Sunday, April 28, 2013

'කඳුළක සුසුමක සැඟවුණු රාවය' සත්තයි.....! එයා දරුවගේ තාත්තා



"සර් මම කවදා හරි ලෝයර් කෙනෙක්‌ වෙනවා. මං වගේ අසාධාරණයට ලක්‌වුණ ගැහැනුන්ට යුක්‌තිය සාධාරණය ඉෂ්ට කරල දෙන්න මගේ ජීවිතේ වුණත් කැප කරනවා."

ඒ මේ සමාජය තලා පෙලා දැමූ තවත් කාන්තාවකගේ හඬය. නැත. ඇගේ වයස අනුව කියන්නේ නම්, ඒ යෞවනියකගේ බලාපොරොත්තු සහගත හඬය. මේ කතාව සටහන් කිරීමේ පහසුව සඳහා ඇයට අපි නිසංසලා යෑයි කියමු. මේ ජරාජීර්ණ සමාජයේ කාමාශාවෙන් මත් වූ තවත් නරුමයකුගේ පාපී ආශාව නිසා ඇය අද පියෙකු නැති දරු පැටියෙකුගේ මවකව හිඳින්නීය. ඇයට වූ අසාධාරණය නිසා ඇය අද එහෙව් පිරිමි සංහතිය දෙස සැකමුසු බැලුම් හෙලන්නීය.

පිරිමියෙක්‌ මොන වැරැද්දක්‌ කළත් නාල ගෙට ගත්තම ඒ සේරම වැරදි ඉවරයි නමැති කියමන ගැමියන් අතර ප්‍රකටය. ඒ සමාජය තුළම හිඳින ගැහැනිය අතින් සිදුවන නොදැනුවත් වරදකට වුව සමාජයෙන් ඇයට ලැබෙන සමාවක්‌ නම් නැත. ඇය අතින් එවන්නක්‌ සිදු වූ මොහොතේ සිටම ඇය මුළු ජීවිත කාලය පුරා ඊට වන්දි ගෙවීමට සැරසිය යුතුය. පිරිමියකුට මෙන් කාන්තාවකට වැරදුන විට ජීවිතේ යළි හැරෙනු බැරිය. නිසංසලා අප හමුවේ ඉඳ මෙසේ දෝරෙ ගලා යැමට ඉඩ හැරියේ එය නොවේද?



"අපේ අම්මගෙ ගම හසලක. අප්පච්චි හතරලියද්දෙ. මට අවුරුදු තුනක්‌ වෙනකොට තමයි එයාල මෙහෙ ඇවිත් තියෙන්නේ. ගමේ ඉඩමක්‌ විකුණල තමයි මෙහෙන් ඉඩමයි කුඹුරයි අරන් තියෙන්නේ.

ඒ කාලේ තාම ටික ටික මතකයි. මම මොන්ටිසෝරියට ගියේ අම්මත් එක්‌ක. මොන්ටිසෝරිය ඇරෙන වෙලාවට අප්පචිචි එනව අපිව එක්‌ක යන්න. මැටි ගහල ඉලුක්‌ හෙවිලි කළ පුංචි ගෙදරක අපි තුන්දෙනා ජීවත් වුණේ හරිම සතුටින්.

මම ඉස්‌කෝලෙ යන්න ඉන්න කාලෙ තමයි අම්මට නංගියාව හම්බවෙන්න හිටියෙ. ඒ දෙදහ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ. මම හරි ආසාවෙන් හිටියා මල්ලියෙක්‌ ලැබෙයි කියලා. ඒත් අම්මා අරන් ආවෙ නංගියෙක්‌. කොහොම වුණත් මම නංගිට හුඟක්‌ ආදරය කළා. ඒකයි ඉස්‌කෝලෙ ඇරණ ගමන් නංගිව හුරතල් කරන්න බලාගෙන මම ගෙදර දුවන්නෙ. අම්මයි අප්පච්චියි නංගිට කිරි හදල බෝතලේ දාල හවස්‌ වරුවෙ කුඹුරට ගියාම රෑ හයට හතට එයාල ගෙදර එනකන් නංගි ඉන්නෙ මගේ ළඟ. අපේ පුංචි නංගි ලැබෙන්න ඉන්නකොට මම හතරෙ පංතියේ. ලොකු නංගිට එතකොට අවුරුදු තුනයි.

