Thursday, July 11, 2013

Best News - මරණාසන්න අත්දැකීමක අඩංගු අංග දහයක්

shareddeath
මරණාසන්න මොහොතකදී අපේ සිත අපේ කයෙන් නික්ම යාමක් වැනි හැඟීමක් ඇති විය හැකි බව මීට පෙර විස්තර කළෙමු. නමුත් මරණාසන්න අත්දැකීමක් (Near death experience) යනු ඉහත කී පරිදි ශරීරයෙන් පරිබාහිර අත්දැකීමක් (Out of body experience) නොවේ. මරණාසන්න මොහොතකදී අපේ සිත අපේ කයෙන් නික්ම යාමක් වැනි හැඟීමක් ඇති විය හැකි බව මීට පෙර විස්තර කළෙමු. නමුත් මරණාසන්න අත්දැකීමක් (Near death experience) යනු ඉහත කී පරිදි ශරීරයෙන් පරිබාහිර අත්දැකීමක් (Out of body experience) නොවේ. මරණාසන්න තත්ත්වයට පත්ව නැවත සුවය ලැබූ අය එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් විවිධ අයුරින් විස්තර කරති. එබඳු රෝගීන් සිය ගණනක් පරීක්ෂා කර බලා ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා රැස්කරගත් තොරතුරු පදනම් කර ගනිමින් විවිධ
පර්යේෂකයන් විසින් නොයෙකුත් ආකාරයේ මරණාසන්න අත්දැකීම් මාලාවක් ලැයිස්තු ගත කර තිබේ. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ 1980 වසරේදී කෙනත් රින්ග් (Kenneth Ring) නම් පර්යේෂකයා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද මරණාසන්න අත්දැකීම් දහයකින් සමන්විත වූ Weighted core 
experience index නම් වූ විස්තර මාලාවයි. 

මරණාසන්න තත්ත්වයට පත්වී නැවත සුවය ලැබූ රෝගීන් සිය ගණනකගෙන් තොරතුරු ලබා ගැනීමෙන් පසු එම රෝගීන් විසින් අත්දකිනු ලැබූ මූලික අංග දහයක් මෙහිදී කෙනත්
රින්ග් පර්යේෂකයා හඳුනා ගෙන තිබේ. ඒ අනුව මරණාසන්න අත්දැකීමකට මුහුණ දෙන අයකුට අත්දැකිය හැකි එම අත්දැකීම් දහය කුමක්දැයි අපි විමසා බලමු.

