Saturday, May 11, 2013

බොලිවුඩ් නිළියන්ගේ පෙම්සුව විඳින ක්‍රිකට් පිටියේ සුපිරි තරු


අයි.පී.එල්. තරගාවලියේ උණුසුමත් සමග අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් හා බොලිවුඩ් රිදී තිරයේ සරාගී නිළියන් අතර ජංගම පෙම් ගිණුම් වැඩිවෙලා. අයි.පී.එල්.තරගාවලියට දින නියම කළ දිනයේ සිට ක්‍රීඩක වෙන්දේසිය දක්වා පැවැත්වෙන විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලට ඉන්දියාවට එන අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සිය කාලයෙන් වැඩි හරියක් ගත කරන්නේ සුරූපි බොලිවුඩ් නිළියන්ගේ පහස විඳින්නයි.
අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් හා බොලිවුඩ් තිරයේ සුරූපිනියන් අතරේ පෙම් සම්බන්ධතා ඇතිවීමට අයි.පී.එල්. තරගාවලිය එක් පැත්තකින් කදිම තෝතැන්නක්. ඒත් මේ ක්ෂේත්‍ර දෙක යාකරන අපූරු පෙම් සම්බන්ධතාවල ඉතිහාසය නම් 60දශකය දක්වා ඈතට විහිදුණු එකක්.

