මනීෂාට ප්‍රතිකාර කෙරුණේ ඇමරිකා එක්සත් ජනපදයේදීයි. නිව්යෝක් නුවර රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇයගේ රෝගී තත්ත්වය පසුගිය සතිය වන විට යථා තත්ත්වයට පත්වූ බවයි ආරංචි. ඇයට වැලඳී තිබුණු රෝගී තත්ත්වය බොහෝ දුරට මර්දනය කරන්නට වෛද්‍යවරුන්ට හැකිවී තිබුණා. නැවතත් ඇයට සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරගෙන යන්නට තරම් යහපත් තත්ත්වයක් උදාවෙලා.
දැන් මේ සුරූපී නිළියගේ බලාපොරොත්තුව නැවතත් බොලිවුඩ්පුරයට එක්වී සුපුරුදු රංගන කටයුතුවල යෙදීමයි. මේ බව කාටත් හෙළි වුණේ පසුගියදා ඇය තම ට්විටර් වෙබ් පිටුවෙහි සටහන් කළ වැකි කිහිපයකින්. ඒ සමඟම තමන්ගේ ඡායාරූපයක් ද එහි ඇතුළත් කර තිබුණා. ඒ ඡායාරූපය ගෙන තිබුණේ මනීෂා වෛද්‍ය ප්‍රතිකාර ලබා සුව වූ පසුවයි.
ළඟදීම මව් රටට පැමිණ කලින් යොදාගෙන තිබුණු චිත්‍රපට දර්ශන කීපයක රඟපාන්නට ඇය දැන් ඇඟිලි ගනිමින් සිටිනවා. මලයාලම් චිත්‍රපටයක් වූ මෙය අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය සිනමාකරුවකු වන රාජේන්ද්‍ර ලෙනින්. මනීෂාගේ කළමනාකරු සුබර්තා සෝෂ් මේ බව තහවුරු කළා. “ඇය මට දන්වා තියෙනවා, මේ ගැන කටයුතු සංවිධානය කරන්න ය කියලා. චිත්‍රපටවල රඟපාන්න දැන් මනීෂාට වෛද්‍යවරු අවසර දීලා තියෙනවා.” ඔහු මාධ්‍යවේදීන් කීප දෙනකුට ප්‍රකාශ කළා.
මනීෂාගේ සමීප මිතුරියක් මෙලෙස පැවැසුවා...
“මනීෂාට දැන් කීමෝතෙරපි ප්‍රතිකාරය කෙරෙනවා. අපි හැමෝටම හරිම පුදුමයක් දැනෙනවා. දැන් මනීෂාට හොඳයි. ඒ වගේම අපිට පුදුම සතුටක් දැනෙනවා. මනීෂා දැන් හරිම ප්රබෝධයකින් වැඩ කටයුතු කරනවා.
නිව්යෝක් වලින් ආවට පස්සෙ මුම්බායිවල ඉඳගෙන ප්‍රතිකාර ගන්නයි එයාගෙ බලාපොරොත්තුව.” ඇය එලෙස කීවේ අව්‍යාජ සතුටකින්.
ශාරුක්ට, ෆාරාට නඩු
රසික රසිකාවියන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපටයක්, ‘ඕම් ශාන්ති ඕම්’. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ෆාරා ඛාන්. 2007 දී මුල් වරට තිරගත වුණත් තවමත් රසික සිත්වලින් මේ චිත්‍රපටය ඈත් වෙලා නැහැ. ඇතැම් විශේෂ අවස්ථාවන්හිදී විදේශයන්හිද තිරගත කෙරෙනවා.
පසුගිය දාක ‘ඕම් ශාන්ත ඕම්’, ජපානයේ දී තිරගත වුණා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ ශාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන්. මෙහි එක්තරා ජවනිකාවක ශාරුක්, මනෝජ් කුමාර් යන නාමය දෙබස් ඛණ්ඩයක් ඔස්සේ පවසනවා.
චිත්‍රපටයේ කතා තේමාව ගෙතී ඇත්තේ සිනමා ලොව ජනපි‍්‍රයත්වයට පත්වූ ජනපි‍්‍රය නිළියකගේ ජීවිතය වටායි. එහිදී බොලිවුඩ් සිනමාවේ නළු නිළියන් පිළිබඳව ද ඉඟි කෙරෙනවා. මනෝජ් කුමාර් ගේ නම දෙබස් ඛණ්ඩයකට ඇතුළත් වී ඇත්තේත් ඒ අනුවයි. මනෝජ් කුමාර්, තවමත් ජීවතුන් අතර සිටින, මීට දශක කීපයකට පෙර හින්දි සිනමා ලොව කිරුළු පැළඳි නළුවෙක්.
