Monday, April 29, 2013

තරග පාවාදුන්නේ යෑයි චෝදනා ලැබූ විනිසුරුවෝ තවමත් නිදැල්ලේ! බේරා ගැනීම පිටුපස අදිසි හස්‌තයක්‌


ක්‍රිකට්‌ ආයතන ඉහළ පෙළේ නිලධාරියකුගේ සහාය ලබා ගනිමින් තමන්ට එල්ල වී තිබෙන චෝදනා සියල්ලෙන් නිදහස්‌ වීමට මුදලට තරග පාවාදුන්නේ යෑයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන් තිදෙනා දැඩි උත්සාහයක නිතරව සිටින බවත් එම හේතුව මත අදාළ පරීක්‍ෂණය දිනෙන් දින කල්යැම සිදුවන බවත් මේ වන විට ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්‌වී තිබේ.

ගාමිණී දිසානායක, මොරිස්‌ ඩිලාද සිල්වා සහ සාගර ගාල්ලගේ යන විනිසුරුවන් තිදෙනා ක්‍රිකට්‌ තරගාවලියකදී තරග පාවාදීම සම්බන්ධව ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ තැරැව්කාරයකු සමග කරනු ලබන විනිසුරු ගාස්‌තු පිළිබඳ සාකච්ඡාවක්‌ පිළිබඳව ඉන්දීය රූපවාහිනී මාධ්‍යයක්‌ විසින් කරුණු හෙළි කරන ලදුව මොවුන් තිදෙනාට තරග පාවාදීමේ චෝදනා එල්ල වූහ.



චෝදනා ලාභී විනිසුරුවන් සඳහා පරීක්‍ෂණයක්‌ ඉකුත් 18 වැනිදා පැවැත්වීමට නියමිත වුවත් ඒ සඳහා යවන ලද කැඳවීම් ලිපි ප්‍රමාදව පැමිණියේ යෑයි කියමින් එම චෝදනා ලාභී විනිසුරුවන් එම පරීක්‍ෂණයට නොපැමිණි බව සඳහන් වේ.

මේ සම්බන්ධව තතු දත් අයෙකු සඳහන් කර සිටියේ, චෝදනා ලාභී විනිසුරුවන් තිදෙනා බේරා ගැනීම සඳහා ක්‍රිකට්‌ ආයතන ඉහළ පෙළේ නිලධාරියෙක්‌ ඉදිරිපත් වී සිටින බවත්, එම තත්ත්වය මත මෙම පරීක්‍ෂණ මාස 6 ක කාලයක්‌ තිස්‌සේ ඇදෙමින් පැවැතීමට මූලික වූ බවත්ය.

මොවුන් තිදෙනාට අමතරව තරග පාවාදුන්නේ යෑයි බංග්ලාදේශයෙන් සහ පාකිස්‌තානු විනිසුරුවන් තිදෙනකු සම්බන්ධයෙන්ද අදාළ ඉන්දීය රූපවාහිනී නාලිකාව කරුණු හෙළි කරන ලදුව ඔවුන්ට එරෙහිව තරග තහනම් පැනවීමට අදාළ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩල එක්‌ එල්ලේම පියවර ගනු ලැබීය.

එහෙත් ශ්‍රී ලංකා විනිසුරුවන් තිදෙනා සම්බන්ධව තවමත් කිසිදු තීරණයකට එළැඹ නැත්තේ මෙම ඉහළ පෙළේ නිලධාරියාගේ බලපෑම මත බව කියෑවේ.

වාර්තා වන අන්දමට මේ සිදුවීම සම්බන්ධව හිටපු ප්‍රධාන විධායක වන අජිත් ජයසේකර මහතා ඉතා තදින් කටයුතු කර තිබෙන අතර එහිදී ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධව මෙම විනිසුරුවන් තිදෙනා දැඩි ලෙස කුපිත වී තිබෙන බවත් ඒ සම්බන්ධව ජයසේකර මහතාට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට පැමිණිලි කළ බවත් සඳහන් වේ.

අදාළ චෝදනාව මොවුන්ට එල්ල වූයේ ඉකුත් වසරේ ඔක්‌තෝම්බර් මස 08 වැනිදා වන අතර ඒ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා විනිසුරු කමිටු සභාපති ඒ. ආර්. එම්. අරූස්‌ සඳහන් කර සිටියේ මුදලට තරග පාවාදීම සම්බන්ධව මෙම විනිසුරුවන් ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ සිදු කරන ලද සාකච්ඡාව තමන්ද නැරඹූ බව සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment