පුල්මුඩේ, මහසෙන්පුර, පහේ කණුව ප්‍රදේශයේ අඹු සැමි යුවළක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර පලා ආ බවට සැකකරන 18 හැවිරිදි තරුණියක ගණේමුල්ල - ජා ඇල මාර්ගයේ උතුරු බටගම ප්‍රදේශයේදී ක¹න පොලිසිය මගින් පෙරේදා (20 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
ඝාතනය සිදු කිරීමෙන් පසු එම යුවළගේ දියණියන් දෙදෙනා ද මෙම සැකකාර තරුණිය භාරයේ සිටියදී ඔවුන්ව ද අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.
පෙරේදා (19 දා) සවස මෙලෙස ඝාතනය කර තිබුණේ එච්. එම්. සූරියබණ්ඩාර (34) සහ එස්. ජීවනී අනුරාධිකා (36) යන අඹු සැමි යුවළයි.
මෙම අඹු සැමි යුවළට දහසය හැවිරිදි එච්. එම්. ඉමල්කා සහ දස හැවිරිදි එච්. එම්. සෙව්වන්දි නමින් දියණිවරුන් දෙදෙනකු ද සිටින බව හෙළිවිණැයි පොලිසිය පවසයි.
මෙම ඝාතනයට ලක් වූ යුවළ ඔවුන්ගේ දියණිවරුන් දෙදෙනා හා අසල්වැසි තරුණියක (ඝාතනයට සම්බන්ධ සැකකාරිය) සමඟ පොලොන්නරුවේ නෑදැ ගෙදරක ගොස් ඇත්තේ අවුරුදු දින කීපය නිසාය. එසේ ගිය මෙම අඹු සැමි යුවළ ඇතුළු පිරිස නැවත පුල්මුඩේ නිවසට පැමිණ ඇත්තේ පෙරේදා (19 වැනිදා) සවස 3.00 ට ය.
ඒ පැමිණි අවස්ථාවේ මෙම ඝාතනයන් සිදු වී ඇති බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ සූරිය බණ්ඩාරගේ සිරුර ඔහුගේ නිවසේ සිට සැතපුම් දෙකකට එහා වූ කැලෑබද ප්‍රදේශයක තිබියදී ද, ජීවනී අනුරාධිකාගේ නිරුවත් සිරුර නිවසේ ඇඳක් මත තිබියදී ද සොයාගත් බවත්, මෙම යුවළගේ ශරීරවල දරුණු කැපුම් තුවාල ද දක්නට තිබූ බවත් පොලිසිය කියයි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර තරුණිය සමලිංගික ඇසුරට ඇබ්බැහි වූ තැනැත්තියක බවත්, මැය ඝාතනයට ලක්වූ යුවළගේ වැඩිමල් දියණිය (16 හැවිරිදි) සමඟ කාලයක සිට සමලිංගික ඇසුරක් පවත්වා ඇති බවත් හෙළිවිනැයි පොලිසිය පවසයි.
මෙම ඇසුර නිසා ඝාතනයට ලක් වූ යුවළ එම තරුණියට නිතර බැණ වදිමින් මෙම ඇසුර නවත්වන ලෙසට අවවාද කර ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.
මේ හේතුවෙන් එයට උරණ වූ මෙම 18 හැවිරිදි තරුණිය අදාළ යුවළ ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම සැකකාර තරුණිය මත්පැන් හා සිගරට් පානයට ද තදින්ම ඇබ්බැහි වූ තැනැත්තියක බව ඇගේ වැඩිමල් සොහොයුරා වන එල්. ඒ. ධම්මික මහතා පැවැසීය.
"නංගී සිගරැට් බොනවා. අරක්කු බොනවා. ගමේ පොල් ගස්වල නැගලා පොල් කඩලා හම්බ වෙන මුදල් තමයි මේ නාස්ති කරන්නේ. නංගී තරුණියක් වුණාට හරිම අසාමාන්‍ය චරිතයක්. ඒ වගේම ඇය සමලිංගික ඇසුරටත් යොමුවෙච්ච එකත් මේ ගමේ ප්‍රසිද්ධ රහසක් නොවෙයි" යෑයි ද සැකකාර තරුණියගේ වැඩිමල් සොහොයුරු ධම්මික මහතා කීය.
මෙම සමලිංගික ක්‍රියාවන් නතර කරන ලෙසට සැකකාරියගේ මව විසින් සැකකාරියට පැවසූ අවස්ථාවේ එම සැකකාරිය විසින් මවට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පුල්මුඩේ පොලිසියේ ඇතැයි ද වාර්තා වේ.
ඝාතනයට ලක් වූ සූරිය බණ්ඩාර යන අයට මත්පැන් පානය කිරීමට යමු යෑයි පවසා සැකකාරිය විසින් ඔහුව කැලයට පාපැදියකින් කැඳවා ගෙන ගොස් මත්පැන් පානය කිරීමට සලස්වා ඔහුව ඝාතනය කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
සූරිය බණ්ඩාර ඝාතනයට ලක් වූ ස්ථානයේ තිබී අරක්කු කාලක් සහිත බෝතලයක් හා බියර් හිස්ටින් එකක් ද ඔවුන් පැමිණි පාපැදියක් ද තිබී හමු වූ බව ද පොලිසිය කියයි.
මෙම ඝාතනයන් සිදු කිරීමෙන් පසු සැකකාර තරුණිය ඝාතනයට ලක් වූ යුවළගේ දරු දෙදෙනා ද සමඟ ඇගේ නිවසට විත් සිය මවට "මම නැන්දවයි මාමවයි මැරුවා...... දැන් මම මේ දෙන්නත් එක්ක කොහේ හරි යනවා..." යෑයි කියා පිට වී ගොස් ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.
මේ අතර අතුරුදන් වූ සැකකාර තරුණිය හා ඝාතනයට ලක් වූ යුවළගේ දරු දෙදෙනා ඊයේ (20 වැනිදා) පස්වරු 1.30 ට පමණ මාර්ග අංක 266 ගණේමුල්ල - ජාඇල මාර්ගයේ උතුරු බටගම ප්‍රදේශයේ දී ක¹න පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකාරියගේ ඥති නිවසකට මෙම ඝාතනයට ලක් වූ යුවළගේ දරුවන් දෙදෙනා රැගෙන යමින් සිටියදී කොටුකර ගෙන ඇත.
මේ පිළිබඳව ත්‍රිකුණාමලය කොට්ඨාස භාර පොලිස් අධිකාරි බන්දුල විඡේවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගනේගොඩ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් හා කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී කාන්තා පොලිස් පරීක්ෂිකා රත්නායක ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් ඒකාබද්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
No comments:
Post a Comment