මනෝජ් කුමාර් දැන් තම ජීවිතයේ සන්ධ්‍යා භාගයෙහි දිවි ගෙවමින් සිටිනවා. ඔහු, ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටය නරඹා තිබෙනවා. එහි ඇතුළත් වන ශාරුක් ගේ දෙබස් ඛණ්ඩයට දැඩි විරෝධයක් මේ ප්‍රවීණ රංගන ශිල්පියාගෙන් මතුවී තිබෙනවා. ඔහු පවසන්නේ කිසිදු අවසරයකින් තොරව තමන්ගේ නම හිතාමතාම ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයට ඇතුළත් කර ඇති බවයි. ඔහු මේ බව දැනගත්තේ මේ චිත්‍රපටය තිරගත වූ මුල්ම දිනවලදීයි.
එහිදී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ඇමතූ මනෝජ් කුමාර් තමන්ගේ නොසතුට පළ කළා. එවිට, අධ්යක්ෂ ෆාරා ඛාන්, ශාරුක් ද සමඟ මනෝජ් කුමාර්ගේ නිවෙසට පැමිණ ඔවුන්ගේ කනගාටුව ප්‍රකාශ කොට ඒ පිළිබඳව සමාව අයැද සිටියා. මින් මතුවට ‘ඕම් ශාන්ති ඕම්’ තිරගත කෙරෙද්දී මනෝජ් කුමාර් යන යෙදුම ඇතුළත් දර්ශනය ඉවත් කිරීමට ඔවුන් දෙදෙනා එකඟ වුණා. (මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ශාරුක් සහ ඊරෝස් ඉන්ටර්නැෂනල් සමාගමයි.)
ඒ වුණත් ඔවුන් අතින් සිදුවූ වරද නිවැරැදි වී නැහැ.
“මීට කලින් දෙවතාවක්ම මම ශාරුක්ටයි, ෆාරාටයි කිව්වා මගේ නම කියැවෙන දර්ශනය අයින් කරන්න ය කියලා. ඒ දෙවතාවෙම දෙන්නම මගේ ගෙදරටම ඇවිත් කනගාටුව ප්‍රකාශ කරලා මම කියපු විදිහටම කටයුතු කරනවයි කිව්වා. නමුත්, ඒ දර්ශනය අයින් කරලා නැහැ. මෑතකදී ජපානයේ මේ චිත්‍රපටය පෙන්වන කොටත් ඒ දර්ශනය තිබිලා. මේ දෙන්නම මට බොරු කරලා. මාව රවටලා. මේ දර්ශනය නිසා මගේ කීර්ති නාමයට කැළලක් වෙලා. මම දෙපාරක්ම ශාරුක්ටයි, ෆාරාටයි සමාව දුන්නා. මේ වතාවෙදි නම් සමාවක් නැහැ. මම නඩු දැම්මා.” මනෝජ් කුමාර් මාධ්‍යයන් අමතා එලෙස ප්‍රකාශ කළා.
මේ වන විට ඔහු, ෆාරා ඛාන් සහ ශාරුක් ගෙන් රුපියල් කෝටි 100 ක වන්දි මුදලක් ඉල්ලා අන්ධේරි නාගරික උසාවිය හමුවේ නඩුවක් පවරලා. ළඟදීම එය උසාවියේදී විභාගයට ගැනීමට නියමිතයි.
“ජපානයේදී ‘ඕම් ශාන්ති ඕම්’ තිරගත වුණායින් පස්සෙ එහේ ඉන්න මගෙ හිතවත් අය මට ෆෝන් කරලයි මේ විස්තර දැන්නුවේ. මගේ මුනුපුරු මිනිබිරියොත් මගෙන් අහනවා, ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයේ මනෝජ් කුමාර් කියල කියන්නේ සීයා ගැන ද කියලා. මගේ බිරියගෙනුත් සමහරු අහලා තිබුණා. ඉතින් අපි ඒවට කොහොමද උත්තර දෙන්නෙ? මම ශාරුක් එක්කවත්, ෆාරා එක්කවත් තරහ නැහැ. නමුත් මටයි කියල ආත්ම ගෞරවයකුත් තියෙනවනේ?” මනෝජ් කුමාර් පැවසුවා.
No comments:
Post a Comment