Tuesday, July 9, 2013

Gossip lanka - මරණයේ පණිවුඩය රැගෙන මැදියම් රැයේ ඇවිදින උස ගැහැනිය ඔබත් දුටුවාද?

29-1එය මළානික සඳ එළියෙන් භූත සෙවනැලි වැටුණ මැදියම් රාත්‍රියකි. මේ රැයේ පාලු මාවතක ගමන් ගන්නා තරුණයෙක් හිටිවනම භයංකර පෙනුමකින් යුත් මහලු උස ගැහැනියක තමා දෙස බලා සිටිනු දකී. මරණයට කැපවූ සතෙකු දෙස නෙත් හෙළන  ගිජුළිහිණියකු බඳු ඇගේ දෙනෙතත් මාරයාගේ පණිවුඩයක පෙර නිමිත්තක් බඳු අවඥා සහගත සිනහවක් රැඳුණු ඇගේ මුහුණත් නිසා බලවත් සේ තැති ගන්නා තරුණයා සැණෙකින් පලාගියද, ඇයගෙන් බේරුමක් නොලද්දේ ඉතා කෙටි කලකින් මරුමුවට පත්වෙයි.
තමාට කිසිම වරදක් නොකළ පෙරකී තරුණයා මරුවෙතට දක්කාගෙන යාමෙන් නොනැවතුණ මේ භයංකර මැහැලිය එතනින් නොනැවතී ඔහුගේ සිරුර මිනීවළ තෙක් කැඳවාගෙන යාමටද ඉදිරිපත් වීම කොතෙක්  භයංකර අත්දැකීමක්ද?
ඉතින් ඔබත් මැදයම් රැයේ පාලු මාවතකදී, යක්ෂණියදැයි භූතයෙක් දැයි නොදන්නා ඒ උස මහලු ගැහැනිය දැක තිබේද?


ඔබගේ පිළිතුර කුමක් වුවත් ඉන්පසුව ඇය දුටු තරුණයෙකු සිටී. ඔහු ඇයව දැක ඇත්තේ පෙර කී මිතුරාගේ අවමඟු‍ලේදීය. ඔහුගේ විස්තරය මෙසේය.
සොහොන් බිමට මං ගියේ මිනී රථය ළඟින්ම ගමන් කළ රථයකින්.  එවෙ‍ලේ මගේ අවධානය එක්තරා ගැමි ගැහැනියෙක් දෙසට යොමු වුණා. මහලු පෙනුමකින් යුත් ඇය ඉතා උස ගැහැනියක්, මිනී පෙට්ටිය එළියට ගන්නවා දුටු ඒ ගැහැනිය අවස්ථාවට නොහොබිනා අන්දමට සිනාසුණා. ඊළගට මිනී පෙට්ටිය ඔසවාගෙන ගිය අය ඉදිරියෙන්  ජයග්‍රාහී ලීලාවකින් සිටගත් ඈ හාරා ඇති මිනීවළ දෙසට යන්නට තිබූ කුඩා පාර ඉතා කුඩා අවන්පතක් දික් කිරීමෙන් ඒ අයට පෙන්වා දුන්නා.
උස ගැහැනිය සිනාසෙන්නට පටන් ගත්තා. මගේ සිතේ පහල වුණු අදහස් දැනගෙන මගේ බියසුළුකම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නා වගේ මහත් පිළිකුළින් අවන්පත මා දිහාවට දික් කෙරුවා. මවෛ‍ලේ බිම නොවැටී  සිටීමට මට මිතුරෙකුගේ අතට වාරු වෙන්නට සිද්ධ වුණා. මෙවිට ඇය අනුකම්පා සහගත නොවේ නම් අවඥා සහගත ඉඟියක් පාලා, ආපසු හැරිලා සොහොන් බිමේ ඈතට යන්න ගියා. ඇගේ හිස හැරිලා තිබුණේ මා දිහාවටයි. අවන්පතින් පවන් සලා ගනිමින්ම ඇය මට හිස සෙළවූවා. ඉන්පසු යක්ෂතාලයේ මුකුළුවක් පාමින් මිනී වළවල් අතරින් ගමන් කර අන්තිමේ දී සොහොන් කොත් සමූහය අස්සෙන් සදාකාලයටම නොපෙනී ගියා.