චූටි නංගිට අවුරුදු එකහමාරක්‌ විතර වෙනකොට අපේ පවුලට හුඟක්‌ අගහිඟකම් දැනෙන්න වුණා. අම්මා මැද පෙරදිග රැකියාවකට යන්න තීරණය කරන්න ඇත්තෙ ඒ හින්දා වෙන්නැති. කුඹුරක්‌ කරල අපට කාල ඇඳල ඉන්න පුළුවන් තමයි. ඒත් එතනින් එහාට දියුණුවක්‌ නෑ. හැමදාමත් මැටි ගෙදරට වෙලා ඉන්නත් බෑ. ඒ නිසා අම්මා රට යන එකට අප්පච්චි කැමති වුණා.

අම්මා රට යනකොට මම ශිෂ්‍යත්ව පංතියේ. වසයට වඩා මට එතකොට යමක්‌ කමක්‌ තේරෙනවා. අම්මා රට ගියාට පස්‌සේ මම චූටි නංගියාව අම්මා කෙනෙක්‌ වගේ බලා ගත්තේ පුංචි කමට වුණත් ඒ තේරෙන කමට නිසා වෙන්න ඇති. කොහොම වුණත් මට ශිෂ්‍යත්වෙ පාස්‌ වෙන්න බැරි වුණා. ඒත් හය වැනි ශ්‍රේණියට මම අල්ලපු ගමේ ඉස්‌කෝලෙට ගියා. ඉස්‌කෝලෙ ටිකක්‌ දුරයි. ඒත් ගෙදර ආව ගමන් මම නංගිලාව බලා ගන්නවා. ගෙදර තියෙන වැඩ කරනවා. අප්පච්චිට කුඹුරට යන්න පුළුවන් වෙන්නෙ මම ගෙදර ආවම. හවස අප්පච්චිත් ගෙදර එනකොට මට පුළුවන් විදියට උයන පිහන වැඩ ටිකත් කරල තියෙනවා. අප්පච්චි හැම වෙලාවෙම උත්සාහ කළේ අම්මා නැති අඩුව මකන්න. එයා අපට ගොඩාක්‌ ආදරය කළා.

මං අටවැනි ශ්‍රේණියට පාස්‌ වෙනකොට අම්මා ලංකාවට ආවා. චූටි නංගියාට එතකොට අවුරුදු පහයි. මම කොච්චර අපේ නංගිලාට අම්මා කෙනෙක්‌ වගේ සලකලාද කිව්වොත් චූටි නංගි අම්මා කියල කතා කළේ මට.

අම්මා ආවාට පස්‌සේ අපේ මැටි ගෙදර කඩල එතන හොඳ ගෙයක්‌ හැදුවා. අපේ අප්පච්චි කවදාවත් අරක්‌කු ටිකක්‌ කටේ තිබ්බේ නෑ. සිගරැට්‌ එකක්‌වත් බොනව අපි දැකල නෑ. ඒ විතරක්‌ නොවේ, අපිට කවදාවත් එයා අතක්‌ උස්‌සල නෑ. අම්මත් එක්‌ක රංඩු කරලත් නෑ. මේ නිසා අපේ ගෙදර සාමය රැකිල තිබුණා.

ඔහොම ඉන්න කොටයි අල්ලපු ගෙදර බන්දුල අයියා ටිකක්‌ වෙනදට වඩා මම ගැන උනන්දු වෙනව දැනුනෙ. ඒත් පුංචි කාලෙ ඉඳන් එකට හැදුන වැඩුන අපි සහෝදරයො වගේනෙ කියල මම හිතුවා. එයා ඒ වෙනකොට ග්‍රාමාරක්‍ෂක සෙබළෙක්‌. යුද්ධයේ අවසන් කාලය නිසා ඒ අය ගෙදර ආවෙත් ටී පනස්‌හය තුවක්‌කුව පිටේ බැඳගෙන. දෙදාස්‌ අටේ අගෝස්‌තු මාසෙ ඉස්‌කෝලෙ නිවාඩුව මගෙ ජීවිතේ වේදනාවෙන් පිරුණ කාලයක්‌. මගේ ජීවිතේට ආව අවාසනාවන්තම කාලය ඒක. බන්දුල අයියා කීප අවස්‌ථාවක්‌ අම්මයි අප්පච්චියි නැති වෙලාවල ගෙදරට ඇවිත් මට එක එක යෝජනා ගෙනාවා. යාළුවෙකුගෙ ගෙදර යනව කියල අපි කොහේ හරි ගිහිං එමු කියල කිව්වා. එතකොට මම වැඩිවියට පත්වෙලා හිටපු ගෑනු දරුවෙක්‌. තනිපංගලමේ පිරිමි එක්‌ක කොහේවත් යන්න එපා කියල අම්ම කිව් කථාවත් මගේ හිතේ දෝංකාර දුන්නෙ බන්දුල අයියා කිව්ව ඒ කතාවත් එක්‌ක. මම කිව්වා බන්දුල අයියේ ඔයාගෙම නංගි වගේ ඉන්න මට ඇයි කරදර කරන්නෙ කියලා. එයා කේන්තියෙන් ගියා. බන්දුල අයියගෙන් බේරෙන්න බැරි තැන කළේ මම අම්මයි අප්පච්චියි යනවත් එක්‌ක කුඹුරට යන එක. දවසක්‌ මම මේගැන අම්මට කියනවා කියල බන්දුල අයියට කිව්වා. එයා කිව්වා, මේ ගැන කියල තිබුණොත් අපේ පවුලටම වෙඩි තියල මරල එයත් වෙඩි තියා ගන්නවා කියලා. ඇත්තම කිව්වොත් මම ඒ කථාවට ගොඩක්‌ බය වුණා. තුන්වැනි වාරෙට ඉස්‌කොලෙ පටන් ගත්තේ ඔය සිද්ධි වුණාට පස්‌සෙ. ඉස්‌කෝලෙ පටන් ගත්ත එක මට ලොකු සැහැල්ලුවක්‌. 2008 අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ සෙනසුරාදා දවස කියන්නේ මගේ ජීවිතේ මේ නරකාදියට ඇදල දැම්ම කාලකන්නි දවස. එදා අම්මයි තාත්තයි කුඹුරට ගියා. හිසරදයත්, හතියත් නිසා මම ගෙදරට වෙලා හිටියා. බන්දුල අයියලාගේ කුඹුර තියෙන්නෙත් අපේ කුඹුර ළඟ. එයා මම කුඹුරට එයි කියල හිතාගෙන වෙන්නැති එදා කුඹුරට ගිහිං. අපේ අම්මගෙන් අහල ලොක්‌කි කොහේද පන්ති ගියාද කියලා. අම්මා ගත් කටටම ඔව් කියන කොට චූටි නංගි කියලා නෑ අක්‌කා ගෙදර නිදි කියලා. ඩියුටි යන්න තියෙනවා කියල මෙයා බයික්‌ එකේ ගෙදර ඇවිත්. මට එදා ඇඟට ගොඩක්‌ අමාරුයි. මම ඉස්‌සරහ දොර ලොක්‌ කරල කුස්‌සිය දොර බාගෙට වහල නිදා ගත්තෙ. මට ටික වෙලාවකින් කුස්‌සියෙ දොර ඇරෙනවා වගේ දැනුනා. මම හිතුවේ අම්මලා කියලා. ඒ නිසා වෙනසක්‌ නැතිව මම නිදාගෙන හිටියා. ඇඳ ළඟ මේසෙ උඩ දඩාස්‌ ගාල බරට දෙයක්‌ තියෙනවා දැනුනට පස්‌සෙ මම හැරිලා බැලුවා ඒ මොකක්‌ද කියලා. බලනකොට බන්දුල අයියා තුවක්‌කුවත් අරං ගේ ඇතුළට ඇවිත්. කෑ ගැහුවොත් මරණව කිව්වා. මම අඬල කිව්වා කරදරයක්‌ කරන්න එපා කියලා. එයා හිනාවෙලා කිව්වා කරදරයක්‌ කරන්න නෙවෙයි මං ආවේ ආදරේ කරන්න කියලා. එහෙම කියපු එයා කුස්‌සියෙ දොර ලොක්‌ කරල ඇවිත් මගේ ළඟ නතර වුණා. ටික වෙලාවකට පස්‌සෙ මට ඉතුරු වුණේ මම වැඩිවියට පත්වෙන දවසෙ අම්මා දුන්න අවවාදය මතක්‌ කර කර අඬන එක විතරයි. ඒත් අම්මයි අප්පච්චියි එනකොට මම ඇඳුම් සේරම සෝදල මහන්සියට ඇඳට වෙලා නිදන් හිටියා. එදා එයාල දකින කොට මට ඉකිගහල ඇඬුනේ ඉබේටම. ඇයි ලොක්‌කී කියලා අම්මා අහද්දී මම කිව්වා හිසරදය වැඩියි කියලා. අම්මා පැරසිටමෝල් දෙකක්‌ දුන්නා. ඒක බීලා මම අඬ අඬා එදා නිදා ගත්තා. එදා රෑ මම කෑවෙ නෑ. ඒත් අම්ම හදල දුන්න කිරි එක බිව්වා.

පහුවදා උදේ මම දහම් පාසලට ගියේ පුළුවන් තරම් හිත හදාගෙන. මම යනකොට බන්දුල අයියා සිගරට්‌ එකක්‌ පත්තු කරගෙන පාර අයිනෙ. ලොක්‌කී ඊයේ සිද්ධිය කාටවත් කිව්වද ඇහුවා. මම බිම බලාගෙන නෑ කිව්වා. වෙරි ගුඩ් කියලා මගෙ ඔළුව අතගාලා එයා බයිසිකලේ පැදගෙන ගියා. ඊට දවස්‌ දෙක තුනකට පස්‌සෙ එයා අපේ ගෙදරට ආවා. මම නංගිලා දෙන්නා එක්‌ක මිදුලේ හිටියෙ. අපේ අම්මා ලොක්‌කිට යන්න කිව්වා කියලා කිව්වා. මමත් එයා එක්‌කම ගියා. ගේ ඇතුළට යන්න කලින් මම ඇහුවා කොහේද නැන්ද ඉන්නෙ කියලා. වී ගබඩාවෙ ඉන්නෙ කියලා එයා කිව්වා. මම ගබඩාවට ගිය ගමන් බන්දුල අයියා දොර වහගෙන ඇතුළට ආවා. එයා ආපහු දොර ඇරියෙ එයාට ඕනෑ සේරම දේවල් කරගත්තට පස්‌සෙ. එදත් මම ගෙදර ඇවිත් සද්ද නැතුව හිටියා. ඊට පස්‌සෙ අම්මලා ගෙදර නැති වුණු අවස්‌ථා කීපයක්‌ම ගෙවුණෙ එහෙම එයා මට වඩා අවුරුදු දහතුනකින් වැඩිමල්. මුලදී මගේ හිතට එයාට ලොකු ගෞරවයක්‌ තිබුණා. පස්‌සේ ඒක දියවෙලා ගියා. අන්තිමට මම මේ හැමදේම විඳගත්තේ අපිව වෙඩි තියල මරයි කියන බයට. කොහොම හරි මාස කීපයක්‌ යනකොට මම මහත් වෙන්න පටන් ගත්තා. මම හිතුවා ඒක යෞවනියන්ට පොදු දෙයක්‌ කියලා. මම අපේ ඉස්‌කෝලෙ ගුරුවරු හැමෝගෙම ආදරේ දිනා ගත්ත ළමයෙක්‌. සර්ලා මිස්‌ලා කිසි කෙනෙක්‌ කවදාවත් මට බැනලා නැහැ. මම ඒ තරම් හොඳට හිටියා. ස්‌පෝට්‌ස්‌ වලින් පළාත් මට්‌ටමේ ජයග්‍රහණ ඉස්‌කෝලෙට ගෙනැත් දුන්නා. පන්තියෙ පළවැනියා වුණා. ශිෂ්‍ය නායිකාවක්‌ විදියට කටයුතු කළා. එක දවසක්‌ අපේ පන්තිභාර මිස්‌ මගෙ ළඟට ඇවිත් කිව්වා දුව ඔයා ලැබ් එකට එන්න කියලා. මම යනකොට විද්‍යා ටීචරුත් හිටියා. ටීචර්ලා දෙන්නා මට වාඩිවෙන්න කියලා ආදරෙන් ඇහුවා දුවේ ඔයා කාගෙත් එක්‌ක හරි සම්බන්ධයක්‌ තියෙනවද කියලා. මම ඔව් කිව්වා. එයා ඔයාට මොනව හරි කරදරයක්‌ කළාද කියලා ඇහුවා. මම සේරම විස්‌තරේ ටීචර්ලා දෙන්නට කිව්වා. එයා එවේලේම මගෙන් අපේ අම්මාගේ ටෙලිෙµdaන් අංකය ඉල්ලගෙන අම්මට එන්න කිව්වා. එතකොට අපේ චූටි නංගි පළමු ශ්‍රේණියෙ. අම්මා කිව්වා චූටි දුව ගන්න දොළහට එනවා කියලා. අම්මා එනකම් මාව ලැබ් එකේ තියා ගත්තා. අම්මා ආවට පස්‌සෙ කිව්වා මාව දොස්‌තර කෙනෙකුට පෙන්වන්න ඇඟේ පොඩි වෙනසක්‌ තියෙනවා කියලා. අම්මා එවේලේම මාව ටවුමෙ ප්‍රයිවට්‌ ලැබ් එකකට එක්‌ක ගියා. යූරින් එකක්‌ බලන්න දුන්නා. පැයකට විතර පස්‌සේ රිපෝට්‌ එක දුන්නෙ මම මාස හතක්‌ ප්‍රෙග්නට්‌ කියලා. මම හොඳටම බය වුණා. අපේ අම්මා එතනදීම අඬන්න පටන් ගත්තා. මගේ පංති භාර ටීචර්ගෙ ඔඩොක්‌කුවෙ මූණ හංගගෙන මමත් ඇතිවෙනකන් ඇඬුවා. ගෙදර ගිහිං අප්පච්චිට මූණ දෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙයි ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ. අප්පච්චිට අම්මා හැන්දැවේ හෙමිහිට මේ කථාව කියලා. එයා කැත්ත අරං බන්දුල අයියට කොටන්න යන්න හදන කොට අම්මා පැනලා නැවැත්තුවා. පහුවදා අපි පොලිසියට පැමිණිලි කළා. පොලිසියෙන් මාව රෝහලට ඇතුල් කළා. බන්දුල අයියාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කළා.

මේ සිද්ධිවලින් කාලයකට පස්‌සේ මට දරුවා ලැබුණා. එයා ඉතාම නිරෝගී පුතෙක්‌. පරිවාස නිලධාරි අධීක්‍ෂණයේ හිටිය මාවත් මගේ දරුවත්a දෙන්නම අම්මයි අප්පච්චි භාර ගත්තා. දරු පැටියට මාස 08 ක්‌ වෙනකොට අධිකරණ නියෝගයක්‌ මත මම කුලියාපිටිය ප්‍රදේශයේ රැඳවුම් නිවාසයකට ගිහිං ඉස්‌කෝලෙ ගියා. මට දරු පැටියා අම්මා, අප්පච්චිලා මතක්‌ වෙනකොට ඉහිලුම් නැතුව ඇඬෙනවා. එතකොට ඉස්‌කෝලෙ ටීචර්ලා මගේ හිත හදනවා. රැඳවුම් නිවාසෙ අම්මයි, තාත්තයි නිතරම මගේ හිත හැඳුවා.

"දරුවගේ පියා කවුද කියලා තහවුරු කරගන්න ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ කරන්න අපි ඉල්ලීමක්‌ කළා. ඒකට හේතුව වුණේa බන්දුල අයියා දිගින් දිගටම පොලිසියට, උසාවියට කිව්වේ මාව අතවරයට පත් කළේ එයා නෙවෙයිම කියලා. අන්තිමට එයාලගෙ පවුලෙ අය අපේ පවුලෙ අය එක්‌ක රණ්‌ඩු වෙන්න පටන් ගත්තා. රිමාන්ඩ් එකෙන් නිදහස්‌ වෙලා ආව ගමන් බන්දුල අයියා වෙන ගෑනු ළමයෙක්‌ බැන්දා. මගෙ දරුවා එයාගෙ නොවෙයි කියනවා. දෙයියනේ මම වෙන කිසිම පිරිමියෙක්‌ එක්‌ක හිටියෙ නැත්තං කවුද දරුවගෙ තාත්තා. මේක අහස පොළොව නුහුලන අපරාධයක්‌. මං දන්න තරමින් ඩී. එන්. ඒ. එකට රුධිර සාම්පල ගන්න ඕන මව පියා යෑයි සැක කරන කෙනා සහ දරුවා එක්‌ක එකට එක වෙලාවේ. නමුත් මගෙත් පුතාගෙත් විතරක්‌ වෙනම ලේ අරගෙන පරීක්‍ෂණවලට පෞද්ගලික තැනකට බොරැල්ලට යවලා. අපිට මේ අසාධාරණය සිද්ධ කළේ පොලිසියෙන්. බන්දුල අයියා වැඩ කරන පොලිසියේ සියලුම දෙනා එයාගෙ පැත්ත ගත්තා. අපිට මේ සිද්ධ වෙන අසාධාරණය ගැන කියන්න අපි ගියා ඩී. අයි. ජී. මහත්තයා ළඟට. ඩී. අයි. ජී. මහත්තයා ලියුමක්‌ ලියලා දුන්නා ඒ. එස්‌. පී. මහත්තයාට දෙන්න කියලා. ඒ. එස්‌. පී. මහත්තයා නැත්නම් වෙන කෙනෙකුට දෙන්න එපා කවද හරි එයා ඉන්න වෙලාවක එයාගෙ අතටම දෙන්න කිව්වා. ඒ. එස්‌. පී. මහත්තයා හරිම හොඳ නිලධාරියෙක්‌. අපිට සිද්ධ වුණු අසාධාරණය ගැන අහල නැවත වතාවක්‌ ඩී. එන්. ඒ. එක කරන්න පොලිසියට උපදෙස්‌ දෙනවා කිව්වා. පළමු වතාවේ ඩී. එන්. ඒ. රිපෝට්‌ එක ආවේ නිල් කියලා. දෙවැනි වතාවට ඩී. එන්. ඒ. එක කරන්න ඒ. එස්‌. පී. මහත්තයා ඇවිත් පොලිසියෙ ඕ. අයි. සී. මහත්තයාට අපි ඉස්‌සරහ උපදෙස්‌ දුන්නා. ඒකට ඕ. අයි. සී. මහත්තයා අමනාප වුණා. මොකටද දෙවැනි වතාවටත් ඩී. එන්. ඒ. පරීක්‍ෂණය කරන්න යනවා කියල දැනගෙන බන්දුල අයියලාගෙ ගෙදර සේරම ඇවිත් අපිට හරිම පහත් විදිහට බැන්නා. අපි ඒ සේරම ඉවසන් හිටියෙ ගෑනු තුන්දෙනෙක්‌ ඉන්න පවුලක අපිට ඒ වගේ පිරිමියෙක්‌ ඉදිරියේ වෙන කරන්න දෙයක්‌ නැති නිසා.

බන්දුල අයියා එදා අපිට බණින ගමන් කිව්වා මම තමයි යකෝ ඔය වැඩේ කළේ අනිත් දෙන්නටත් ඔය දේම තමයි වෙන්නේ කියලා.

අපි මේ වගේ හැම අවස්‌ථාවකම පොලිසි ගියා. එක වතාවක්‌ අපිට බැන බැන හිටිය බන්දුල අයියල අපිට කලින් පොලිසියට ගිහින් එයාලට බැන්නා කියල "ඇන්ටි්‍ර" එකක්‌ දාලා. අපේ අසරණකම කියන්න යනකොට එදා පොලිසියේ හිටිය රාළහාමි කෙනෙක්‌ අපිව එලවගත්තා. මගේ දරුවා පෙන්නල අප්පච්චි ඉදිරියේ බන්දුල අයියා මට අපහාස කළ වාර නම් අනන්තයි. ඒත් අපේ අප්පච්චි දෙවියෙක්‌... එයා ඒ හැම වෙලාවෙදිම හැම දුකක්‌ම දරාගෙන හිටියා.

ඔය සිදුවීම්වලට පස්‌සේ ආයෙත් අපි පොලිස්‌ කාන්තාවක්‌ එක්‌ක කොළඹ ආවේ පරීක්‍ෂණයකට. ඒ වතාවෙත් අපි පරීක්‍ෂණයට ලේ දුන්නා. අපි ඇහුවා කෝ බන්දුල කියලා. පොලිසියේ අය කිව්වා, එයා ඇවිත් ලේ දීලා ගියා කියලා. කාගෙ හරි උදව්වෙන් දෙවැනි වතාවටත් බන්දුල වෙන කෙනෙකුගෙ ලේ දුන්නා කියල අපිට තේරුණා. මම හිතන්නෙ ඒක කළේ පොලිසියේ උදව්වෙන්.