1. තමා මිය යන බවට රෝගියා තුළ ඇති වන හැඟීම
ඒ මොහොතේදී තමා මෙලොව සමග ඇති සියලුම බැඳීම්වලින් නිදහස් වන ආකාරයක් රෝගියා තුළ ජනිත වේ. තමන්ගේ බිරිඳ, දරුවන් නෑදෑ හිතමිතුරන් මේ කිසිවෙක් හා තමාට කිසිදු සම්බන්ධයක් නැති බව රෝගියාට හැඟී යයි.
2. සැනසිලිදායක සිතුවිලි ඇතිවීම
තමන්ගේ සිතට සහ කයට මනා සුවයක් හා සැහැල්ලුවක් දැනෙන්නට පටන් ගනී. සියලු දේ ඉතාමත් සාමකාමී වන බවත්, සියලු දේ වේදනාවෙන් තොර බවත් දැනෙයි. මේ අනුව සිතට සැනසිලි සුවයක් දැනෙන අතර අනිකුත් දේ පිළිබඳ සිතේ තිබුණු බිය සම්පූර්ණයෙන්ම දුරුවෙයි.
3. ශරීරයෙන් පරිබාහිර අත්දැකීම්
මෙහිදී තමා සිරුරෙන් ඉවත් වී වෙනත් ස්ථානයකට ගමන් කරන්නාක් මෙන් හැඟෙනු ඇත. සමහර රෝගීනට තමන් සිටින කාමරයේ උස් ස්ථානයකට වී සයනයේ වැතිර හිඳින තම සිරුර දෙස බලා සිටීමට හැකියාව ලැබේ. එපමණක් නොව අවට පරිසරයේ ඇති වෙනත් ස්ථාන කරා ගමන් කිරීමටද, අනෙකුත් පුද්ගලයන් කරන දේ ඇතුළු නොයෙකුත් දෑ දැක බලා ගැනීමටද අවස්ථාව ලැබේ. එවැනි අවස්ථාවලට මුහුණ දී නැවත සුවය ලැබූ අය බොහෝ විට සඳහන් කරන්නේ අවසානයේදී තමාට තම සිරුර තුළට ඇතුළු වීමට හැකියාව ලැබුණු බවය.
4. උමං මාර්ගයකට ඇතුළු වීම
මරණාසන්න තත්ත්වයට පත් වූ තවත් සමහර අයට තද අඳුරකින් යුත් උමගක් තුළට ඇතුළු වන බවට හැඟීමක් ඇතිවේ. බොහෝ විට ශරීරයෙන් පරිබාහිර අත්දැකීම් ලබන අය මඳ වෙලාවක් ඉහළ අවකාශයේ පාවෙමින් හිඳ මෙවැනි උමං මාර්ගයකට ඇතුළු වන බවට විස්තර කරති. ඔවුන් බොහෝ දෙනකු සඳහන් කරන්නේ එම උමං මාර්ගයේ ඈත කෙළවරක දීප්තිමත් ආලෝකයක් දක්නට ලැබුණු බවය.
5. ආලෝකයක් ඇති තැනකට ගමන් කිරීම
බොහෝ දෙනෙක් මරණාසන්න අවස්ථාවේදී ඉතා දීප්තිමත් හා උණුසුම් ආලෝකයකින් පිරුණු තැන්වල මරණාසන්න අත්දැකීම් ලබා ඇති බව මෙම පර්යේෂණවලදී තහවුරු කර ගත හැකි විය. එබඳු ස්ථානවල සිටි මිනිසුන් පවා තද දීප්තියකින් යුතු බවත් ඔවුන් ඉතා සුහදශීලී බවත් මෙම අත්දැකීම් ලැබූ රෝගීන් විස්තර කර ඇත.
6. විවිධ වර්ණවලින් යුතු ස්ථානවල අත්දැකීම් ලැබිම
මෙම පර්යේෂණවලදී පැහැදිලි වූ අන්දමට තවත් බොහෝ දෙනකු විවිධ වර්ණයන්ගෙන් යුතු එළිමහන් තැන්වල අත්දැකීම් ලබා තිබිණි. වෛවර්ණ මලින් යුතු උද්‍යානවල සැරිසරමින් අත්දැකීම් ලැබිම මරණාසන්න තත්ත්වයට පත් වී සුවය ලැබූ බොහෝ දෙනකු විසින් විස්තර කර තිබූ අත්දැකීමක් විය.
7. සුන්දර වූ ස්ථානවල සැරි සැරීම
මරණාසන්න අත්දැකීම් ලෙස අතිශයින් රමණීය වූ කඳු ගැට, මිටියාවත්, ගංගා ඇළදොළ ආදි සුන්දර තැන්වල සැරි සැරූ රෝගීහුද සිටියහ.
8. මියගිය පුද්ගලයන් හමුවීම
මරණාසන්න මොහොතේ දී තමාට, ඊට පෙර අවස්ථාවලදී මියගිය තම දෙමාපියන් හෝ පවු‍ලේ සමීපතම ඥාතීන් හිතවතුන් හමුවීමටත් ඔවුන් සමග කතා කිරීමටත් අවස්ථාව ලැබුණු බව සමහර රෝගීන් පවසා තිබිණි. එවැනි අවස්ථාවලදී එම මියගිය පුද්ගලයන් හා කියූ සහ ඔවුන් විසින් කරන ලද බොහෝ දේවල්ද මෙම රෝගීන් විසින් පසුව විස්තර කර තිබිණ.
9. ජීවිත ප්‍රත්‍යක්ෂණය (Life review)
මෙහිදී සමහර අයකුට ඔවුන් ජීවිත කාලය පුරා කළ නොයෙකුත් හොඳ සහ නරක දේ පිළිබඳ මතකයට නැගීම සිදුවේ. තමන් කළ යහපත් ක්‍රියා ගැන මෙනෙහි කිරීමෙන් ඊළඟ භවය ඉතා යහපත් ස්ථානයක උපත ලබන බව බුදු දහමේ විශ්වාසයයි.
10. සිතුවිලි පරිනාමය වීම
අප බොහෝ දෙනකු දන්නා පරිදි මරණාසන්න තත්ත්වයට පත්වී නැවත සුවය ලැබූ අය තමන් සිතන පතන ආකාරයේ පවා විශාල වෙනසක් ඇති කර ගනිති. ජීවිතයේ විවිධ දේවල් පිළිබඳ නොයෙකුත් පැතිකඩ මගින් බලන්නට උත්සාහ දරති. තමන් හැමදාමත් දුටු දෙයක් වෙනත් ආකාරයකට අත්දකින්නට උත්සාහ දරනු ඇත. බොහෝ දෙනා තමන්ට ජීවත් වන්නට ලැබූ දෙවැනි වරමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට වෙර දරති.
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ලබන සතියේ තවත් තොරතුරු කතා කරමු

No comments:

Post a Comment