ක්‍රිකට් ජයෙන් ප්‍රීටිගේ ප්‍රීතිය ඉතිරෙයි
ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් හෙවත් අයි. පී. එල්. ක්‍රිකට් වසන්තය නැවතත් උදාවෙලා. මෙහි දස්කම් පාන සමහර ක්‍රිකට් කණ්ඩායම්වල අයිතිකරුවන් වන්නේ බොලිවුඩ් සුපිරු තරු බව නොදන්නේ කවුරුන් ද? මේ තරගාවලියට එක්ව සිටින ‘කිංස් ලෙවන් පන්ජාබ්’ ක්‍රිකට් කණ්ඩායමේ සම අයිතිකරුවන් වන්නේ සුරූපී නිළි ප්‍රීටි සින්ටා සහ ව්‍යාපාරික නෙස් වාඩියායි.
මීට වසර කීපයකට කලින් නෙස්, ප්‍රීටිගේ පෙම්වතා වී සිටියා. ඒත් පසුව මේ දෙදෙනා දුරස් වුණා. ඒ වුණත් තම තමන්ගේ බැංකු ගිණුම්වලට ගලා එන ධනස්කන්ධය නිසාදෝ අයි. පී. එල්. තරගාවලියේ දී මේ දෙදෙනා එකට එකතු වී ‘කිංස් ලෙවන් පන්ජාබ්’ පිලට දිරිය ලබා දෙනවා.
පසුගිය 7 දා පැවැත්වුණු ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ‘කිංස් ලෙවන් පන්ජාබ්’ පිල ජයග්‍රහණය කර තිබුණා. ඔවුන් එලෙස ජයගෙන තිබුණේ මුල්ම වතාවටයි. ‘පූන් වොරියර්ස්’ පිල පරාජය කරමින් මෙලෙස ලැබූ ජයග්‍රහණය එහි අයිතිකරුවන් වන ප්‍රීටිටත් නෙස්ටත් සුවිශේෂයි.
මේ ගැන ඔවුන් දෙදෙනා අතිශය ප්‍රීතියට පත්ව සිටිනවා. “අපේ කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ අති දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් විවිධ රටවල ක්‍රීඩකයන් වගේම ඉන්දියානු ක්‍රීඩකයෝත් මෙහි ඉන්නවා.
මේ අය හැමෝම ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෝ. මං හිතනවා මේ අයට ‘කිංස් ලෙවන් පන්ජාබ්’ පිල ජයග්රහණයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් වේවි ය කියලා. ප්‍රීටි මෙලෙස පැවසුවේ ජයග්රහණයෙන් පසුව මාධ්‍යවේදියකු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.
ජයග්‍රහණය ලැබූ මොහොතේ දී ප්‍රීටි සමඟ උඩ පනිමින් කෑගැසු කුඩා ළමයින් දෙදෙනා වෙත වැඩි දෙනකුගේ දෙනෙත් යොමුවී තිබුණා. ඒ කවුරුන්දැයි මාධ්‍ය හිතවතා ඇයගෙන් ඇසුවා.
“එක්කෙනෙක් මගේ අයියාගෙ පුතා. නීල්. ගෑනු ළමයා මගේ යාළුවකුගෙ දුවක්. නම ඉනායා. ඒ දෙන්නා හරිම හුරතල්. මගේ ගාවින්ම ඉඳගෙන හිටියා.
මැච් එකේදි මම ගොඩක් වෙලාවට හිටගෙනමයි හිටියේ. බැරි වෙලාවත් මම ඉඳගත්ත ගමන් අපේ කණ්ඩායමේ විකට් එකක් යනවා. ඒ නිසා හිටගෙනම හිටියා.” ප්‍රීටි මහහඬින් සිනාසෙන අතරේදී කියා සිටියා.
ප්‍රීටි ඒ මොහොතේදී නෙස්ව වැලඳගෙන ජයග්රහණයෙන් උදම් වූ අයුරු කාටත් දකින්නට ලැබුණා. මේ ගැන දැන් නොයෙක් කටකතා පැතිරිලා. “ඕවා පිස්සු කතා. නෙස්ව බදාගත්තම මොනව වෙනව ද? එහෙම කළේ සතුටට.
මුල්ම වතාවට අපේ කණ්ඩායම දිනුවාම සතුටු නැද්ද? අපි දෙන්නා මේ ජය බලාපොරොත්තුවෙන් ගොඩක් වැඩ කළා. ඉතින් බලාපොරොත්තු ඉටුවුණාම මට නම් කියාගන්න බැරි සතුටක් ඇතිවුණා.” ප්‍රීටි ප්‍රීතිමත් සිනහව මැද්දේ කියා සිටියා.
මේ සුරූපිනියගේ සිහිනය අයි. පී. එල්. කුසලානය තම පිලට හිමි වනු දැකීමයි.
තමන්නාට නඩුවක්
තමන්නා භාතියා, බොලිවුඩ්පුරයට මෑතකදී එක්වූ යොවුන් තාරකාවියයි. 1989 ;දසැම්බර් 21 උපන් මේ රුවැති නිළිය මුලින්ම රඟපෑවේ ‘චාන්ද් සා රෝෂන් චෙහ්රා’ නම් වූ බොලිවුඩ් චිත්‍රපටයේ.
ඉන් පසුව ඇය වසර කීපයක් යනතුරු රඟපෑවේ දකුණු ඉන්දීය චිත්‍රපටවල විශේෂයෙන්ම, දෙමළ සහ තෙළිගු චිත්‍රපටවල රඟපාමින් ඇය දකුණු ඉන්දීය නිළි රැජනක් බවට පත්වුණා. තමන්නා රඟපෑ ‘හිමත්වාලා’ චිත්‍රපටය මෑතකදී ශ්‍රී ලංකාවේ දී තිරගත කෙරුණා. ඇය දැන් බොලිවුඩ් චිත්‍රපටවල රඟපාමින් සිටිනවා.
මේ අතර දී තමන්නාට නඩු මඟටත් යොමු වෙන්නට සිද්ධ වෙලා. ඇය නම් කිසිවකුට නඩු දමන්නට ගියේ නැහැ. ඒත් චිත්‍රපට නිෂ්පාදකවරයකු ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට යොමුවෙන්න තීරණය කර තිබුණා. මේ චිත්‍රපට නිෂ්පාදකවරයා සලීම් අක්තාර්.
මීට වසර 3 කට පෙර, එනම්, 2010 දීයි මේ චිත්‍රපට නිෂ්පාදකවරයා තමන්නාට එරෙහිව ඉන්දීය අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණේ. ඒ, ‘චාන්ද් සා රෝෂන් චෙහ්රා’ චිත්‍රපටයට සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කර ගන්නයි. තමන්නා ගේ මුල්ම රංගනය ඇතුළත් වූ මේ චිත්‍රපටයෙන් ඇයට ලැබෙන ආදායමින් 25% ක ප්‍රමාණයක් වසර 5 ක් යනතුරු තමන් සමඟ බෙදා ගන්නට ගිවිස ගත් බවයි නිෂ්පාදක සලීම් අක්තාර් පවසන්නේ.
ඒත් එවැනි මුදලක් 2005 සිට වසර 5 ක් ගතවන තුරු ගිවිසුම ප්‍රකාරව තමන්නා විසින් තමන්ට ලබා නොදුන් බවයි නිෂ්පාදකවරයා නඩු පවරමින් ප්‍රකාශ කර ඇත්තේ. චලන චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සහයෝගයෙන් යුතුව අක්තාර් විසින් මේ නඩුව කොල්කටා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පවරා තිබුණා.
2010 සිට මේ වසරේ මුල් භාගය දක්වා මේ නඩුව ඇදී ගියා. පසුගිය සතියේ නිෂ්පාදක අක්තාර් ප්‍රකාශ කළේ තමන් මෙම ප්රශ්නය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට අකැමැති බවයි. තමන්නා සමඟ මෙම කාරණය සමථයකට පත් කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළා.
මුලදී ඔහු එකඟ වී සිටියේ තමන්නාගෙන් ලැබෙන සුළු මුදලකින් පසුව නඩුව සමථයකට පත් කරන්නටයි. ඒත් චලන චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ සංගමය, අක්තාර්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව මුදලක් නොලබාම නඩුව සමථයකට පත් කරන්න ඔහු එකඟ වෙලා.
“සංගමයේ මතවලට එකඟ වෙන්න මම තීරණය කළා. මුදල්වලට වඩා වෙනත් කාරණාවලට මම එකඟ වුණා. තමන්නා එක්ක තිබුණු ප්‍රශ්න ඉවර කරන්න මම ලෑස්තියි.” නිෂ්පාදක අක්තාර් එලෙස ප්‍රකාශ කළා. තමන්නාගේ පියා පවසා තිබුණේ දැනගන්න ලැබෙන හැටියට නම් අක්තාර්, මේ නඩුව ඉල්ලා අස්කරගන්නට සූදානම් බවයි.
චලන චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති සජිද් නදියද්වාලා පැවසුවේ මේ දෙපාර්ශවයම පවුලේ හිතවතුන් බැවින් ප්රශ්නය දුර දිගට ඇදගෙන නොයා යුතු බවයි.
No comments:
Post a Comment