Monday, April 15, 2013

හොඳම හාදුවට හොඳයිලු


ඇන්ජලිනා නෙත් පාදයි

සුපිරි නිළි ඇන්ජලිනා ජොලී, සමාජ සේවයට වඩාත් ළැදියි. ඇයගේ අතහිත නිතරම යෙදවෙන්නේ අසරණ දරු දැරියන් වෙනුවෙන්. පසුගියදා ඇය තවත් අසරණ දැරියන් රැසකගේ නෙත් පෑදීමේ මහඟු කටයුත්තක් ආරම්භ කළා. ඒ, ගැහැනු ළමයින් වෙනුවෙන් පාසලක් ඉදි කිරීමෙන්.
මේ පාසල ඉදිවුණේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේයි. මෙහි දැනට සිසුවියන් 200 ක් 300 ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටිනවා. ඇන්ජලිනා පවසන්නේ තමන්ගේ නමින් ක්‍රියාත්මක වන සමාජ සේවා පදනම මඟින් ආරම්භ කරන ලද මේ බාලිකා පාසලේ වැඩ කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවයි.
ඇන්ජලිනා ගේ මෙම සමාජ සේවා පදනම ආරම්භ කර ඇති පාසල් පිහිටුවීමේ වැඩ සටහනෙහි මුල්ම පියවර මෙයයි. මේ කටයුතු සඳහා මුදල් ලබා ගන්නේ බාහිර පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් නොවෙයි. තමන් සතු වටිනා ඇඳුම් ආයිත්තම් අලෙවි කිරීමෙන්.

බාඩෝ නිසා අලි රැකෙයි

බ්‍රිජට් බාඩෝ නම් වූ ප්‍රවීණ නිළිය සිනමාවෙන් ඉවත් වී දැන් බොහෝ කාලයක් ගතවෙලා. මේ වන විට ඇයගේ වයස අවුරුදු 78 ක්. ඒ වුණත් ඇය නිහඬව සිටින්නේ නැහැ. සමාජ සේවා කටයුතුවල නියැළී සිටිනවා. විශේෂයෙන්ම පීඩාවට පත්ව සිටින අසරණ සතුන් රැක ගන්නට ඇය නොයෙක් වර ඉදිරිපත් වනු කාටත් දැකගන්නට, අසන්නට ලැබුණා.
මෑතකදී ප්‍රංශයේ සතුන් වත්තකින් වාර්තා වුණේ තරමක් වියපත්ව සිටින අලින් දෙදෙනකුට ක්ෂය රෝගය වැලඳී ඇති බවයි. මේ සතුන් දෙදෙනා එම රෝගයෙන් පීඩා විඳිමින් සිටින බවත්, ඔවුන් දෙදෙනාට නිසි පරිදි ප්‍රතිකාර නොකෙරෙන බවත් ඒ ආරංචියෙන් පැවසුණා. මේ ආරංචිය දැනගත් ප්‍රංශයේ සමාජ සේවා සංවිධාන සහ සතුන් රැකගැනීමේ සංවිධාන ක්‍රියාත්මක වුණා. ඔවුන් දැඩි ලෙස වගකිව යුතු අයට කියා සිටියේ මේ රෝගී අලින් දෙදෙනාට නිසි ප්‍රතිකාර ලබා දෙන ලෙසයි. මේ ඉල්ලීම ‘සටනක්’ බවට පත්වුණා. මේ සඳහා නායකත්වය ලබා දුන්නේ බ්‍රිජට් බාඩෝයි. ඇයගේ ශක්තිය නිසා වගකිවයුත්තන් මේ අලින් දෙදෙනාට ප්‍රතිකාර සඳහා වහාම පියවර ගත් බවයි දැනගන්නට ලැබුණේ.

කේට් ට නැවතත් මවු පදවිය

ජනප්‍රිය නිළි කේට් හඩ්සන් දෙවැනි වතාවටත් මවු පදවිය ලබන්නට සූදානම් වෙනවා. ඇයගේ සහකරු මැට් බෙලාමි. කේට්ට බෙලාමිව මුණ ගැසුණේ 2010 දීයි. එදා සිට ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස කල් ගෙව්වා. 2011 අප්‍රේල් මාසයේ දී කේට් පැවසුවේ තමන් බෙලාමි සමඟ විවාහ ගිවිස ගන්නා බවයි. එම වසරේ ජූලි මාසයේ දී ඇයට පුතකු ලැබුණා.
කේට් මේ වන විට දරුවකු ලබන්නට සිටින බව දැනගත් මැට් බෙලාමි තරමක නොසන්සුන් බවකින් කාලය ගත කරන බවයි හොලිවුඩයෙන් දැන ගන්නට ලැබුණේ. “මට ආයෙමත් දරුවකු ලැබෙන්න ඉන්න බව දැන ගත්තාම මට ටිකක් බය හිතුණා. ඒත් ඒකට මම කැමැතියි.” කේට් පැවසුවා.
කොහොම වෙතත් කේට් නැවතත් ගැබිනියක වූ නිසා මැට් බෙලාමි ඇයගෙන් වෙන්වී යාවිදැයි සමහරු සැක පහළ කරනවා.
කේට් නිත්‍යනුකූලව විවාහ වුණේ ක්‍රිස් රොබින්සන් සමඟයි. ඒ විවාහයෙන් ඇයට පුතකු ලැබුණත් කේට් සහ ක්‍රිස් 2007 දී වෙන් වුණා. කේට්ගේ නිත්‍යනුකූල විවාහ දිවිය පැවතුණේ වසර 7 යි.

හොඳම හාදුවට හොඳයිලු

යොවුන් නළු ඩැනියල් රැඩ්ක්ලිෆ් රඟපෑ අලුත්ම චිත්‍රපටය, ‘කිල් යුවර් ඩාලින්ස්’. මෙහි, ඩැනියල් සමඟ රඟන නිළිය, ඩෑන් ඩිහාන්. ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස මෙහි රඟපානවා. ඩැනියල් පවසන්නේ ඩෑන් සමඟ රඟපෑ සියලුම දර්ශනවලට තමන් කැමැති බවයි. විශේෂයෙන්ම ඇය සමඟ නිරූපණය කළ සිපගන්නා දර්ශනයට තමන් වඩාත් කැමැති බවයි ඔහු පවසන්නේ. මේ දර්ශනය ලෝක ප්‍රකට එම්. ටී. වී. සිනමා සම්මාන, උලෙළේදී පිරිනැමෙන, ‘වසරේ හොඳම හාදු දර්ශනය’ට පවා සුදුසු යැයි ඩැනියෙල් පවසනවා.
ඔහු ඩෑන් පිළිබඳව තව තවත් කතා කරන්නට කැමැතියි. “අපි දැන් හරිම හිතවත්. චිත්‍රපටයේ රූපගත කිරීම් වලින් පස්සෙ තමයි අපේ හිතවත්කම ඇතිවුණේ. අපි දෙන්නම මේ චිත්‍රපටය ගැන ගොඩක් සතුටු වෙනවා. අපි විශ්වාස කරනවා, රසික රසිකාවියන්ගෙන් ‘කිල් යුවර් ඩාලින්ස්’ චිත්‍රපටයට උණුසුම් ප්‍රතිචාර ලැබේවි ය කියලා.” ඩැනියෙල් සුපුරුදු සිනහව නඟමින් පැවසුවා.

No comments:

Post a Comment