ඇයට අපි රාණි යැයි කියමු. රාණි ඉපදී හැදී වැඩුණේ නිරන්තරයෙන් යුද බියෙන් මිරිකී, යුද්ධයෙන් බැටකෑ ජනතාවක් ජීවත්වන වවුනියාව දිස්ත්‍රික්කයේ කොනකට වන්නට පිහිටි නෙරියකුලම නම් ගම්මානයේය. සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා ඇයය. සහෝදරයන් දෙදෙනාම විවාහකය. ඔවුන් පදිංචිව සිටින්නේද වෙනමය. ඒ නිසාම රාණි ජීවත් වූයේ මවුපියන්ගේ රැකවරණය යටතේය.
ගොවිතැනෙන් යැපුණු ඒ මාපිය යුවළ යුද ගිනි මැද පවා තම දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදීමට අමතක කළේ නැත. කොතරම් ආර්ථික ගැටලු තිබුණත් ඔවුන් උත්සහ කළේ දරුවන්ගේ නුවණැස පාදන්නටය. ඇය සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේද එබැවිනි. 2012 වසරේදී නෙරියකුලම විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නද ඇයට සාමාන්‍ය පෙළින් අධ්‍යාපන ගමන හමාර කරන්නට සිදුවන්නේ උසස් පෙළ හදාරන්නට තරම් සුදුසුකම් ඇතිව විභාගය සමත් නොවීම හේතුවෙනි.
පාසල් ගමනට එසේ සමුදුන් ඇය වැඩි කාලයක් ගත කළේ නිවසේය. එයද ඇයට ගෙන දුන්නේ කම්මැලි කමකි. ඒ නිසාම ඇය තමන්ට සුදුසු රැකියාවක් සොයා වවුනියාවම පීරුවත් එය ව්‍යර්ථ වූ තැන තීරණය කරන්නේ කොළඹටවත් ගොස් රැකියාවක් සොයා ගන්නටය.
ඇය ඒ තීරණය හිතේ තදකරගෙන කාලයක් තිස්සේම සිටියේ ඒ ගැන දෙමාපියන්ට කීවොත් ඔවුන් ඊට අකමැතිවන බව දැන සිටි නිසාය. ඇය මාන බලමින් සිටියේ කොළඹට පනින්නට මගක් ලැබෙන තුරුය.
ඒ දවස උදාවන්නේ ඉකුත් ජූලි 03 වෙනිදාය. එදා කුකුළාත් අතින් අරගෙනම ඇගේ මවුපියන් නිවසින් එළියට අඩිය තබන්නේ හේනක ඇති රටකජු උගුලන්නට සූදානම්වය. “ටීචර් කිවුවා ඉස්කෝලෙට ඇවිත් හම්බවෙන්න කියල” ඒ යන ගමන් ඇගේ මව එසේ රාණිට පවසන්නට වූයේ පෙරදින දහවල් මුණගැසුණු පාසල් ගුරුවරියක් විසින් රාණිට කියන්්නට යැයි කී පණිවුඩයක් මවගේ මතකයට නැගුණු බැවිනි.
මවුපියන් දෙදෙනා නිවසින් පිටත්ව ගිය පසු ඇය මව විසින් සකසා තිබුණු උදෑසන ආහාරය පවා ගෙන නිවසින් එළියට බසින්නේ උදේ නවයට පමණය. ඒ ඇයට අයත් පා පැදියේ නැගීය. ඇය ඒ යන්නේ වීරපුරම් ගම්මානයේ පදිංචිව සිටින පුංචි අම්මා මුණ ගැසෙන්නටය. ඇය දහවල් ආහාරය ගන්නේද එහිදීය.
පුංචි අම්මාගේ නිවසින් ඇය එළියට බසින්නේ දහවල් 12.30ට පමණය. ඇය එවර යන්නේ සෙට්ටිකුලම - වවුනියාව මාර්ගයේ ඇති කඩමණ්ඩිය වෙතය. එහිවෙළෙදසලක් අසල පාපැදිය නතර කර තබන ඇය වවුනියාව බස් රථයකට ගොඩවන්නේ ඇගේ කොළඹ සිහිනය ඉටුකර ගන්නටය. වවුනියාවෙන් කොළඹ බලා ගමන් ආරම්භ කරන පෞද්ගලික මගී බස් රථයකට ඇය ගොඩවන්නේ සවස 2.30ට පමණය.