සත්‍ය ජීවිතයේ දී ඔබටද එවැනි අත්දැකීමක් ලැබි නැතිනම් ස්පාඤ්ඤ ජාතික කෙටිකතාකරුවෙකු වන පේදෝ  අන්තෝනියෝදි ආලාර්කෝන් විසින් රචනා කරන ලද මැදියම්  රැයේ උස ගැහැනිය නම් කෙටිකතාව යම් පමණකට එහි අඩුව පුරවන්නට සමත් වනු ඇතැයි මම සිතමි. කේ.ජී. කරුණාතිලකයන් විසින් පරිවර්තනය කරන ලදුව ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළිදුටු  වැලි කතරක අතරමංව නැමැති  කෘතියේ එන මෙම කෙටිකතාව වූ කලී මෙම වර්ගයේ කතා අතර ප්‍රධාන ස්ථානයෙහිලා සැලකෙන්නකි.
මෙම කතා පුවතේ දී මහලු උස ගැහැනිය සත්‍ය වශයෙන්ම හොල්මනක්ද ජීවතුන් අතර සිටින්නියක්දැයි පැහැදිලි නොවන මුත් අප අසා ඇති බොහෝ අවතාර හොල්මන්වලට වඩා ඇය අති භයංකර යැයි හැඟේ.
මෙම ලියුම්කරු කිසි දිනක හොල්මනක් දැක නොමැති මුත් හොල්මන් තිබෙනවාද නැතිද යන්න ගැන තර්ක විතර්කවලට නොගොසින් ඒ පිළිබඳ කතාන්දරවල තිබෙන සන්ත්‍රාසය නොඅඩුව විඳ ගැනීමේ කැමැත්තකින් යුක්ත වූවෙකි.
එහෙත් මා වැඩිපුර අසන්නට කැමැත්තෙන් සිටින්නේ හොල්මන් විස්වාස කරන්නවුන් විසින් කියනු ලබන කතාන්තරවලට වඩා ඒ පිළිබඳ විශ්වාස නොකරන්නවුන් විසින් හෙළි කරනු ලැබූ අත්දැකීම්ය.
මේ ඒ වර්ගයේ මිතුරෙකුගේ අත්දැකීමකි.
මෙම සිද්ධියට මුහුණ දුන් මගේ මිත්‍රයා එදින නිවස බලා යන විට රාත්‍රී 12 පසුවී තිබිණි. සිය නිවෙස සමීපයට ආසන්නයේ කුඩා හන්දියක් වූ අතර කඩ‍පොළේ දී යම් පමණකට දැක පුරුදු මිනිසෙක් ලයිට් කණුවකට පිටදී ඔහු දෙස බලා සිටියේය. සුදු මේස් බැනියමකින් සහ සුදු සරමකින්  සැරසී සිටි ඔහු හා වැඩි කතාබහක යෙදී පුරුද්දක් නැතද මේ මොහොතේ  කතා කරන්නට සිදු වුණේ එක් පාරකට හැරෙන තැන සුදු කොඩි ඇද තිබූ බැවිනි. ඔහු ඇසුවේ කොහෙද මළගේ කියාය. නමුත් මේ පුද්ගලයා එයට පිළිතුරු දුන්නේ හිස හරවා. එක්තරා ගෙයක් පෙන්වීමෙනි. මේ අනුව අවමඟුල සිදුවී ඇත්තේ ඒ නිවසේ යැයි ප්‍රත්‍යක්ෂ කර ගත් මිතුරා සාමාන්‍ය පරිදි නිවස බලා පිටත් විය. නමුත් එම අවමඟුල පිළිබඳ පුවත තමා අරභයා අසාමාන්‍ය එකක් බව ඔහුට වැටහී ගියේ පසුවදා සේවයට වාර්තා කරනු පිණිස දුම්රිය‍පොළට ගොඩ වැදුණු විටදිය.
