දේශපාලන කරළිය තව තවත් උණුසුම්ව පවතින්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මතුවන කතාබහ අතරය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පසුගිය කාලය පුරාම කාර්ය බහුල තත්ත්වයක් මත වුවද 13 සම්බන්ධයෙන් මතුවන ගැටලු ගැන විවිධ පාර්ශ්වයන් සමඟ කතා බහ කළේය. මේ අතරවාරයේම ජනාධිපතිවරයා පසුගිය 27 වැනිදා ටැන්සානියාව හා සීෂෙල්ස් රාජ්‍යයන් බලා පිටත්ව ගියේ නිල සංචාරයක් සඳහාය. ටැන්සානියාවට ගිය ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගත්තේ එරට ජනාධිපති රිෂෝ තෙක් වෙතේය. ශ්‍රී ලංකාවට වැදගත් ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් කළ ජනාධිපතිවරයා ටැන්සානියාවේ වැදගත් ප්‍රදේශ කිහිපයක් දැක බලාගැනීමට ද කටයුතු කළේය. පළමුවැනිදා ජනාධිපතිවරයා ඇතුළු පිරිස සීෂෙල්ස් රාජ්‍ය බලා පිටත්ව ගියහ. එහිදී ද ශ්‍රී ලංකාවට බලපාන වැදගත් ආර්ථික කටයුතු හා සම්බන්ධ ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. මෙම නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ මහාචාර්ය ජී. එල්. පීරිස්, මර්වින් සිල්වා යන ඇමැතිවරු ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
දුම්රිය අනතුරු
විදෙස් සංචාරය නිමවා ජනාධිපතිවරයා ඇතුළු පිරිස මෙරටට පැමිණියේ ඉකුත් අඟහරුවාදාය. පැමිණි විගස ජනාධිපතිවරයා එළැඹි පළමු කාර්යය වූයේ ඊට පෙර සති කිහිපයේ සිදු වූ දුම්රිය අනතුරු ගැන සොයා බැලීමයි. ඒ අනුව ජනාධිපතිවරයා දුම්රිය අනතුරු වළක්වා ගැනීමට එරෙහිව කටයුතු කිරීම සඳහා වන නිලධාරීන්ගේ හමුවක් කැඳවීය. ඒ සතිවල සිදු වූ දුම්රිය අනතුරු ගැන ජනාධිපතිවරයා බෙහෙවින් වෙහෙසට පත්ව සිටියේය. නිලධාරීන්ගේ හමුවෙහිදී ජනාධිපතිවරයා ඒ අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, අමාත්‍යාංශ ලේකම්වරුන් වන ගෝඨාභය රාජපක්ෂ, ධම්මික පෙරේරා සහ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
"අනාරක්ෂිත සියලුම දුම්රිය හරස් මාර්ගවලට යකඩ බට දාන්න කටයුතු කරන්න. පැය විසිහතර පුරාම ඒ තැන්වල කවුරුහරි යෙදවිය යුතු නිසා සිවිල් ආරක්ෂක කමිටුවල අය පැය අටේ සේවයට යොදවන්න. පොලිස්පතිතුමා මේ ගැන සොයලා බලන්න."
ජනාධිපතිවරයා එසේ කී විට සියලු දෙනාම එය පිළිගත්තේය. එමෙන්ම සංඥ පුවරු නොපෙනෙන ස්ථානවල සංඥ පුවරුවල අකුරු විශාල කර එම පුවරු නැවත සකස් කර සවි කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම දුම්රිය ගේට්ටු සඳහා යකඩ බට සපයා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, එය සකස් කර යකඩ බට ගෙන එනතෙක් ක්ෂණික පියවරක් ලෙස බම්බු ගේට්ටු හෝ සවිකරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
මේ මොහොතේ ඒ සියල්ල අසා සිටි කුමාර වෙල්ගම අමාත්‍යවරයා කීවේ, "සර්, අපි හෙට උදේම වැඩ පටන් ගන්නම්" යනුවෙනි.
මම තවමත් ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා කියයි
එක්සත් ජාතික පක්ෂය ද 13 අර්බුදය ගැන කතාබහට සම්බන්ධ වන අතරවාරයේ එජාපයෙන් ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විවිධ පක්ෂවල නායකයන්ට හා විද්වත් පිරිසට විවිධ පාර්ශ්වයන්ට පිළිගැන්වීමේ කටයුතුවල යෙදී සිටී. පසුගිය සතියේ එම ව්‍යවස්ථාව පිළිගැන්වීමේ කටයුත්ත සිදුවූයේ විශේෂිත අමුත්තියකටය. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගටයි. බෞද්ධාලෝක මාවතේ පිහිටි ඇයගේ නිල නිවසේදී ඒ කටයුතු සිදුවිණි. එජාපයේ මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, විඡේදාස රාජපක්ෂ ද ඊට සහභාගි වී සිටියහ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පිරිනැමීමෙන් පසු ඉතා දිගු කාලයක් එම පිරිස සුහද කතාබහක ද නිරතව සිටියහ.
එහිදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තමා තුළ ඇති අදහසක් ඉදිරිපත් කළේය.
"දේශපාලන පක්ෂයකින් නොවන ව්‍යවස්ථාවක් සකස් කිරීම ගැන මා තුළත් යම් අදහසක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදී කටයුතු සලකා බලන්නත් අදහස් කරගෙන ඉන්නවා. තමුන්නාන්සේලාගේ ව්‍යවස්ථාවත් කියවලා බලලා ඒකට මගේ අදහසුත් එකතු කරන්න පුළුවන්. මම ඉදිරියේදී ඒ ගැන කියන්නම්."
මේ මොහොතේ තිස්ස යම් කාරණයක් විමසීමට කල් යල් බලමින් සිට, ඉඩක් ලැබුණු විගස ඒ ගැන හිටපු ජනාධිපතිනියගෙන් විමසා සිටියේය.
ඔබතුමිය ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුඅරගෙනද?
සිනාවක් තොල් අතර රඳවාගත් හිටපු ජනාධිපතිනිය ඊට පිළිතුරු දුන්නාය.
"නෑ... මම තවමත් ශ්‍රීලනිපයේ අනුශාසක ලෙස කටයුතු කරනවා. ඒත් මට පක්ෂයේ කිසිම දේකට ආරාධනා කරන්නේ නැහැ. ආරාධනා කළත් නොකළත් මම ගියොත් අපේ පක්ෂයේ සමහර මැති ඇමැතිවරු හැංගෙනවා. ඒ අතරම ඒ වගේ සුහදව කතා කරන පිරිසකුත් මා එක්ක ඉන්නවා.
දයාසිරිත් එන හැඩ
වයඹ පළාතේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් පසුගිය බදාදා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. සියලුම ආසන සංවිධායකවරු ඊට එක්ව සිටියේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්දය ගැන යම් යම් කටයුතු ගැන අවබෝධයක් ලබාගැනීමට හා පක්ෂයේ ක්‍රියාමාර්ග ගැන දැනුවත් වීමටය. සියලු දෙනාටම ඊට සහභාගි වන ලෙස ජනාධිපතිවරයා ද දන්වා යවා තිබිණි. අරලියගහ මන්දිරයට පැමිණි බොහෝ දෙනෙක් ප්‍රශ්න කළ කාරණය වූයේ වයඹ මීළඟ මහ ඇමැතිවරයා කවරෙක්දැයි යන්නයි.
"ඒ ගැන අපි තවම තීන්දුවක් අරගෙන නෑ...."
ජනාධිපතිවරයාගේ පිළිතුර විය. එමෙන්ම ජනාධිපතිවරයා තවත් වැදගත් කාරණයක් ද එහිදී ඉස්මතු කළේය.
"දයාසිරි එන්න කැමැත්තෙන් ඉන්නවා... එහෙම වුණොත් මොකද තමුන්නාන්සේලා කියන්නේ" ජනාධිපතිවරයා එසේ කීවේය.
"සර් ගන්න තීරණයකට අපි කැමතියි. දයාසිරි එක්ක අපේ කිසිම අමනාපයක් නෑ."
ආසන සංවිධායකවරු කිසිවෙකුත් ජනාධිපතිවරයාගේ තීරණය ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැත. මෙම රැස්වීම පැය තුනකට වැඩි කාලයක් පැවැති අතර එක් එක් ආසනයන්හි සිදුවිය යුතු සංවර්ධන කටයුතු මෙන්ම උත්සව සූදානම් කිරීම ගැන ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
විදුලිය නැති
කුකුළේ ගඟේ කුකුල්ලු
එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වූ පසු ඔහු එතෙක් දරමින් සිටි එජාපයේ ජාතික සේවක සංගමයේ සභාපති ධුරය හිස්විණි. පසුගිය සතියේ එය එජාපයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග හට පිරිනැමූ අතර, ජාතික සේවක සංගමයේ 13 වැනි සභාපතිවරයා ලෙස පසුගිය බදාදා ජාතික සේවක සංගම් මූලස්ථානයේදී ජෝන් වැඩ භාර ගත්තේය. මේ අවස්ථාවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජෝෂප් මයිකල් පෙරේරා. තිස්ස අත්තනායක, රවී කරුණානායක, අකිල විරාඡ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
"ජයලත් ජයවර්ධන මගේ මිත්‍රයෙක්. එතුමාගෙන් පස්සේ ඒ තනතුරට මා පත් කිරීම ගැන මා අතිශය සතුටට පත්වෙනවා. එපමණක් නොවෙයි. ඒ තනතුරේ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන්නත් මම වගබලා ගන්නවා කියලා පොරොන්දු වෙනවා." ජෝන් නව තනතුර පිළිගනිමින් කීවේය.
විපක්ෂ නායකවරයා ද මෙහිදී කතාවක් කළේය. එහිදී ඔහු හාස්‍ය උපදවන අපූරු කතාවක් ද කළේය.
"විදුලිබලය උත්පාදනය කරපු කුකුළේගඟ දැන් අකාර්යක්ෂම වෙලා. දැන් ඒකේ විදුලිය උත්පාදනය කරන්නේ නෑ. දැන් ආරංචි ලැබෙන විදියට ඒකේ කුකුල්ලුත් යනවා." විපක්ෂ නායකවරයා කීවේ සභාව සිනා සයුරේ ගිල්වමිනි.
විජමුගේ ජ්‍යෙdතිෂ්‍ය විග්‍රහය
පසුගිය දිනෙක දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක රත්නපුරට පැමිණියේ සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය මහීපාල හේරත්ගේ ඇරයුමිනි. ඒ කුරුවිට පුස්සැල්ලේ ආයුර්වේද පෝෂණ මන්දිරයට සහ සබරගමු පළාත් ආයුර්වේද සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙසිනි.
ඊට රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ දේශීය වෛද්‍යවරු 700 ක පමණ ප්‍රමාණයක් සහභාගි වූහ. වසර 25 කට වැඩි කාලයක් පළාතට සේවය කළ සබරගමුවේ දේශීය වෛද්‍යවරුන්ට පළමු වරට ආණ්ඩුකාර සම්මානය ද ප්රදානය කිරීමෙන් අනතුරුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර චෝදනාවක් නැඟීය. ඔහු කීවේ පාරම්පරික වෛද්‍යවරුන්ට ආයුර්වේද වෛද්‍ය සභාවේ ඇතැම් උද්ධච්ච නිලධාරීන්ගෙන් කෙනෙහිලි සිදුවන බවය. දේශීය වෛද්‍ය ඇමැතිවරයාට විජමු කීවේ,
"මේ නිලධාරින් ගැන ඔබතුමා නිසි පියවරක් නොගන්නේ නම් සමන් දෙවි හාමුදුරුවන්ට මේ නඩුව කියනවා." යනුවෙනි.
එමෙන්ම දේශීය වෛද්‍ය රේ‚ය ඇමැතිවරයා ලෙස මහීපාලට ද එම නිලධාරීන්ට දඬුවම් කිරීමේ බලය ඇති බව ද විජමු කීවේය. ඔහු කතාව අවසන් කළේ ජ්‍යෙdතිශ්‍ය පිළිබඳව සිය විශාරද දැනුම ප්‍රකට කරන අපූරු කතාවකිනි.
"මමයි මහීපාල ඇමැතිතුමයි, සාලින්ද ඇමැතිතුමයි හරියට සිකුරු, සඳු, ගුරු වගේ. ඒ ග්‍රහයෝ තුන්දෙනාගේ සුසංයෝගයට කරන්න බැරි දේකුත් නෑ."
වමෙන් උපන් සුන්දර මලක්
මධ්‍යම පාංතික පවුල් ඉලක්ක කර ගෙන ඉදිවන කිරුළපන කවිරත්න පෙදෙස "රෙසිඩන්සීස්' ජන සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති අස්මි රේණුඩීන් කොළඹ පුරපති ඒ. ඡේ. එම්. මුසම්මිල් ද විශේෂ ආරාධිතයෝ ලෙස එක්ව සිටියහ.
"මේ වකවානුවේ කොළඹ නගරය තුළ විශාල වෙනස්කම් ගණනාවක් සිදුවෙනවා. කොළඹ පුරපතිතුමා හොඳින් දන්නවා මේ කොළඹ නගරය තුළ සිදුවන වෙනස ගැන.