“ටිකට් ගන්න” ඇය ළඟට ආ කොන්දොස්තර කොලුවා කීවේය. නමුත් කොළඹට ටිකට්පතක් ගන්නට තරම් මුදලක් ඇය සතුව තිබුණේ නැත. සන්තකයටම තිබුණේ රීලෝඩ් එකකට මව විසින් ඇයට දුන් රුපියල් සියයක් පමණි.
“සල්ලි නැහැ.” ඇය කෙඳුරුවාය. ඒ රුපියල් සියයේ නෝට්ටුවද දිගු කරමිනි.
“කොහේටද යන්නේ?” කොන්දොස්තර කොලුවා ඇගෙන් පෙරළා විමසුවේය.
“කොළඹ” ඇය එසේ පැවැසූ විට කොන්දොස්තර කොලුවා සෙසු මගීන්ට ටිකට් කඩන්නට වූයේ ඇයව අතහරිමිනි.
නැවතත් කොන්දොස්තර තමාගෙන් මුදල් ඉල්ලතියි යැයි සිතමින් ඇය තැතිගෙන සිටියත් රාත්‍රී 11.00 ට බස් රථය කොළඹ පිටකොටුවේ බස් නැවතුම් පොළට පැමිණ නතර කරන තුරුත් කොන්දොස්තර කොලුවා ටිකට් ගන්න යැයි ඇයට කරදර කළේ නැත.
බස් රථය පිටකොටුවේ නතර කරනවාත් සමග එහි ආ මගීන් තෙරපෙමින් බසින්නට වූයේ තරගයකට මෙනි. ඇයට ඒ ගැන නිච්චියක් නැති තරම්ය. තමන් මේ අවුත් සිටින්නේ පෙරුම්පුරාගෙන සිටි කොළඹ රටට බව ඇයට නොදැනුනාය. කලබලවී කොළඹට පැමිණි තමා මේ රෑ ගතකරන්නේ කොහේදැයි ඇය කල්පනා කරමින් සිටියාය.
“කොළඹ ඇවිල්ල ඉන්නේ. මෙතැනින් එහාට බස් එක යන්නේ නැහැ.” මගීන් සියල්ල බසිනකම් බලා සිට අවසානයේදී ඇය බස් එකෙන් නොබසින තැන කොන්දොස්තර කොලුවා ඇය අසලට ගොස් කීවේය.
ඇය උඩ බිම බැලුවා මිස ඊට කිසිවක් නොකීවාය.
“කොහේද යන්නේ?” කොන්දොස්තර ඇගෙන් විමසුවේය. ඒ දෙමළ භාෂාවෙනි.
“යන්න තැනක් නැහැ.” ඇය කීවාය.
“එහෙනම් කොළඹ ආවේ?”
“රක්ෂාවක් හොයාගෙන” ඇය පැවැසුවාය.
“මෙහෙ රක්ෂාවල් හොයන එක ලේසි නැහැ. මේ වෙලාවේ යන්න තැනකුත් නැති එකේ අපිත් එක්ක ඉන්න. උදේට අපිත් එක්කම ආපහු වවුනියාවේ යන්න පුළුවන්.” කොන්දොස්තර කොළුවා ඇයට ඒ යෝජනාව ගෙන ආවේ හරියට සහෝදරයකු ලෙසිනි.
ජීවිතේට ගෙන්දගම් පොළොවට අඩියක් තබා නැති ඇය ගෙන්දගම් පොළොවේ අයියලා ගැන කිසිවක් දැන සිටියේ නැත. යන්න එන්න තැනක් නැතිව සිටි ඇයට ඒ අයියලා ගැන අවබෝධයක් ගන්නට තරම්වත් සිතුවිල්ලක් නොවීය. කොන්දොස්තර කොලුවාගේ යෝජනාව ගැන ඇය දෙවරක් සිතන්නට නොගියේ ඒ නිසාය. ඇය සිතුවේ මෙය හුදෙක් සහෝදර කැක්කුමෙන් කරන ලද ආරාධනාවක් ලෙසිනි. ඒ ආරාධනාව ඇය පිළිගත් වහා කොන්දොස්තර කොලුවා ඇයට බස්රථයේ මැද පේලියක ඇති, මගීන් තුන් දෙනෙකුට ගමන් කරන්නට හැකි අසුනක් පෙන්වමින් ඒ අසුනට යන ලෙස පවසා බස් රථයේ දොරවල් වසා රියැදුරාද සමග ඉන් පිටතට යන්නට වූයේ බස් රථයේ විදුලි පහන්ද නිවා දමාය. ඒ ඔවුන් කෑමට යන බව ඇයට පවසාය.
ඒ ගොස් විනාඩි පහළොවක්වත් ගත නොවීය. කොන්දොස්තර කොලුවා නැවත බස් රථයට ගොඩ වූයේය. ඒ උණු උණුවේ කිරිතේ කෝප්පයක්ද ගෙනය. එම තේ කෝප්පය ඇය අතට දී බස් රථයෙන් නැවත බිමට බසින කොන්දොස්තර කොලුවා ආයිමත් එහි එන්නේ කලිසම වෙනුවට සරමක් ඇඳගෙනය. ඒ පැමිණි ඔහු ඇය අසල හිඳගන්නේ ඇයව බදාගෙන අසුන මත ඇයව පෙරළාගෙන මුහුණ සිප ගනිමිනි. ඇය ඊට එරෙහි වෙමින් ඔහු සමග පොර බදා කෑ ගසන්නට ගන්නවාත් සමග “කෑ ගහන්න එපා .එළියේ පොලීසියෙන් ඉන්නව“ යැයි ඇයව බියගන්වන්නට වූයේ ඇය වවුනියාවේ සිට කොළඹට ආවේ ඇයි දැයි කියා පොලීසිය අල්ලාගෙන යාවි යැයිද පවසමිනි. ඒ නිසාම ඇය නිහඬ වූවාය. ඒ කොන්දොස්තර කොල්ලාට අවනත වෙමිනි. ඔහු ඒ මහ රැයේ කරන්නට ඇති හැමදෙයක්ම කරමින් සිත්සේ ඇගෙන් සිය ආශාවන් ඉටු කරගත්තේය.
කොන්දොස්තර කොලුවා අවසානයේ ඇයව තනිකර බස් රථයෙන් පිටට යන්නේ පැයකට පමණ පසුවය. ඇය සිතන්නේ එතැනින් සියල්ල හමාර බවය. එහෙත් ඊළඟ වටයේ ඇය ළඟට එන්නේ රියැදුරාය. ඒ අතවනාගෙන නොව ඇයට බත් පාර්සලයක්ද රැගෙනය. පාන්දර එකට පමණ ඔහුද බත් පාර්සලයක් රැගෙන එන්නේ ඇයට ඇති ආදරයකට නම් නොවේ.
ඒ වන විට කොන්දොස්තර කොලුවා සමග ඔට්ටු වී හෙම්බත්ව සිටි ඇයට කෙලින් කටින් සිටින්නටවත් පණක් තිබුණේ නැත. අසරණව සිටි ඇයට රියැදුරාගෙන්ද නිදහසක් නොවීය. ඔහු ඇයට අතවර කරන්නට සූදානම් වෙද්දී ඇය කෑමොර දෙන්නට ගත්තේ තවත් පිරිමියකු සමග සිටින්නට තරම් ශක්තියක් ඈට නොවූ බැවිනි. ඇය කෑ ගැසුවේ බස් රථයේ බඳටද තඩිබාමිනි.
“මොකද? මොකද මේ?” එසේ කියාගෙන වසා තිබුණු දොර විවර කරගෙන එකවරම බස් රථයට ගොඩවන්නේ තරමක උස මහත තරුණයෙකි. ඒ තරුණයා දුටු විට රියැදුරා තැතිගත්තේය. බස් රථයෙන් බිමට රියැදුරාව එළවා දැමූ ඒ පුද්ගලයා විලි වසා ගන්නට ඇයට මොහොතක් ඉඩ දුන්නේය.
“ඇයි නංගි ඔයා මේ වෙලාවේ මේ වගේ තැනක?” ඒ පුද්ගලයා ඇගෙන් ඒ ආකාරයෙන් විමසන්නට වූයේ කාරුණිකවය. ඒද දෙමළ භාෂාවෙනි.