නිසංසලා එසේ කීවේ තිර විශ්වාසයකින් මෙනි. ඉනික්‌බිතිව උදාවෙන කාලය ඇය උපරිමයෙන් ගෙවා දැමුවේ අධ්‍යාපන කටයුතු සඳහායි. දරු පැටියා සිය මව ළඟ තැබූ ඇය ධෛර්යයෙන් යුතුව දිගටම ඉගෙනීමේ කටයුතුවල නිරත වූවාය. ඒ ළමා නිවාසයක සිටය.

මට ඉගෙන ගන්න හුඟක්‌ උදව් කළේ ළමා නිවාසය භාර හාමුරුවෝ. මට හාමුදුරුවෝ නිතරම කීවේ, කෙල්ලෙ උඹ හොඳට ඉගෙන ගනින්. අපි මේ අවනඩුව කියන්න ඕන හැම තැනටම ගිහින් උඹට සාධාරණයක්‌ ඉෂ්ට කරනව කියල. ඒත් මගේ අවාසනාවකට ද කොහෙද අපේ හාමුදුරුවො හදිස්‌සියෙ අපවත් වුණා. ඒ හැමදේම මැද්දේ මම සාමාන්‍ය පෙළ විභාගයට මහන්සි වුණා.

නිසංසලා සාමාන්‍ය පෙළට වාඩි වූයේ ළමා නිවසේ සිටය. ඒ ගිය වසරේය. ඇය සාමාන්‍ය පෙළට වාඩිවීමට සැරසෙන කාලයේදී නීතිපතිගෙ උපදෙස්‌ පිට බන්දුල නඩුවෙන් නිදහස්‌ විය. ඉන් ටික කලකට පසු නිසංසලා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියාය. එහි ප්‍රතිඵල පසුගියදා නිකුත් විය.

මම සාමාන්‍ය පෙළ හොඳින් පාස්‌ වෙලා තිබුණා. මට ඒ එකයි, බී එකයි, සී තුනයි. එස්‌ එකක්‌ තියෙනවා. බන්දුල අයියට දැන් දුවෙක්‌ ඉන්නවා. එයාට අපහාස කළා කියල මිලියන එකහමාරක්‌ ඉල්ලලා අපිට විරුද්ධව නඩුවක්‌ දාලා. අපිට දැන් ඒ නඩුවට වියදම් කරන්නත් වෙලා. මගේ දරුවා ඉපදුණේ ගෙවල් ළඟ ඉස්‌පිරිතාලෙ ඒත් පොලිසිය උසාවියට දන්වල තියෙන්නේ මහියංගනේ ඉස්‌පිරිතාලේ ඉපදුණා කියලා.

අද මේ කිසිවක්‌ නොදන්නා මගේ දරුවා අපේ අම්මට අම්මා කියනවා. අප්පච්චිට අප්පච්චි කියනවා. මගේ නංගිල දෙන්නට අක්‌කා කියල කතා කරනවා. පිට කෙනෙක්‌ ඉන්න තැන දරුවා එහෙම කතා කරන වාරයක්‌ වාරයක්‌ පාසා මගේ හිත කියාගන්න බැරි අසරණකමකින් පිරී යනවා. දෙවියනේ ඇයි මේ තරම් අසාධාරණකම් මිනිස්‌සුන්ට සිද්ධ වෙන්නේ...

නිසංසලා දිගු සුසුමක්‌ පිටකරමින් එසේ කීවාය. අපි ඇගෙන් සමුගත්තේ ජීවිතයේ කවදා හෝ ඇයට සාධාරණයක්‌ ඉෂ්ට වේවා යෑයි පතමිනි. ඇයට පමණක්‌ නොව මේ කිසිවකට වග නොකියයුතු නිසංසලාගේ දරුවාටද සාධාරණයක්‌ ඉටුවිය යුතුය. ඇගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන පරිදි මේ කතාව ලිවීමේදී අන්වර්ථ නම් භාවිත කළෙමු.

තිස්‌ස ගුණතිලක
ප්‍රසන්න සිල්වා

No comments:

Post a Comment