Sunday, April 28, 2013

ඒ මවත් පියාත් අසම්මත පෙම් වියරුවට ගොදුරු වූහ.


නිරූපිකාගේ හැසිරීම කතා බහ මෙන්ම ඇගේ ගති පැවතුම් ද කෙළිලොල් තරුණයකු මෙන් විය.

කොට කලිසමත් ටී ෂර්ට්‌ එකත් නිතර ඇඳීමට ප්‍රිය කළ නිරූපිකා ගස්‌ බඩගා පොල් කැඩීම, අතට හසුවන වටිනා දේ සොරා ගැනීම සිය ජීවිකා වෘත්තිය ලෙස කරගෙන ගියාය.

"මේකිගෙ ගෑනු ගතියක්‌ ගෑවිලාවත් නැහැ. පිරිමි කරන දේවල්මයි කරන්නෙ."

ගමේ කොයි කවුරුත් නිරූපිකා ගැන කීවේ එවැනි වදන්ය.

නිරූපිකා හැදී වැඩුණේ පුල්මුඩේ මහසෙන්පුර පහේ කණුව දුෂ්කර ගම්මානයකය. දහඅට වැනි වියේ පසු වූ ඇය බෙහෙවින් දඩබ්බර තරුණියක වූවාය. පාසල් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් කරගත් ඇය විවිධ දුරාචාරවලට යොමු වුණේ කුඩා කල සිටමය.


මත්පැන් සිගරැට්‌ පානය කිරීමට හුරු පුරුදුව සිටි නිරූපිකා ඒ සඳහා මුදල් සොයා ගන්නේ හොර පොල් කඩා විකිණීමෙන්ය. එහෙමත් නැත්නම් කාගේ හෝ වටිනා යමක්‌ සොරාගෙන විකුණා ගැනීමෙන්ය.

නිරූපිකාගේ මවට විවාහයන් දෙකකි. ඇය මවගේ පළමු විවාහයේ දියණියක වූවාය. වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ගණනකට නොගත් නිරූපිකා තමන්ට රිසි සේ ජීවත් වීමට පුරුදුව සිටියාය.

නිරූපිකා මේච්චල් කිරීමට නොහැකි වූ තැන ඇගේ මව පුල්මුඩේ පොලිසියේ සහාය පැතුවාය.

"මහත්තයො මට මේකි එපා. මට මේකිව ගෙදර ගෙනියන්න බැහැ. මේකි නිසා අපට ගමේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා තියෙන්නෙ."

නිරූපිකාගේ මව සිය දියණිය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළේ වෙනත් විකල්පයක්‌ නොමැති නිසාය. මේ සිද්ධිය වුණේ මීට වසර 3 කට පමණ උඩදීය.

එදා නිරූපිකා වෙනුවෙන් පෙනී සිටියේ ගාමිණීය.

"සර් මම මේ කෙල්ලව බලාගන්නම් මටත් කෙල්ලො දෙන්නෙක්‌ ඉන්නවා. මට මේකි බරක්‌ නැහැ."

ග්‍රාමාරක්‍ෂක සෙබළකු වූ ගාමිණී නිරූපිකාට රැකවරණය දීමේ වගකීම භාර ගත්තේය.

ගාමිණී ජීවත් වුණේ නිරූපිකාගේ නිවසට සැතපුමක්‌ පමණ දුරින්ය. ඔහුට දියණියන් දෙදෙනෙකි. කුඩා කල සිටම නිරූපිකාගේ පවුලේ සාමාජිකයන් සමග ඇයි හොඳයිකම් පැවැත්වූ ගාමිණී එදා ඇය සිය නිවසට කැඳවාගෙන ගියේය.

නිරූපිකාගේ මිත්තණිය පදිංචිව සිටියේ ද ගාමිණීගේ නිවසට නුදුරින්ය. නිරූපිකා ගාමිණීගේ නිවසේත් මිත්තණියගේ නිවසේත් ජීවත් වීමට පුරුදු වූවාය. එහෙත් පුංචි කාලේ සිට ඇගේ තිබූ නොහොබිනා ගති පැවතුම් එකක්‌වත් නතර කළේ නැත.

නිරූපිකා සිය නිවසේ නතර කර ගැනීමට ගාමිණීගේ බිරිඳ වූ ජීවනී එතරම් කැමැත්තක්‌ දැක්‌ වූයේ නැත.

අපිට අපේ කෙල්ලො දෙන්නවත් හදාගන්න බැරි වෙනවා මේකි නිසා.

ඇය සිය සැමියාට නිතර කීවාය. එහෙත් ගාමිණී ඇගේ කීම් එතරම් ගණනකට ගත්තේ නැත.

ගාමිණීගේ වැඩිමහල් දියණිය වූ සරෝජා සුන්දර තරුණියක වූවාය. නිරූපිකා සරෝජා ඇසුරට බෙහෙවින් ප්‍රිය කළාය. මිත්‍රත්වය ඉක්‌මවා ගිය බැඳීමක්‌ ඒ ඇසුර තුළ ගැබ්ව තිබෙන බව ගාමිණී පමණක්‌ නොව ජීවනී ද තේරුම්ගෙන සිටියහ. එහෙත් ඔවුන් ඒ බව හැඟෙව්වේ නැත.

සරෝජා වැඩිවියට පත් වුණේ මීට වසර 2 කට පමණ උඩදීය. මල්වර නැකත එළඹෙන තුරු නිවසේ අඳුරු කාමරයක සිටි සරෝජාගේ තනි නොතනියට සිටියේ නිරූපිකාය.

"සරෝ නංගි ඔයා හරිම ලස්‌සනයි. මම ඔයාට හරිම කැමතියි."

නිරූපිකාගේ ගොරහැඩි අතැඟිලි පුංචි සරෝජාගේ සිරුර පුරා දිවයන්නට විය. සරෝජා දැඩි අපහසුතාවකට පත් වූවාය.

"නිරූපිකා අක්‌කේ ඕවට එන්න එපා. මම කැමති නැහැ. මම තාත්තට කියනවා."

පුංචි සරෝජා නිරූපිකාගේ අසම්මත ක්‍රියාවන්ට තරයේ විරුද්ධ වූවාය.

කොතරම් විරුද්ධ වුවද නිරූපිකා පුංචි සරෝජා ඇසුරෙන් ඈත් නොවූවාය. ගාමිණීට ලැබුණු සොච්චම් වැටුප ඒ පවුල නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. ඔවුන් ගතකරේ ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පිරි ජීවිතයකි.

පුංචි සරෝජාත් ඇගේ බාල නැගණිය වූ විනෝජාත් පාසල් යැමට බෙහෙවින් ප්‍රිය කළහ. දහසකුත් එකක්‌ අගහිඟකම් මැද ඔවුහු අධ්‍යාපනය ලැබූහ.

නිරූපිකා සරෝජනීගේ අවශ්‍යතාවන් ලබා දීමට ඉදිරිපත්ව සිටියාය. ඇයට අවශ්‍ය කරන පොත්පත් පමණක්‌ නොව ටොµs චොකලට්‌ රස ආහාර සෑම විටම ලබා දීමට නිරූපිකා උත්සුක වූවාය.

නිරූපිකා ඒ සියලු දේ කළේ පුංචි සරෝජාගේ සිත තමන් වෙත නම්මවා ගැනීමට බව ඇය දැන සිටියේ නැත. නිරූපිකාගෙන් ලැබෙන රස ආහාරත් අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යත් හමුවේ සරෝජා පරාජය වී සිටියාය.

"අක්‌කේ ඔයා හරි හොඳ කෙනෙක්‌. නංගිටයි මටයි කොයි තරම් ඔයා ආදරෙයිද?"

නිරුපිකාගේ පහත් අරමුණු ගැන කිසිවක්‌ නොදැන සිටි සරෝජා ඇගේ ඇසුරට ප්‍රිය කළාය. ඒ වන විට සරෝජා නිරූපිකාගේ අසම්මත ක්‍රියාවන් තුළින් කිසියම් වින්දනයක්‌ ලැබීමට පුරුදුව සිටියාය.

පුල්මුඩේ මහසෙන්පුර ප්‍රදේශයේ ගස්‌බඩගා පොල් කැඩීමෙන් දෛනිකව උපයා ගන්නා මුදල් සරෝජාට අවශ්‍ය කරන දේ ලබාදීමට නිරුපිකා වියදම් කළේ දැඩි කැමැත්තෙන්ය.

පුංචි සරෝජා තම දෙමාපියන්ටත් බාල නැගණියටත් දැඩි ලෙස ආදරය කළාය. හැම විටම ඔවුන් ගැන සිතීමට ඔවුන්ට සැලකීමට ඇය අමතක කළේ නැත. සරෝජාගේ මේ ක්‍රියාවන් නිරූපිකාට එතරම් රිස්‌සුවේ නැත.

සරෝජා සිය දෙමාපියන්ට දක්‌වන ලැදියාව ආදරය විනාශ කර දැමීමට නිරූපිකා තවත් උපායක්‌ යෙදුවාය.

නිරූපිකා සරෝජාට පෙනෙන ලෙස ඇගේ පියා වූ ගාමිණී සමග උසුළු විසුළු කිරීමටත් නොයෙක්‌ අශ්ලීල ක්‍රියාවල යෙදෙන්නටත් පටන් ගත්තාය. එපමණක්‌ නොව සරෝජාගේ මව සමඟ ද විවිධ අසම්මත ක්‍රියාවන් කිරීමට පටන් ගත්තාය.

මේ ක්‍රියාවන් තුළින් සරෝජා සිය දෙමාපියන්ට දක්‌වන ආදරය වෛරයකට පෙරළීමට නිරූපිකා උත්සාහ කළාය. අන්තිමේදී ඇගේ සැලසුම සාර්ථක විය. සරෝජා සිය දෙමව්පියන්ට දක්‌වන ආදරය ගෞරවය කෙමෙන් කෙමෙන් දියාරුවන්නට විය.

"මට දැන් අම්මවයි තාත්තවයි පෙන්නන්න බැහැ. කිසි කමකට නැති මිනිස්‌සු."

සරෝජා සිය කල්‍යාණ මිතුරිය වූ නිරුපිකා සමග කීවාය. ඒ වන විට මොවුන් දෙදෙනාගේ අසම්මත බැඳීම මුළු මහසෙන්පුරයම දැන සිටියහ.

නිරූපිකා සිය දියණිය සමඟ ප්‍රසිද්ධියේම පවත්වාගෙන යන අසම්මත ඇසුර පිළිබඳව ගාමිණී සහ ජීවනී විරෝධය පළකරන්න පටන්ගත්තේ ගමේ මිනිසුන් නොයෙකුත් කතන්දර කීමට පටන්ගත් දා සිටය.

"සරෝජා උඹ ඔය යක්‍ෂ ගෑනිත් එක්‌ක තියෙන සම්බන්ධය නතර කරපන් එහෙම නොකළොත් උඹ ලොකු අමාරුවක වැටෙනවා." සරෝජාගේ මව නිතර නිතරම ඇයට කීවාය. එහෙත් ඒ වන විට සරෝජා නිරූපිකාගේ අසම්මත ඇසුරට ලොල් වී සිටියාය. නිරූපිකාගෙන් ලැබෙන නොයෙකුත් වරප්‍රසාද මිල මුදල් හමුවේ ගාමිණී නිරුත්තරව සිටියේ කරකියා ගැනීමට දෙයක්‌ නොමැතිවය.

"ගාමිණී මාමෙ අපි පොඩි අඩියක්‌ ගහන්න යමුද"?

නිරූපිකා බොහෝ දිනවල ගාමිණී සමඟ මත්පැන් පානය කළේ සියලු ප්‍රශ්න අමතක කර දමමින්ය. මත්පැන් පානයට මෙන්ම කාන්තා ඇසුරටද ලොල් පුද්ගලයකු වූ ගාමිණී නිරූපිකාගේ යෝජනාවන්ට එකපයින් කැමති වූයේය.