එතුමා පටු දේශපාලන කණ්නාඩිවලින් බලන්නේ නැතිව, කොළඹ නගරයේ පළමු පුරවැසියා ලෙස මෙම සංවර්ධන වැඩපිළිවෙළට සහාය දෙනවා. සමහර වෙලාවට එජාපයේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුසම්මිල් මහත්තයාට මේ පිළිබඳව චෝදනා නඟනවා. එහෙම කරන්නේ 'ඔළුවක් නැති, කඳක් විතරක් තිබෙන' අය. විමල් කියන විට මුසම්මිල්ගේ මුවට අපූරු සිනාවක් නැගිණි. එහිදී කොළඹ පුරපති මුසම්මිල් ගේ කතාව ද සියල්ලන්ගේම අවධානයට යොමු විය.
විමල් ඇමැතිතුමා එක්ක මගේ හිතවත්කම ඉතා දීර්ඝ කාලීන එකක්. මම අතීතයේ පටන් වාමාංශික දේශපාලනඥයන් අගය කරනවා. ඒ සැබෑ වාමාංශික දේශපාලනඥයන්ගෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. පිලිප් ගුණවර්ධන, ආචාර්ය එන්. එම්. පෙරේරා, ඒ වගේම පීටර් කෙනමන්, රෝහණ විඡේවීර වැනි වාමාංශික දේශපාලනඥයන් අනුව යන 'වමෙන් උපන් සුන්දර මලක් විදියට තමයි මම විමල්ව දකින්නේ'. මුසම්මිල් කීවේය.
මාධ්‍ය ලේකම්ලාගේ බලය
පසුගිය සතියේ බදාදා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අපූරු වැඩමුළුවක් සංවිධානය කර තිබිණි. මොහු මාධ්‍යවේදීන් උදෙසා වැඩමුළු සංවිධානය කළත් මෙවර වැඩමුළු සංවිධානය කර තිබුණේ අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් වෙනුවෙනි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මෙම වැඩමුළුවට මාධ්‍ය ලේකම්වරු විශාල පිරිසක් එක්ව සිටියහ. මේ සභාව ඇමතූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය ලේකම්වරුන්ගේ කාර්ය භාරය ගැන අපූරු කතාවක් කීවේය.
"ඇමැති කෙනෙක් ඇති කරන්නත් නැති කරන්නත් මාධ්‍ය ලේකම්ට පුළුවන්. ඒ වගේම ඇමැතිව ජනප්‍රිය කරන්නත්, අප්‍රසාදයට පත්කරන්නත් එතුමාලාට පුළුවන්. ඒ වගේම තමුන්නාන්සේලා තුළින් මේ රටේ සංවර්ධන වැඩ කටයුතු නිවැරැදි ලෙස ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවක් කඩිනමින් ඉටුකරන්න ඕන"
ආණ්ඩුව ගෙදර යවන කතා
එජාපයේ කෝට්ටේ බලමණ්ඩලය පිහිටුවීම පසුගිය සිකුරාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ උත්සවය සංවිධානය කරන්නට දැඩි වෙහෙසක් ගෙන තිබිණි. එම මහන්සියේ තරම ගැන බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූයේ සිරිකොත සරසා තිබූ ආකර්ශනීය විලාශය නිසාය. සැළලිහිණි සංදේශයේ කවි බැනර්වල ලියා සිරිකොතෙහි තැන්තැන්වල සවිකර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම හර්ෂගේ ආරාධනයෙන් පැමිණි විශාල ජනතාවක් ද ඊට එක්ව සිටියහ. බලමණ්ඩල හමුව ආරම්භ කළේ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ හරබර රසවත් දේශනයකිනි. විපක්ෂ නායකවරයා සභාව ඇමතුවේ ඉන් අනතුරුවය.
"හර්ෂ හුඟක් මහන්සිවෙලා මේ උත්සවය සංවිධානය කරලා තියෙන බව පේනවා. මේකෙන් පේන්නේ ආණ්ඩුවේ බංකොලොත්කමයි. බලමණ්ඩල සියල්ල එකතු කරලා අපි මේ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළ ආරම්භ කරන්න ඕන. විපක්ෂ නායකවරයා කීවේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේය.
ජගත් චමිලට නිවසක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය හිමිකරගත් රංගන ශිල්පී ජගත් චමිලට සුබ පැතීමට විමල් වීරවංශ ඇමැතිවරයා ද කටයුතු කළ අතර පසුගිය සතියේදී ජගත් චමිල සිය අමාත්‍යාංශයට කැඳවා ඔහු සමඟ සුහද කතාබහක නිරත විය.