එදා මෙදා තුර දීර්ඝ කාලපරිච්ඡේදයේ මේ දෙපාර්ශවය අතර සුප්‍රකට මෙන්ම අප්‍රකට පෙම් සම්බන්ධතා ද එමටයි. ඒ අතර එක්දින තරග වාගේ කෙටිකාලීන ඒවාත්, ටෙස්ට් තරග වාගේ දිගුකාලීන ඒවාත් ඕනෑතරම් තිබුණා. මේ අතීතය හාරා ඇවිස්සීමේ දී 1965 වසරේ එවකට ඉන්දියා ක්‍රිකට් පිලේ නායකයා ලෙස කටයුතු කළ මන්සූර් අලි ඛාන් පතාවුදිගේ හා බොලිවුඩ් රිදී තිරය එකළු කළ සුරූපි නිළි ශර්මිලා තාගෝර්ගේ පෙම් සම්බන්ධතාව කැපී පෙනුණා. එය ක්ෂේත්‍ර දෙකම එකට යාකළ අපූරු එක්වීමක්. ඉන් වසර 4කට පස්සේ දෙන්නා විවාහ වෙනවා. ඒත් මන්සූර් අලිඛාන් - ශර්මිලා තාගෝර් අතර ඇතිවූ ප්‍රේමය විවාහයෙන් කෙළවර වුණේ නෑ. එය පසුගියදා මන්සූර් අලිඛාන් ජීවිතයෙන් සමුගන්නා තුරුම එක ලෙස පැවැතුණා.
70 දශකය වනවිට ක්‍රිකට් ක්‍රීඩකයන් හා බොලිවුඩ් නිළියන් අතර ප්‍රේම කතාවල ඉවරයක් තිබුණේ නෑ. එවකට බටහිර ඉන්දියා කොදෙව් පිලේ හිටපු නායක පසුව නයිට් පදවියෙන් පිදුම් ලැබූ ගාෆීල්ඩ් සෝබර්ස් ද බොලිවුඩ් නිළියන්ගේ පහස විඳීමට වාසනාව ලැබූ ක්‍රීඩකයෙක්. ඔහුගේ සිත ගත්තේ එවකට බොලිවුඩ් තිරයේ යොවුන් නිළියක් ලෙස නම් දරා සිටි 17හැවිරිදි අන්ජු මහේන්ද්‍රෝයි. ඒ වනවිට රාජේශ් කන්නා සමග විවාහ ගිවිසගෙන සිටි ඇය සෝබර්ස්ගේ ප්‍රේමය හමුවේ රාජේශ් කන්නා අමතක කළා. එහෙත් විවාහකයකු වූ සෝබර්ස්ගේ ප්‍රේම කතාවට වැඩි ආයුෂ තිබුණේ නෑ. මේ වනවිට සිය ඔස්ට්‍රේලියානු බිරියගෙන් සෝබර්ස් දික්කසාද වී සිටින අතර අන්ජු තවමත් තනිකඩ ජීවිතයක් ගත කරනවා. නමුත් දෙදෙනා තවමත් හොඳ මිතුරන් බවයි පැවැසෙන්නේ.
බටහිර ඉන්දියා කොදෙව් පිලේ හිටපු නායක සුපිරි පිතිකරු විවියන් රිචඩ්ස්ගේ ප්‍රේම වෘත්තාන්තය නම් ඊට වඩා වෙනස්. ඔහු ඒ කාලේ සිය කණ්ඩායම සමග ඉන්දියාවේ ක්‍රිකට් සංචාරයේ නිරත වෙද්දී මුණ ගැසුණු සරාගී නිළි නීනා ගුප්තා සමග පෙමින් බැඳුණා. ඒ වනකොට විවාහකයෙක් වුනත් රිචඩ්ස්ට නීනා නැතිවම බැරිවුණා. ඔහු බටහිර ඉන්දියා කොදෙව් ජාතික බිරියට මෙන්ම නීනාටත් එකලෙස පෙම් කළා. ඔහුට දාව ඇයට ඉපදුණු මසාබා දියණිය දැන් නව යොවුන් තරුණියක්. විවාහ නොවූව ද රිචඩ්ස් - නීනා පෙම් කතාවේ නම් නිමාවක් නෑ.
ඒ කාලයේ බොලිවුඩ් නිළියන්ගේ පහස වැඩිපුරම දැනුණේ අසල්වාසී පාකිස්තාන ක්‍රීඩකයන්ටයි. නිතර නිතර ඉන්දියාවට පැමිණෙන පාකිස්තාන ක්‍රීඩකයන් ඉඩ ලැබුණු වෙලාවට බොලිවුඩ් නිළියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදුණා. ඔවුන් අතර කැපී පෙනුණු ක්‍රීඩකයා වුණේ ඉම්රාන් ඛාන්. බොලිවුඩ් නිළියන් එකල ඉම්රාන්ට වහ වැටිලයි හිටියේ. ඒ අතරින් වාසනාවන්තිය වුණේ සීනත් අමාන්. ඇය ඉම්රාන් හා වැඩිම කාලයක් පෙම් කළ බොලිවුඩ් නිළියයි. නොම්මර එකේ අනංගයෙක් වුණු ඉතා කඩවසම් සිරුරකට හිමිකම් කී ඉම්රාන් සිනමා නළුවෙක් කිරීමට බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරුන් කීපදෙනෙක් ඒ කාලයේ උත්සාහ කර තිබුණා.
ඉම්රාන් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළත් බොලිවුඩ් නිළියන්ගේ පෙම් සම්බන්ධතා හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් සිනමා නළුවන් බවට පත්වූ ක්‍රීඩකයන් ඕනෑතරම් ඒ කාලයේ සිටියා. ඉන්දියාවේ සන්දීප් පටේල්, සොනාලි බ්‍රෙන්ඩා සමග පෙමින් බැඳුණු අජේ ජඩේජා, රීනා රෝයි සමග විවාහ වුණු පාකිස්තාන ආරම්භක පිතිකරු මොෂින් ඛාන් ඒ අතරින් කැපී පෙනුණා.
බොලිවුඩ් නිළියන්ට වහ වැටී ක්‍රිකට් වෘත්තීය පමණක් නොව ජීවිතයත් අඳුරු කරගත් ක්‍රීඩකයන් ද එමටයි. ඉන්දියා පිලේ හිටපු විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩක රවී ශාස්ත්‍රිට වූයේ ඒ ටිකයි. ඔහු බොලිවුඩයේ සරාගී නිළි අම්රිතා සිං සමග ඇතිකරගත් පෙම් සම්බන්ධතාව හේතුවෙන් ඔහුගේ ක්‍රිකට් වෘත්තිය පමණක් නොවෙයි ජීවිතයත් අඳුරට තල්ලු වුණා. ඔහුගේ ජීවිතයේ හොඳම කාලය ගෙවීගියේ අම්රිතාගේ ප්‍රේමයත් එක්කයි.
මේ විදිහට ක්‍රීඩාවයි, ජීවිතයයි බොලිවුඩ් ප්‍රේමයට දියකර හැරිය තවත් අවාසනාවන්ත ක්‍රීඩකයෙක් තමයි ඉන්දියා පිලේ හිටපු නායක මොහොමඩ් අසාරුදීන්. ඔහු එවකට ඉන්දියා පිලේ නායකයා ලෙස කටයුතු කරන කාලයේ රූමත් නිළි සංගීතා බිජ්ලානි සමග පෙම් සම්බන්ධතාවක් ඇතිකර ගත්තා. ඒ වනවිට විවාහකයෙක් වුණු අසාරුදීන්ට පුතුන් දෙදෙනෙක් සිටියා. ඒත් අවසානයේ සිය විවාහ ජීවිතයෙන් දික්කසාද වුණු අසාරුදීන් සංගීතා සමග විවාහ වුණා. ඒ වනවිටත් ඔහුගේ ක්‍රීඩා ජීවිතය බිඳ වැටිලයි තිබුණේ. අද වනවිට ඔහු සංගීතාගෙනුත් දික්කසාද වෙලා.
ඒත් අසාරුදීන් වාගේ දරුපවුල් අතරමං නොකර බොලිවුඩ් රිදී තිරයේ සුරූපිනියන්ගේ පහස විඳගත් ක්‍රීඩකයන් ඕනෑතරම් හිටියා. සෞරව් ගැන්ගුලි -නග්මා, මහේන්ද්‍ර සිං දෝනි - දීපිකා පඩුකෝන් පෙම් සම්බන්ධතා ඒ අතර කැපී පෙනුණා.
වත්මන් ඉන්දිය කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන්ගෙන් වැඩි හරියක් බොලිවුඩ් නිළියන්ගේ පහස විඳින්න දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. ඔවුන් අතරින් යුවරාජ් සිං විශේෂයි. ඔහු ක්‍රිකට් වාර්තා වලට වාගෙම වැඩිම නිළියන් ගණනකට පෙම් කළ ක්‍රීඩකයා වීමේ වාර්තාවටත් හිමිකම් කියනවා. කිම් ෂර්මා, දීපිකා පඩුකොන්, අමීෂා පටේල් හා නේහා දූපියා වැනි ජනප්‍රිය යොවුන් නිළියන් ගණනාවක් සමග ඔහු පෙම් සම්බන්ධතා ඇතිකර ගත්තා.
සුපිරි පිතිකරු විරාත් කෝලිත් ඊට දෙවැනි නෑ. ඔහු ළඟදීම යුවරාජ්ගේ වාර්තාව බිඳ දමන බවයි පෙනෙන්නේ. බොලිවුඩ් නිළියන්ගේ සිහින කුමරයා ලෙස හඳුන්වන කෝලි මේ වනවිට තමානා භාතියා, සංජානා වැනි යොවුන් නිළියන් ගණනාවක් හා ප්‍රේම සම්බන්ධතා පවත්වා තිබෙනවා.
ඉන්දියා පිලේ වත්මන් ක්‍රීඩකයන්ගෙන් හර්බජන් සිංගේ හා ගීතා බස්රාගේ ප්‍රේමයට හිමිවන්නේ සුවිශේෂි තැනක්. මන්සූර් අලිඛාන් - ශර්මිලා තාගෝර් වාගෙම ක්ෂේත්‍ර දෙක යාකළ අමරණීය පෙම් යුවළක් වීමයි දෙන්නගේ අරමුණ. ලබන වසරේ දී දෙන්නා විවාහ වන බවත් ආරංචි වුණා.
වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් හා ඉෂා ෂර්මානි අතර වසර කීපයක් තිස්සේ පවතින ප්‍රේමයත් විවාහය දක්වා දිවයනු ඇතැයි කියැවෙනවා.
ඒත් හිටි හැටියේම පසුගියදා ඉන්දියා හා පාකිස්ථාන මාධ්‍යවලට උණුසුම් පුවතක් වුණේ වසීම් අක්රාම් - සුස්මිතා සෙන් ප්‍රේම කතාවයි. ඒත් අක්රාම් වගේම සුස්මිතාත් කියන්නේ ඔවුන් කාලයක පටන් හොඳ මිතුරන් ලෙස පමණක් ඇසුරු කළ බවයි. සිය ප්‍රේම කතාව ලෝකයාට රහසක් කරගන්න උත්සාහ කළ ක්‍රීඩකයන් හා නිළියන් අතීතයේදී ඕනෑතරම් සිටි නිසා ඉදිරියේ දී මේ දෙන්නා විවාහ වුනත් ඒක පුදුමයට කාරණයක් නම් නොවෙයි.

No comments:

Post a Comment