සිංහල අලුත් අවුරුද්ද උදා වන්නේ ඔය අතරතුරදීය. අලුත් අවුරුද්දට සරෝජාට මෙන්ම පවුලේ සියලු දෙනාටම නිරූපිකාගෙන් නොයෙකුත් තෑගිබෝග ලැබී තිබිණි. ඊට අමතරව මිල මුදල් ද ඔවුන්ට ලබාදීමට නිරූපිකා අමතක කළේ නැත.

ගාමිණීගේ කිට්‌ටුවන්ත ඥතීන් පිරිසක්‌ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටින අතර අලුත් අවුරුද්දේ ඔවුන් බැලීමට යැමට ඔහු තීරණය කළේය.

නෑගම් යැම සඳහා ගාමිණීගේ පවුලේ සාමාජිකයන් මෙන්ම නිරූපිකා ද එක්‌වූවාය.

නෑගමන සිය ජීවිතය කෙළවර කරන සිදුවීමකට මුල් වනු ඇතැයි ගාමිණීවත් ජීවනීවත් සිතුවේ නැත.

ගාමිණීගේ ඥති සොහොයුරකු සරෝජාට මංගල යෝජනාවක්‌ ගෙන ආවේ පොළොන්නරුවට ඔවුන් පැමිණි දිනයේදීමය.

ගාමිණී උඹේ කෙල්ලගෙ වාසනාව කොල්ල හොඳ රස්‌සාවකුත් කරනවා. සරෝජා දුවත් ඇහැට කනට පේන කෙල්ලක්‌ නිසා ඒ මිනිස්‌සු එක පයින් කැමැතියි.

ගාමිණීගේ ඥතියා ගෙන ආ මංගල යෝජනාවට ජීවනී ද කැමැත්ත පළ කළාය.

මගේ කෙල්ල අර යක්‍ෂ ගෑනිගෙන් බේරගන්න පුළුවන්. අපි මේ කටයුත්ත ඉක්‌මන් කරමු.

ජීවනීත් ගාමිණීත් සිය දියණිය කරකාර බන්දා දීමට කැමැත්ත පළ කළහ. සරෝජා විවාහ කරදීමට යන පුවත සැළවීමෙන් නිරූපිකා දැඩි සේ කලබල වූවාය.

උඹලා මගේ කෙල්ලව අමාරුවෙ දාන්න ද හදන්නෙ. මම ඒකට ඉඩදෙන්නෙ නැහැ. සරෝජව කවදාවත් මගෙන් ඈත් කරන්න බැහැ.

දණ්‌ඩෙන් පහර කෑ සර්පයකු මෙන් කෝපාවිෂ්ඨව සිටි නිරූපිකා සිය අසම්මත ප්‍රේමය ජය ගැනීමට සැලසුම් සකස්‌ කළාය. ඒ වන විට සරෝජා ද සිටියේ සිය මිතුරිය ගන්නා තීරණය ක්‍රියාත්මක කරන මතයේය.

අපි අම්මවයි, තාත්තවයි නැති කරලා දාමු. මේ දෙන්නා තමයි හැම වෙලාවෙම අපිට එරෙහි වෙන්නෙ. නිරූපිකා සිය මිතුරිය වූ සරෝජාට යෝජනා කළාය. දෙවරක්‌ නොසිතා ඒ යෝජනාවට කැමැත්ත පළ කළ සරෝජා ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් නිරූපිකාගෙන් ඉල්ලා සිටීමට තරම් සැහැසි වූවාය. හැබැයි අක්‌කෙ මගේ නංගිට මොකුත් කරදරයක්‌ කරන්න බැහැ. එයා තාම පොඩියි. එයා මට ගොඩක්‌ ආදරෙයි. අපි මේ දෙන්නව මරලා දාලා නංගිවත් අරන් කොහේ හරි යමු.