"ඔබ කිව්වා මේ සම්මානය අයිති මගේ රටට බව. මව්බසින් කරපු ඒ කතාව කාගේත් අවධානය දිනාගත්තා. අපේ රට ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට ඔබ දැක්වූ දායකත්වයට අපගේ ප්‍රණාමය පුදකරන්න ඕන." විමල් එහිදී කීවේය. එසේම අමාත්‍යවරයා එහිදී ජගත් චමිලට කීවේ ඔහුගේ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් "ජනසෙවණ ජාතික නිවාස සංවර්ධන වැඩපිළිවෙල" මගින් තිළිණයක් ලබාදීමට කටයුතු කරන බවය.
ඒ අනුව ඉදිරියේදී ජගත් චමිලට සොයිසාපුර නව නිවාස සංකීර්ණයෙන් සියලු පහසුකම් සහිත නවීන නිවසක් ලබාදීමට කටයුතු යොදා ඇත.
13 කියන්නේ හිඟන්නාගේ තුවාලේ
ජවිපෙ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා සිය මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් කළේය.
"දැන් ආණ්ඩුවේ ජාතිවාදී පක්ෂ පළාත් සභා ගැන, 13 ගැන තමන්ගේ පැත්තට අවධානය ගන්න එක එක වැඩ පටන් අරන් තියෙනවා. දැන් ඒක ඒ ඒ අය අතරම තරගයක් බවට පත්වෙලා. උතුරේ ජනතාවට දෙන සහන ගැන කොහොම වෙතත් තමන්ගේ ජාම බේරගන්න තමයි හැමෝම පොරකන්නේ. ඒකෙන් කාටවත් වෙන සෙතක් නෑ. අපි පළාත් සභාව ගේනකොටම කිව්ව දේවල් තහවුරු වේගෙන යනවා. ආණ්ඩුව මේක හිඟන්නාගේ තුවාලේ කරගෙන" ටිල්වින් කීවේය.
"මේ මැතිවරණය අපි සම්පූර්ණයෙන්ම යොදාගන්න ඕන ආණ්ඩුව 13 ගැන කරන බොරුව රටට හෙළිකරන්න. පළාත් සභාවෙන් රටටත් ජනතාවටත් වෙන සෙතක් නෑ කියන එක ගැන කියන්න ප්රචාරක වැඩපිළිවෙළක් හදන්න ඕන. දේශපාලනඥන්ගේ දුවලා පුතාලා විශාල පිරිසක් නාම යෝජනාවලට ලෑස්තියි කියලා නිවුස් පළවුණා. ආණ්ඩුවේ ප්රබලයන්ගේ දුවලා පුතාලා දේශපාලනයට ගේන වැඩපිළිවෙළක් මේක. සුනිල් හඳුන්නෙත්ති ද කතාබහට එක්විය.
ජනමත විචාරණයක්
ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ පසුගිය 03 වැනිදා හිල්ටන් හෝටලය බලා ගියේ ඇමරිකානු නිදහස් සැමරුම වෙනුවෙන් ලැබී තිබූ ආරාධනාවකට ප්‍රතිචාර දක්වමිනි. මේ අවස්ථාවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ප්‍රබලයන් ද විශේෂ පුද්ගලයන් රැසක් ද සහභාගි වී සිටියහ.
මේ මොහොතේ සෝමවංශ අසලට පැමිණියේ ආණ්ඩුවේ ප්‍රබලයෙකි.
"කොහොමද අමරසිංහ මහත්තයා ඔබතුමාලා අපිට මුණගැහෙන්නේවත් කලාතුරකින් නේ" ආණ්ඩුවේ ප්‍රබලයා කීවේය.
"ඒක හරි... මටත් ආරාධනාවක් ලැබුණ නිසා ආවා. ඉතිං දැන් මොකද වෙන්නේ" සෝමවංශ අමරසිංහ විමසුවේය.
"ආණ්ඩුවේ පොඩි කතාබහක් යනවා ජනමත විචාරණයක් ගැන. පළාත් සභා මැතිවරණයෙන් පස්සෙ තියන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ව්‍යවස්ථාවටත් සම්බන්ධ කරගෙන මොකක් හරි මැතිවරණයකුත් මේකට පටලවලා ජනමත විචාරණයක් තියයි වගේ. ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? කියලා කියන්න නම් අමාරුයි." ආණ්ඩුවේ ප්‍රබලයා දෙගිඩියාවකින් යුක්තව කීවේය.
"ඒක නම් ඇත්ත, මේ ආණ්ඩුවට බලය, බලය, බලය හැර වෙන දෙයක් ඕන වෙන්නෙ නෑ. ජවිපෙ නායකයා කීවේය.
No comments:
Post a Comment