“රක්ෂාවක් හොයාගෙන” ඇය ඔහුට සියල්ල විස්තර කළාය.
“ඔය විදිහට කොළඹ ඇවිල්ල රක්ෂා හොයාගන්න බැහැ. ඔයා දැනටමත් අමාරුවේ වැටිලයි ඉන්නේ. ඒ නිසා ඔයා ගමේ යන්න. උදේට මේ බස් එක වවුනියා යනවා. ඔයා මේකෙන්ම වවුනියා යන්න” ඒ පුද්ගලයා එසේ පවසමින් ඇයට බස් රථයේම නිදාගන්නැයි කියා බැස යන්නට වූයේ ඇයට කරදර කරන්නට නැවත කිසිවෙකුත් නොපැමිණෙන බවට සහතිකයක්ද දෙමිනි. ඒ පුද්ගලයා ඇයට පවසන්නට වූ ආකාරයට අනුව ඔහු මුස්ලිම් ජාතිකයෙකි. පෙනුම අවුරුදු තිහක තිස්පහකය. ඔහු නමක් ගමක් වත් කීවේ නැත. ඔහු කීවේ ඇගේ ආරක්ෂාව තහවුරුකර ඇති බවක් පමණි. ඔහු කී ලෙසම උදෑසන වනතුරුම ඇගේ ඇඟට අතක් තබන්නට කිසිවෙකුත් ළංවූයේ නැත. කොන්දොස්තර කොලුවා සහ රියැදුරා බස් රථයට ගොඩවන්නේ උදේ අටට පමණය. ඒ ඔවුන්ගේ ගමන් වාරයට සූදානමිනි.
පෙර දිනයේ සිට ඇය අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් සෙට්ටිකුලම පොලීසියේ ලියැවී ඇති බව ඇය දැනගන්නේ වවුනියාවට ගිය පසුවය. ඒ පැමිණිල්ල පොලීසියට කර තිබුණේ ඇගේ දෙමාපියන්ය. වවුනියාව බස් පොළෙදීම ඇගේ මාමා කෙනකු ඇයව අල්ලාගෙන යන්නේ පොලිසියටය. රක්ෂාවක් සොයා කොළඹ ගිය ඇය බස් රථයක් තුළදී දූෂණය වූ බව හෙළිවන්නේ එහිදීය. අවුරුදු දහසයක් වයසැති ඇයට කළ ඒ අපරාධය ඒ අනුව සෙට්ටිකුලම පොලීසියේ ලියැවෙන්නේ ළමා ස්ත්‍රී දූෂණයක් ලෙසිනි.
පිටකොටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජේ. ප්‍රියන්ත මහතාගේ මෙහෙයැවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්පරීක්ෂක එම්.යූ.එන්.පී. ජයරත්න, ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා රුවන් පතිරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්ව පරීක්ෂණ පවත්වන්නට වූයේ ඇයට ඒ අපරාධය කළ බස් කොන්දොස්තර සහ රියැදුරා කොටුකරගන්නටය. ඒ සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාසයභාර පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන සහ සහකාර පොලිස් අධිකාරී ජයරත්න මනම්පේරි යන මහත්වරුන්ගේ උපදෙස්ද ලැබෙන්නට විය. සියලු තොරතුරු සැලකිල්ලට ගනිමින් බස් රථයේ කොන්දොස්තර සහ රියැදුරුව පිටකොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදටය.
මෙය කොළඹ නගරයේ මේ ආකාරයට සිදුවූ එකම හා අවසාන ස්ත්‍රී දූෂණය නොවේ. කොළඹ නගරයේ අනාරක්ෂිත වන බොහෝ තරුණියන්ට මේ ඉරණමට මුහුණ දෙන්නට සිදුවන බව තතුදත්තෝ පවසති. බියක් සැකක් නොමැතිව බස් නැවතුම් පොළකදී තරුණියක් දූෂණය කරන්නට එම කොන්දොස්තර සහ රියැදුරා පෙළඹුණේ ඒ නිසාය. ඇය කෑමොර නොදෙන්නට ඇයව තවත් කිහිප දෙනකු අතින් අත යාමට තිබුණු ඉඩකඩ බොහෝය.
No comments:
Post a Comment