දුම්රිය‍පොළේ අලවා තිබුණේ පෙරදා රාත්‍රියේ හමු වූ මිනිසාගේ ඡායාරූපය සහිත මරණ දැන්වීමකි ඔහුට මළගේ පෙන්වා ඇත්තේ මිය ගිය මිනිසාය.
මේ පිළිබඳව විස්තර කළ මගේ මිතුරා තවදුරටත් පැවසුවේ රැකියාවේ තිබූ බරපතළ වගකීම නොවන්නට ඔහු එදින ගෙදර නවතින තරමට මේ ඡායාරූපය දැකීමෙන් තමා කැළඹුණ බවය.
මෙම සිදුවීම මා කැළඹීමට පත් කරනු ලැබුවේ එහි ඇති ගුප්ත බියකරු ස්වභාවය නිසාම නොව, මා මිතුරා නිරන්තරයෙන් මෙවැනි කතාන්තරවලට එරෙහිව සටන් වදින බරපතළ භෞතිකවාදියෙකු වන බැවිනි.
මෙවැනිම තවත් කතාවක් මා සමග කියනු ලැබුවේ මගේ ඉතා හිතවත් මිත්‍රයෙකු වූ තරුණ වෛද්‍යවරයෙකු විසිනි. දේශපාලනික වශයෙන් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ හෙතෙම මේ සිදුවීමට මුහුණ දෙන යුගයේ අගනුවර යම් කිසි පාඨමාලාවක් හදාරමින් සිටියේය. බණ්ඩාරවෙල අසල ගමක පදිංචිකරුවෙකු වූ ඔහු සතිඅන්තයේ දී ගෙදර බලා පිටත් වූවේ සිය ගමේ පුද්ගලයෙකුට අයිති බස් රථයකිනි. රාත්‍රී 11.00 ට පමණ බණ්ඩාරවෙලට ළඟාවන බස් රථය ගමන අවසන් කරන්නෙ එතැනින් ඔබ්බෙහි වූ මගේ මිතුරාගේ ගම දක්වා යමිනි.
සුපුරුදු පරිදි මෙදිනද රියෙන් බැස ගත් ඔහු දැක්කා වෙනුවට කතාබහේ යෙදෙන අඳුරන මුහුණුවලට සිනාසෙමින් ද වචනයක් දෙකක් තෙපලමින්ද සිය ගෙවල් පාරේ  පිය මනින්නට විය. බසයෙන් බැස ඔහු සමග මද දුරක් ආ පුද්ගලයෙකු තැනෙකින් හැරෙන බව පවසා සමුගත් අතර මා මිතුරාද තව සුළු වේලාවකින් ගෙදරට ගොඩ වූවේය.
රෑ කීයට ගෙදරට ගොඩ වැදුණද බත් කෑමේ සිරිතක් අනුගමනය කළ මගේ මිතුරාට එදින බත් කන ගමන් සිහිපත් වුනේ මග තිබූ මළ ගෙදරක් ගැනය. එබැවින් මළ ගෙයකුත් වෙලා නේදැ යි මේසය අසල සිටි සිය මවගෙන් විමසීය.
ඔව් පුතා අර අහවලානෙ මැරිලා තියෙන්නෙ අසනීපෙන්නේ පහුගිය කාලෙ හිටියෙ .. කියා මව පැවසුවාය. මගේ මිතුරා කමින් සිටි බත් කට උගුරෙ හිරවුණේ මළ ගිය තැනැත්තාගේ නම කීමත් සමගය. ඔහු සමග බසයෙන් බැස පැමිණ තිබුණේ ඒ 
මියගිය තැනැත්තාය.
