හම්බන්තොට හෙද අභ්‍යාස විදුහලේ ආචාර්යවරයකු එම විදුහලේ හෙද සිසුවියන්ට ලිංගික අඩන්තේට්ටම් කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.
මෙම ගුරුවරයා නිසා හෙද විදුහලේ ගරුත්වය සහ විනය පවත්වා ගැනීම ගැටලුවක්ව ඇතැයිද එම නිසා මොහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙසද ඉල්ලා අමාත්‍යංශය වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ එම හෙද විදුහලේ බලධාරියකු විසිනි.
අදාළ ගුරුවරයා හෙද සිසුවියන්ගේ නේවාසිකාගාර වෙතද ගොස් තමන් සමඟ එක්නොවන්නේ නම් විභාග අසමත් කරන බවත්, පුහුණුවීම්වලදී ප්‍රශ්න ඇතිකරන බවටත් තර්ජනය කරමින් එම සිසුවියන් වරදට පොළඹවා ගැනීමට තැත් කරන බවද පැමිණිල්ලේ සඳහන් වෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින"ට කීවේය.
ඔහුගේ තර්ජනවලට බියපත්ව ඇතැම් හෙද සිසුවියන් මෙම ගුරුවරයාට අවනත වන බවද ඔහු විසින් එකී හෙද සිසුවියන් මත්පැන් පානය කිරීමට පවා පොළඹවන බව පැමිණිලිකරුවන් පවසන බව ඉහත නිලධාරියා කීවේය.
මෙම ගුරුවරයාගේ ලිංගික අඩන්තේට්ටම් වලට ලක්වූ එක් හෙද සිසුවියක් මේ වනවිට බරපතළ මානසික ආතතියට ලක්ව ගාල්ල කරාපිටිය රෝහලේ මානසික වෛද්‍ය අංශයෙන් ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවද හෙතෙම කීය.
මෙම ගුරුවරයා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතත් ඔහුට එරෙහි විනය පරීක්ෂණ නොපවත්වන්නැයි සෞඛ්‍ය සේවයට සම්බන්ධ එක් වෘත්තීය සමිති නායකයකු බලපෑම් කරන බවද පෙරකී නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment