දකුණේ මහ ඇමැතිකම අරගන්න මම ආණ්ඩුවට එකතු වෙනවා කියලා බොරු ප්‍රචාර යවන්නේ මගේ දේශපාලන ගමන දරාගන්න බැරි කැට කැබිලිති හා ගොම රිටි ටිකක්. මට කියන්න තියෙන්නේ මැක්කොන්ට කොච්චර දැඟලුවත් බෑ බක්කෝ වෙන්න. කොච්චර මිහිරි ගීත කියන්න හැදුවත් කපුටට කවදාවත් බෑ කොහා වෙන්න. රත්තරන් භාජනවලට කවදාවත් ගව තෙල් දාන්නෙ නෑ. ඒ නිසා ගස් නැති රටේ තුත්තිරි ගස් ගස් වෙන්න උඩ පැන්නට බුද්ධික පතිරණ ඒවට අහුවෙන්නෙ නෑ යෑයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පසුගියදා මාතරදී පැවැසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු බර දරුවන් වෙනුවෙන් වියළි ආහාර කට්ටල බෙදා දීමේ වැඩසටහනෙහි ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ගේ සාකච්ඡාවට සහභාගි වෙමින්ය. මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයෙහි මෙම සාකච්ඡාව පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
මගේ දේශපාලන ගමන තුළ මම හරියට ග්‍රීක උපමා කතාවල ඉන්න පීනික්ස් කු=රුල්ලා වගේ. උගේ තියෙන විශේෂත්වය තමයි අල්ලලා ගහල පොඩි කරලා පුච්චලා අළු කළත් අළු ටිකෙන් හරි යළි පණ ගහල නැගිටිනවා. මගේ දේශපාලන ගමනත් ඒ වගේ. මොන බාධක කම්කටොලු ආවත් මම ඒ සියල්ලටම නොබියව මුහුණ දෙනවා. ඉදිරියටත් මට එරෙහි එන ඕනෑම බාධකයක් ආයුබෝවන් කියලා භාරගන්නත් ඒවාට නොබියව මුහුණ දෙන්නත් මම සූදානමින් ඉන්නවා.
දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට කුරුණැගල දිස්ත්‍රික් නායකත්වය ලබා දුන්නේ නැත්තේ කාලයක් තිස්සේ ඉඳන් එතුමා ආණ්ඩුවට එකතුවෙන එක ගැන සාකච්ඡා පවත්වනවා කියලා දැනගෙන සිටිය නිසා බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී කිව්වා. අද දවස වෙනකොට අකුරැස්ස එක්සත් ජාතික පක්ෂ සංවිධායක තනතුර ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙන් මට අහිමි වී තිබූ සියලු තනතුරු යළි ලබාදීම තුළ කියවෙන්නේ පක්ෂ මාරු නොකරන බවට මම ජනතාවට ලෙයින් සහතික කර දුන් පොරොන්දුව පිළිබඳව යෝධ විශ්වාසයක් පක්ෂ නායකත්වය ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය තබා තිබෙනවා.
මට මේ සියල්ලක්ම නැවත ලැබීම තුළ පේන්නේ සත්‍යය කවදා හරි ජය ගන්නවා කියන එක. රෝහණ විඡේවීර මහත්මයා වරක් කිව්වා අප මරා දැමුවද අප නැඟූ හඬ සදා නොමියෙනු ඇත කියලා. සත්‍යය, සාධාරණත්වය වෙනුවෙන් මම නැඟූ හඬ තමයි නැවතත් ජයග්‍රහණය කරලා තියෙන්නේ. අතීතයේ, වර්තමානයේ මෙන්ම අනාගතයේත් මම හැමදාම නෙවෙනස්ව පෙනී සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ වැඩපිළිවෙල දශමයකින්වත් පාවා නොදී ඉදිරියට ගෙන යනවා කියලා අකුරැස්ස මැතිවරණ බල ප්‍රදේශය ප්රමුඛ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවටත් රටේ ජනතාවටත් මම පොරොන්දු වෙනවා.
No comments:
Post a Comment