ඔහුට ඒ මොහොතේ දැනුණ හැඟීම ගැන මා සමග පැවසුවේ නැතත් ඒ රාත්‍රී භාගය කිසිසේත්ම ඔහුට සුව පහසු එකක් නොවන්නට ඇති බව නම් සහතිකය.
මෙම කතා පුවත් දෙකම ඉතාම සාම්ප්‍රදායික හොල්මන් කතා දෙකක් බව ඇත්තය. එහෙත් මා අසා ඇති කියවා ඇති සිනමාපටවලින් නරඹා ඇති අන් සියලුම හොල්මන් කතාවලට වඩා මේ සිදුවීම් ද්විත්වය මා සිත චංචල කරන්නට සමත් වූ බව නම් ඉතා  අවංකව පැවසිය යුතුය. මක්නිසාද මේ මා සඳහන් කළ මිතුරන් දෙදෙනා මේ අරභයා මොන ආකාරයෙන්වත් මා සමග බොරුවක් නොකියන බැවිනි.
මෙම අවසාන කතාන්දරය මෙම ලියුම්කරු විසින්ම අත්දකින ලද්දකි.
කුරුණෑගල ප්‍රදේශයේ ගමක ජීවත් වූ අප හිතවකුගේ හදිසි මරණයක් පිළිබඳ ආරංචි වූ සැණින් එදින හැන්දෑවේම අපි අදාළ ස්ථානය බලා පිටත් වූවෙමු. දුර බැහැර මළ ගෙදරක යෑමේ දී බොහෝ විට සිදුවන ආකාරයට ප්‍රමාදයට හේතු වන්නා වූ කරුණු අනුගමනය කිරීම නිසා අප ඒ ගමට ළඟා වන විට රාත්‍රී 01.00 පමණ වී තිබුණි.
ප්‍රධාන මාර්ගයකින් හැරී ගම තුළට සැතපුම් තුනක පමණ දුරක් යා යුතුව තිබුණද අපට එම නිවස සොයා ගැනීමේ අපහසුවක් නොවුණේ කලින් එහි පැමිණි මිතුරෙකුද අප සමග සිටි බැවිනි.
අපි තවත් සුළු වේලාවකින් මියගිය මිතුරාගේ නිවස ඉදිරියට පැමිණියෙමු.
සාමාන්‍ය තත්ත්වයේ නිවසක් වූ එය ඉදිරියට පැමිණි අප මුලින්ම 
තුෂ්ණිම්භූත වූවේ එහි අවමඟුලක් තබා මිනිස් පුළුටක්වත් දක්නට නොලැබුණු බැවිනි. ඒ මදිවාට පත්තුවන විදුලි බුබුලක් සහිත අටපට්ටමක්ද ගසක එල්ලා තිබුණි.  ඉස්තෝප්පුව අඩ අඳුරකින් වෙලී පැවතුණි. හදිසියේ අමුතු දෙයක් දැකීම මෙන්ම අනිවාර්යයෙන්ම දැකිය යුතු දෙයක් නොදැකීමද මිනිසා තැති ගන්වන සුළුය.
ඒ තැති ගැන්මෙන් මොහොතක් ගල් ගැසී සිටි අප අතරින් මුලින්ම නිහඬතාවය බිඳනු ලැබුවේ මෙම නිවසට කලින් පැමිණ සිටි මිතුරාය. මං බලන්නම් ගෙදර කවුරු හරි ඉන්නවද කියල
මෙසේ පැවසූ ඔහු වෑන් රියෙන් බැස අඩ අඳුරින්  පිරුණු ඉස්තෝප්පුවට ගොඩ වූවේය. අනතුරුව ඔහු දොරට  තට්ටු කරනවාද හීන්සීරුවේ දොර  ඇරෙනවාද අප බලාගෙනය. 