සරෝජා යෝජනා කළාය. එදා නිරූපිකාත් සරෝජාත් පොළොන්නරුවේ සිට නැවත පුල්මුඩේ මහසෙන්පුර බලා එන්නට පිටත් වුණේ ගාමිණී සහ ජීවනී මරා දමන සැලසුම සකස්‌ කරගෙනය.

අප්‍රේල් 19 වැනිදා සවස ඔවුන් නිවසට ගොඩවන්නේ දැඩි තෙහෙට්‌ටුවෙන්ය. එදින රාත්‍රි පිසීම සඳහා අවශ්‍ය ආහාරපාන නිවසට

රැගෙන එන්නේ ද නිරූපිකාය. ඒ වන විට ගාමිණී සහ ජීවනී විනාශ කරන සැලසුම නිරූපිකාගේ සිත තුළ කැකෑරෙමින් තිබිණි.

ගාමිණී මාමෙ අපි දෙන්නා පොඩි අඩියක්‌ ගහන්න යමුද. අද ඇඟටත් ටිකක්‌ අමාරුයි. නිරූපිකා ගාමිණීට යෝජනා කළාය. ඒ වන විට මත්පැන් බෝතලයක්‌ සහ බියර් ටින් එකක්‌ ද  රැගෙනැවිත් සිටි නිරූපිකා ගාමිණී ද කැටිව නිවස පිටුපස කැලයට වැදුණාය.

නිරූපිකාගේ සැලසුම් කිසිවක්‌ නොදැන සිටි ගාමිණී හොඳහැටි මත්පැන් පානය කළේය. ඒ අතරතුර නිරූපිකාගෙන් සතුටක්‌ ලැබීමට ද ඔහු අමතක කළේ නැත.

නිරූපිකා තුළ සැඟවී සිටි යක්‍ෂයා එළියට පැන්නේ ඒ අතරතුරදීය. පදමට මත්පැන් පානය කර සිටි ගාමිණී කැලෑවේ එක්‌තරා ස්‌ථානයක බිම වාඩිවී සිටියේ බඹර මතින්ය. වහාම ක්‍රියාත්මක වූ නිරූපිකා අසල නිවසකින් කැත්තක්‌ ඉල්ලා ගත්තාය. උගුලකට හසුවූ ඌරකු මරා මස්‌ කිරීමට යෑයි පවසා ඉල්ලාගත් කැත්ත රැගෙන නිරූපිකා වහ වහා කැලෑවට රිංගුවාය.

තම අසම්මත ප්‍රේමයට විරුද්ධ වූ ගාමිණී දුටු වහාම නිරූපිකා යක්‍ෂාවේශ වූවාය. හිස බිමට නැඹුරු කරගෙන සිටි ගාමිණී වෙත ගිය නිරූපිකා ඔහුගේ සිරුර දෙපලු වී යන තුරු කැති පහර එල්ල කළාය.

ඝන වනාන්තරය තුළ ගාමිණීගේ නිසල සිරුර සඟවා තැබූ නිරූපිකා සරෝජා සොයා නිවසට ආවාය.

"වැඩේ හරි මම තාත්තව මැරුවා. දැන් ඊළඟ වැඩේ තියෙන්නෙ. අම්මා කොහෙද ඉන්නෙ... නිරූපිකා සරෝජාගේ කනට කෙඳිරුවාය.

අසම්මත ප්‍රේමයෙන් තමන් හැදූ වැඩූ මව් පියන් පවා අමතකව ගොස්‌ සිටි සරෝජා ඊළඟ සැලසුම ක්‍රියාත්මක කිරීමට නිරූපිකාට සහාය වූවාය.

අම්මා නිදාගන්න ගියා. මම කුස්‌සියෙ තියන පොරොව අරගෙන එන්නම්. වැඩේ ඉවරයක්‌ කරලා දාන්න.

හිත් පිත් නැති එකියක්‌ බවට පත්වූ සරෝජා නිරූපිකාට කීවාය. අවසානයේ නිරූපිකා කාමරයේ නිදා සිටි ජිවනී කපා කොටා ඝාතනය කළාය.

ඒ වන විට සරෝජාගේ බාල නැඟණිය ද අවදි වූවාය.

බලන්න නංගි කවුදොa ගෙට පැනලා අපේ අම්මවයි තාත්තවයි මරලා දාලා. අපි ගෙදර හිටියොත් අපිවත් මරලා දාන්න පුළුවන්. ඒ නිසා අපි නිරූපිකා අක්‌කත් එක්‌ක යමු.

සරෝජා සිය නැඟණිය සනහාලමින් කීවාය. නිරූපිකා සිය අසම්මත ප්‍රේමවන්තිය සහ ඇගේ නැඟණිය ද කැටිව කෙළින්ම ගියේ මව මුණගැසීමටය.

අම්මේ ගාමිණී මාමලාගෙන් මට හරි කරදරයි. හැම තිස්‌සෙම මගෙන් සල්ලි ඉල්ලනවා. ඒ නිසා මම ගාමිණී මාමවයි, ජීවනී නැන්දවයි මරලා දැම්මා. මම මේ නංගිලා දෙන්නත් එක්‌ක කොළඹ යනවා. මට සල්ලි කීයක්‌ හරි ඕනෙ.

නිරූපිකා සිදුවූ සියල්ල සිය මවට කීවාය. කුඩා කල සිට මහා දඩබ්බර එකියක වූ සිය දියණියගේ ක්‍රියාකලාපය ගැන මව පුදුම වුණේ නැත. දියණියට දෙන්නට මුදලක්‌ ද ඇය අතේ තිබුණේ නැත.

මෙන්න මේ කරාබු කුට්‌ටම උකස්‌ කරලා කීයක්‌ හරි ගනින්. උඹට දෙන්න මගේ ළඟ සල්ලි නෑනෙ.

නිරූපිකාගේ මව පැළඳ සිටි කරාබු යුගලය ගලවා ඇය අත තැබුවාය. එය රැගෙන නිවසින් පිටවූ නිරූපිකා අවසානයේදී නතර වුණේ ක¹න ප්‍රදේශයේ ඥති නිවසකය.

පසුදා වන විට මුළු මහසෙන්පුරයම ගිනිගෙන තිබිණි. ගාමිණීත් ජීවනීත් මරා දැමූ පුවත ලැව් ගින්නක්‌ මෙන් රට පුරා පැතිර යන්නට විය.

නිරූපිකා ලාබාල තරුණියන් දෙදෙනකු සමග නිවසට පැමිණීම ගැන සැක පහළ කළ ඥතීන් හොර රහසේම ඒ පිළිබඳව ක¹න පොලිස්‌ ස්‌ථානාධිපති ලකී රන්දෙණිය මහතා වෙත දැනුම් දුන්නාය. ඒ වන විට පුල්මුඩේ මහසෙන්පුර ප්‍රදේශයේ සිදුවූ ඛේදවාචකය පිළිබඳව ක¹න පොලිසිය ද දැනුවත්ව සිටියේය.

වහාම ක්‍රියාත්මක වූ ලකී රන්දෙණිය මහතා ඇතුළු නිලධාරීන් නිරූපිකාත්, සරෝජාත් ඇගේ නැඟණියත් අත්අඩංගුවට ගත්හ.

අසම්මත ප්‍රේමය ජය ගැනීමට මවුපියන් මරා ආනන්තරිය පාපකර්මයට උරදුන් සරෝජා පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ සියලු තොරතුරු එසේ වමාරන්නට වූවාය.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, ත්‍රිකුණාමලය නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, පොලිස්‌ අධිකාරි බන්ධුල විජේවර්ධන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පුල්මුඩේ පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. ගණේගොඩ, පොලිස්‌ පරීක්‍ෂක ගුණවර්ධන, උප පොලිස්‌ පරීක්‍ෂක රත්නායක, (45487) සේනාරත්න, ධනුෂ්ක ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

No comments:

Post a Comment