3ක් බිඳ දැමූ මුම්බායි පිලේ අපූරු වේගපන්දු යවන්නකු ගැන එදා රාත්‍රියේ හැමෝම කතාවුණා.
ඒ පන්දු යවන්නා වුණේ 19හැවිරිදි ගුජරාටි ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රායි. ඔහුගේ අමුතුම පන්දු යැවීමේ ඉරියව්ව ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයකට ලක්වේවි කියලා සචින් තෙන්ඩුල්කර් කියනවා. සචින් තමයි බුම්රාට ඔහුගේ මංගල අයි.පී.එල්.තරගයට හිස්වැස්ම පිළිගැන්වූයේ. මේ යොවුන් ක්‍රීඩකයා තවමත් ඉන්දියාවේ පළමුපෙළ තරගයකටවත් සහභාගිවෙලා නෑ.
කිම් ට පුතෙක් !
බෙල්ජියමෙන් බිහිවූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩිකා කිම් ක්ලිජිස්ටර්ස් මේ දවස්වල ඇගේ දෙවැනි දරු ප්‍රසූතියට සූදනම් වෙනවා. ඇය බලාපොරොත්තුවෙන් සිටියා වාගෙම මෙවර ලැබෙන්නේ පුතෙක්.
ඒ සම්බන්ධව ඇගේ සැමියා වන අමෙරිකා බාස්කට්බෝල් ක්‍රීඩක බ්‍රයන් ලින්ච් පසුගියදා ට්වීටර් වෙබ් ජාලයේ මෙසේ සටහන් කළා.
‘හායි. හැමෝටම සුබ ආරංචියක් තියෙනවා කියන්න. ජෙඩා අපේ දුව දැන් අක්කා කෙනෙක් වෙන්න යනවා. ඒ කියන්නේ එයාට මල්ලි කෙනෙක් ලැබෙන්නයි යන්නේ.‘
29හැවිරිදි කිම් පළමු වරට ගැබිනියක වූවාට පසුව ටෙනිස් පිටියෙන් සමුගත්තා. එහෙත් දියණියට වසර 2ක් වනවිට ඇය නැවත ටෙනිස් පිටියට පා තැබුවා පමණක් නොව විශිෂ්ටතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් ද දිනා ගත්තා. ඒ හේතුවෙන්ම ඇය ‘පුනරාගමනයේ රැජන‘ යන විරුදාවලිය ලැබුවා.
‘යූසුෆ්’ විවාහයට ආරාධිතයෝ 400ක්
ඉන්දියාවේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන යූසුෆ් පතාන්ගේ විවාහ මංගලෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඊට ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන යූසුෆ්ගේ හා ඔහුගේ සොයුරු ඉර්ෆාන්ගේ සමීපතම මිතුරන් ද, බොලිවුඩ් නළු නිලියන්ද ඇතුළුව තෝරාගත් ආරාධිතයන් 400කට මේ සඳහා ආරාධනා ලැබී තිබුණා.
ජුහී චවුලා, ගෞතම් ගම්බීර්, මොහොමඩ් අසාරුදීන් ඒ අතරින් කැපී පෙනුණා.
ටයිසන්ගෙන් ඔබාමාට පෙත්සමක්
අමෙරිකාවෙන් බිහිවූ පළමු කළු ජාතික ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා වූ ජැක් ජැක්සන්ට අමෙරිකාවේ වත්මන් ජනාධිපති බැරක් ඔබාමාගෙන් සමාව ඉල්ලා සිටිමේ පෙත්සමකට අස්සන් එකතු කිරීම හිටපු හෙවිවේට් ශූර මයික් ටයිසන්ගේ මූලිකත්වයෙන් පසුගියදා ආරම්භ කළා.
සුදු ජාතික තරුණියක් සමග පෙම් සම්බන්ධතාවක් පැවැත්වීමේ වරදට චෝදනා ලැබූ ජැක්සන් සිරගෙට නියම වූයේ 1913වසරේදියි. ඒ අනුව ජැක්සන් සතුව තිබූ සියලු බොක්සිං වාර්තා අවලංගු කොට තිබුණා.
‘ඒ අසාධාරණ නඩු තීන්දුවෙන් ජැක්සන්ට සිදුවූ විශාල පාඩුවක් බවත්, ජැක්සන්ට සමාව දී නැවත ඔහු අමෙරිකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම බොක්සිං ක්රිඩකයකු හැටියට පිළිගන්නා ලෙසත් ඒ පෙත්සම මගින් ටයිසන් ඉල්ලා සිටිනවා.
ට්විටර් වෙබ් ජාලයේ සිය රසික රසිකාවියන් මිලියන 3.6ක් මේ පෙත්සමට අස්සන් කරාවි යැයි ඔහු බලාපොරොත්තු වෙනවා.
No comments:
Post a Comment