එහෙත් ඊළඟ නිමේෂයේ අපට දකින්නට ලැබුණේ භීතියෙන් සලිත වූ මුහුණකින් යුතුව යටිගිරියෙන් කෑගසමින්. මිදුලට පැන ගත් අපේ මිතුරාය. ඔහු සිහිසුන් නොවූ මුත් පය පැකිලී ඇද වැටීම නිසා යළි නැගිට ගත්තේ මඩ වැකුණු ඇඳුමින් යුතුවය. යාන්තම්  කතා කර ගත වූ කල්හි ඔහු අත දික් කර පෙන්වනු ලැබුවේ අඩ අඳුරේ ඉස්තෝප්පුවේ ගල් ගැසී බලා ඉන්න මිනිසෙකි. හොඳින් බැලූ විට  පෙනී ගියේ සුදුවතින් සැරසුන අපේ මියගිය මිතුරා එහි සිටගෙන ඉන්නා බවයි
ගෙවී ගිය තවත් තත්පර ගණනාවකින් පසු අපි කවුරුත් පියවි තත්ත්වයට පත්වූවෙමු.
අපට බියපත් කළ මියගිය මිතුරාද මිදුලට පැමිණියේය. සියල්ලන්ටම වඩා ඔහුගේ මුහුණටද දාඩිය දමා තිබුණේ අපේ සගයාගේ  මරලතෝනියට ඔහුද නොසෑහෙන්නට බියපත්ව සිටි බැවිනි. පියවි සිහි එළඹ තොරතුරු හෙළි කර ගනිද්දී  පෙනී ගියේ මෙම තැනැත්තා අවුරුදු 21කට පසු ගමට පැමිණි අපේ මිය ගිය මිතුරාගේ  නිවුන්  සොහොයුරා බවය.
අප එවැන්නෙකු ගැන  එතෙක්  දැන නොසිටි අතර අවමඟුල  සිදු කරනු ලබන්නේ  සිය මවගේ  නිවසේ  බවත් මල් ශාලාවේ සිට තවම දේහය ගෙනවිත් නොමැති බවත් අපට පැවසීය. මිය ගිය තැනැත්තාගේ මහගෙදර අප කිසිවෙක් නොදැන සිටි බැවින් අපි ඔහුවද වෑන් රථයට නංවාගෙන  පිටත් වූවෙමු. රථයේ ඉදිරිපස අසුනේ දෙදෙනෙකුට ඉඩ තිබුණද එතෙක් එහි සිටි අපේ බියවුණු මිතුරා වහාම රියෙන් බැස පිටුපසට  ආවේ ඉදිරි පාර කියන්නට ආ ආගන්තුයාට අසුනම පුද කරමිනි. දැන් ඉතින් අපි මිය ගිය තැනැත්තාත් නංවාගෙන මළ ගෙදර සොයා ගියෙමු.
කතාවේ යථාර්ථය කොතෙක්  පැහැදිලි වුවත් ඇති වූ තැතිගැන්ම අප තුළින් මෙන්ම බියවුණු මිතුරාගෙන්ද සම්පූර්ණයෙන්ම පහවී නොතිබුණු බව සුදුවතින් සැරසී සිටි ආගන්තුකයාත්, තවමත් පහනොවූ තැතිගැන්මෙන් පසුවන මා මිතුරාත් දකින දකින මොහොතක් පාසා පෙනී ගියේය.
මිනිසුන්ට බය වෙන්නට ජීවතුන් අතර නැති හොල්මන් අවශ්‍ය නැති බවත්, බලා‍පොරොත්තුව සිටි හොල්මන හදිසියේ දක්නට නොලැබිම පවා විටෙක බියවන්නට හේතුවක් විය හැකි බවත් ඒ අන්ධකාර රාත්‍රිය අප තුළ ප්‍රත්‍යක්ෂ කළේය.

No comments:

Post a Comment