Monday, August 19, 2013

NEWS LANKA - ගුවන් හමුදා සෙබළිය චමෝදි මධුෂිකා වෙඩි තැබීමකින් මිය යැම ලබන මාසයේ විවාහ වෙන්න සිටි අක්‌කා මඟුල් මුදු පවා හදලයි තිබුණේ - සොහොයුරා නදීර සංජන කියයි

මගේ අක්‌කා ලබන මාසේ විවාහ වෙන්න හිටියේ එයාලා මඟුල් මුදු පවා හදලා තිබුණේ. මේ වුණු සිදුවීම ගැන අපට හිතාගන්නවත් බෑ. ත්‍රිකුණාමලය, මාබල් බීච්, වෙරළ තීරයේ පිහිටි නිවාඩු නිකේතනයකදී වෙඩි තැබීමෙන් මියගිය චමෝදි මධුෂිකා ප්‍රේමතිලකගේ සොහොයුරා වන නදීර සංජන ප්‍රේමතිලක එසේ පැවසීය.


විසි දෙහැවිරිදි චමෝදි තිදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වන අතර ඇයට පාසල් වයසේ පසුවන එක්‌ සොහොයුරකු සහ සොහොයුරියක ද සිටිනවා.


ගුවන් හමුදා සෙබළියක වන චමෝදි මාබල් බීච් නිවාඩු නිකේතනයේ පිළිගැනීමේ නිලධාරිනියක්‌ ලෙස සේවය කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගොස්‌ තිබිණි. ඇය සමග එම ස්‌ථානයේ සිටි හේරත් මුදියන්සේලාගේ ශානක කමල් බණ්‌ඩාර නමැති ගුවන් හමුදා සෙබළා ද මෙම වෙඩි පහරට ලක්‌ව මියගොස්‌ තිබිණි. විසිතුන් හැවිරිදි ඔහු ගෙලිඔය පල්ලේඅලුදෙණිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

වෙඩි තැබීම සිදු කොට ඇත්තේ චමෝදි විවාහ වීමට සිටි ඇගේ පෙම්වතා බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති අතර ඔහු ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි ගුවන් භටයෙකි. මොවුන් දෙදෙනාට වෙඩි තබා ඔහුද වෙඩි තබා ගැනීම නිසා බරපතළ තුවාල ලැබ ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කොට ඇත.

මෙම ගුවන් හමුදා සෙබළිය නාවලපිටිය රඹුක්‌පිටිය 2 කණුව ක්‍රවුඩස්‌ලෑන්ඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය ගුවන් හමුදාවට බැඳී වසර එක හමාරක්‌ පමණ බව ඥතීහු පවසති.

අ.පො.ස. උසස්‌ පෙළ හදාරන චමෝදිගේ සොහොයුරා වන නදීර මෙසේද පැවසීය.

අක්‌කා පාසල් ගියේ නාවලපිටිය ඇන්ඩෲ බාලිකාවට. එයා උසස්‌ පෙළට බයෝ සයන්ස්‌ කළේ. අපේ තාත්තාත් යුද හමුදාවේ සේවය කළ කෙනෙක්‌. එයා යාන්ත්‍රික පාබල හමුදාවේ සේවය කළේ. මේ නිසා අක්‌කත් ආසා කළා යුද හමුදාවට බැඳෙන්න.

එයා ගුවන් හමුදාවට බැඳුණා. සතුටින් තමා රාජකාරිය කළේ. ගුවන් හමුදාවේ සේවය කළ ගාල්ලේ අයියා කෙනෙක්‌ එක්‌ක අක්‌කා යාළුවෙලා එයා තමා බඳින්න හිටියේ. ඉෂාන් ප්‍රියදර්ශන කියන ඒ අයියා අපේ ගෙදර ඇවිත් ගියා. මේ දෙන්නගේ වෙඩින් එක කරන්න හිටියේ ලබන මාසේ මඟුල් මුදු පවා හදලා තිබුණා.

අක්‌කා ගිය සතියේ ගෙදර ඇවිත් ගියා. ඒත් කිසි ප්‍රශ්නයක්‌ තිබුණ බවක්‌ කීවේ නැහැ. බඳින්න හිටිය අයියා සිදු කළ වෙඩි තැබීමකින් අක්‌කා මියගිය බවයි අපට ආරංචි වුණේ. මේ සිදුවීම අපටත් හිතාගන්න බැහැ.

චමෝදි මධුෂිකාගේ දෙමවුපියන් අජන්ත ප්‍රේමතිලක හා මාලනී තිලක්‌ යන දෙදෙනා චමෝදිගේ මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස්‌ සිටි අතර මේ කටයුතුවලින් අනතුරුව ඇගේ දේහය නාවලපිටිය නිවසට ගෙන එන බවද ඥතීහු පැවසූහ.

චමෝදිගේ මරණයට සමාන සිද්ධියක්‌ මීට වසර එක හමාරකට පමණ පෙර නාවලපිටිය දොළොස්‌බාගේ මාර්ගයේ සෙම්රොක්‌ ප්‍රදේශයේද සිදු විය. ඇයද ගුවන් හමුදා සෙබළියක්‌ වන අතර විවාහ වීමට සිටි ඇගේ පෙම්වතා වන ගුවන් හමුදා සෙබළාගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ව ඇයද මිය ගියාය.

No comments:

Post a Comment