Saturday, June 15, 2013

පොට්ටු අම්මාන් තවම ජීවතුන් අතරද?

Pottu-Ammanපොට්ටු අම්මාන්ට මොකද වුණේ? ‍පොට්ටු අම්මාන් තවමත් ජීවතුන් අතරද? ඇතැමෙක් අසති. කාලයකට පසු දැන් නැවතත් මේ හිටපු කොටි නායකයා ගැන කතාබහක් ඇතිව තිබේ. ඊට හේතු වූයේ ‍පොට්ටු අම්මාන්ගේ මෑතක ගත් ඡායාරූපයක් බව පැවැසුණු සේයාරුවක් කොටි හිතවාදී වබේ අඩවි තුළ සංසරණය වන්නට පටන් ගැනීමත් සමගය.
ෂන්මුගලිංගම් ශිවශංකර්  යැයි පැවැසුවාට හඳුනන්නේ නැති බොහෝ දෙනා ‍පොට්ටු අම්මාන් යැයි කියූ සැනින් හඳුනති. ඒ වෙන කිසිවක් නිසා නොව එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ජාලයේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ‍පොට්ටු අම්මාන්ට ලැබි තිබූ ප්‍රසිද්ධිය නිසාය.
මෙතරම් බුද්ධි ප්‍රබලයකු වුවත් 2009 මැයි 18 දා වෙල්ලමුල්ලිවයිකාල් අවසන් ගැටුමෙන් කොටි ත්‍රස්තවාදීන් සිවුවැනි ඊළාම් සටන පරාජය වීම වැළැක්වීමට ‍පොට්ටු අම්මාන්ටද නොහැකි වූවේය. ‍පොට්ටු අම්මාන් ඇතුළු කොටි රැළට නායකත්වය දුන් වේලුපිල්‍ලේ ප්‍රභාකරන් පවා මැයි 19 වැනිදා මරු තුරුළට යෑම වැළැක්වීමට ‍පොට්ටු අම්මාන්ට කළ හැකි දෙයක් නොවීය.

රජයේ හමුදාව කොටි ත්‍රස්තවාදීන්ගේ අවසන් බළකොටුව වූ වෙල්ලමුල්ලිවයිකාල් සිය යටතට ගත්තේ දැඩි ප්‍රහාර මාලාවකින් පසුවය. කොටි නායකයන්ගේ මළ සිරුරු තැන තැන වැටී තිබිණි. ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයද වුවේය. නමුත් ඒ සිරුරු අතර ‍පොට්ටු අම්මාන්ගේ සිරුර පමණක් තිබුණේ නැත.‍පොට්ටු අම්මාන් කෝ ? ‍පොට්ටු අම්මාන්ගේ මළ සිරුර කෝ ? වැනි ප්‍රශ්න සමාජය තුළ පැතිරෙන්නට පටන් ගත්තේ ඉන්පසුවය.
‍පොට්ටු අම්මාන් අප්‍රිකානු රටකට පැනගොස් වෙස්වලාගෙන ජීවත්වනවා යැයි කතාවක් ප්‍රචලිත වූයේ ඒ අතරය. ඒ සඳහා සාක්ෂියක් නැතත් සමාජයේ ‍පොට්ටු අම්මාන් ගැන තිබෙන කුතුහලය දිනෙන් දින ඉහළ ගියේය.
පසුගිය 10 වැනිදා එල්.ටී.ටී.ඊ. හිතවාදී වබේ අඩවියක් ‍පොට්ටු අම්මාන් දරුවකු වඩාගෙන සිය බිරිඳ සමග සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කළේය. එකම ස්ථානයේදී ගත් ඉතා කුඩා වෙනස්කම් සහිත ඡායාරූප දෙකක් එතැන තිබිණි.
මේ ඡායාරූප සමග අමුණා තිබූ කොටි හිතවාදී වබේ අඩවි කතාවේ සඳහන් කර තිබුණේ ‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින බවයි. හමුදාව පවා ‍පොට්ටු අම්මාන් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත්, ‍පොට්ටු අම්මාන්ගේ මළ සිරුර හමුදාවට හමුවූයේ නැති බවත් එහි සඳහන් විණි.
එල්.ටී.ටී.ඊ. හිතවාදී වබේ අඩවි පළ කළ මේ කතාව මේ වනවිට ලොකු ආන්දෝලනයක් ඇති කර අවසන්ය.මේ කියන ආකාරයටම  ‍පොට්ටු අම්මාන් තවමත් ජීවතුන් අතරද ? කෙසේ වෙතත් ‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින්නේ නම් නිසැකවම ඔහු මේ වනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් යම් ප්‍රකාශයක් හෝ නිකුත් කරනවාට සැක නැත.
ප්‍රභාකරන් අස්වසාලීමට මරාගෙන මැරෙන ප්‍රහාර මෙහෙයවූ ‍පොට්ටු අම්මාන්ට කොටි සංවිධානයට තිබෙන අයිතිය වැඩිය. ඒ බව තේරුම් ගැනීමට ඔහුට පටබැඳි අන්වර්ථ නාමයම කදිම නිදසුනකි. ‍පොට්ටු නැමැති නාමයට අම්මාන් නැමැති ගෞරව නාමයක් ද ලැබුණේ ඒ නිසාය. අම්මාන් යන්නෙන් දෙවියන් මෙන් පුදන සහ ගෞරව කරන යන අදහසක් ගම්‍ය කෙරෙන්නේ යැයි ලියුම්කරුට කීවේ එල්.ටී.ටී.ඊ. යේ කලක් එවැනිම ප්‍රබලයකු වූ කරුණා අම්මාන්ය.
pottuවෙබ් අඩවිවල තිබූ ඡායාරූපය

‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටිනවාය වැනි අදහසක් පළ කරමින් එහි වාසිය දිනා ගැනීමට උත්සාහ කරමින් සිටිනුයේ කොටි ඩයස්‍පෝරාවය. ඔවුන් කලින් කලට මෙවැනි සංවාද
කරළියට ගෙනෙති. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට අතේ පැලවෙන කෙප්පයක් ප්‍රචලිත කිරීමට උත්සාහ දැරුවේද ඔවුන්ය. ‍පොට්ටු අම්මාන් පිළිබඳ කතාව ඊට වඩා කුතුහලයක් ඇති කළේ ඔහුගේ මළ සිරුර ආරක්ෂක අංශවලට හමු නොවූ නිසාය.
ඒ කෙසේ වෙතත් ‍පොට්ටු අම්මාන් සම්බන්ධයෙන් පළවන කතාවේ ඇත්ත නැත්ත සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැහැදිලි ප්‍රකාශයක් කළේය.
“දෙමළ ඩයස්‍පෝරාව නොමග යවා ඊළාම් සිහිනය ඔවුන්ගේ සිත්වල රඳවා තබා ගැනීමට උත්සාහ කරන එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් ‍පොට්ටු අම්මාන්ගේ බව සඳහන් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. එසේ වුවත් ‍පොට්ටු අම්මාන් මියගිය බව හමුදා බුද්ධි අංශ තහවුරු කර ඇතැයි” හමුදා ප්‍රකාශකවරයා පැවැසීය. ඒ නිසා ‍පොට්ටු අම්මාන් මියගිය බව විශ්වාසනීය ලෙස පැවැසිය හැකි බව ඔහු කීවේය.
හමුදා බුද්ධි අංශ තොරතුරුවලට අනුව කොටි බුද්ධි අංශ නායක ‍පොට්ටු අම්මාන් මියගොස් ඇත්තේ 2009 මැයි 12-18 අතර දිනෙකය. ඔහු හමුදා ප්‍රහාරවලින් වෙඩි වැදී මියගිය බව හමුදා බුද්ධි අංශයට තහවුරු කර ඇත්තේ ‍පොට්ටු අම්මාන්ව හොඳින් හඳුනන ඔහුගේම සහචරයන්ය.
කෙසේ වෙතත් ‍පොට්ටු අම්මාන්ගේ අවසානය කෙසේ වීද යන්න ගැන මේ තරම්වත් නිශ්චිත අදහසක් මෙයට පෙර ඉදිරිපත් වූයේ නැත.
කෙසේ වෙතත් ‍පොට්ටු අම්මාන් මරුමුවට පත් වූයේ නම්, එල්.ටී.ටී.ඊ. යේ රහස් රැසක්ද ඔහු සමග මියගියා විය යුතුය. නමුත් ඔහුගේ බිරිඳ හා දරුවන් තිදෙනාට සිදුවුයේ කුමක්ද ? එල්.ටී.ටී.ඊ වබේ අඩවි හෝ වගකිවයුත්තන්ට ඒ ගැන එතරම් පැහැදිලි අදහසක් නැත.


‍පොට්ටු අම්මාන්ගේ වග තුග
1981 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක්වූ ‍පොට්ටු අම්මාන් කොටි සාමාජිකයකු ලෙස පුහුණුව ලැබුවේ තමිල්නාඩුවේ වේදරාන්යම් කඳවුරේදී බව අන්තර්ජාල තොරතුරුවල සඳහන්ය. ඔහු සමග කොටි සංවිධානයට එක්වූ සගයා වූයේ සුසෙයිය. පසුකලෙක සුසෙයිද මුහුදු කොටි නායකයා වූයේය.
‍පොට්ටු අම්මාන් වඩා ප්‍රසිද්ධවූයේ කොටි බුද්ධි අංශ ප්‍රධානියා ලෙසය. නමුත් ‍පොට්ටු අම්මාන් ඊට සීමා වූවෙකු නොවීය. ඔහු කළු කොටි බළකායේ ප්‍රධානියාද විය. කළු කොටින් ලෙස හැඳින්වූයේ එල්.ටී.ටී.ඊ. යේ මරාගෙන මැරෙන කණ්ඩායමයි. ඒ අනුව මරාගෙන මැරෙන මිනිස් බෝම්බ එල්.ටී.ටී.ඊ. යට හඳුන්වා දුන්  තැනැත්තා ලෙසද ඔහු හැඳින්වීමට බැරිකමක් නැත.
ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය සහ ජනපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය ඇතුළු ‍පොට්ටු අම්මාන්ගේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සඳහා ඉලක්ක වු දේශපාලනඥයන්, ආරක්ෂක ප්‍රධානීන්, සිවිල් වැසියන් ගණන සිය දහස් ගණනකි.
යුද්ධය පැවැති සමයේ ‍පොට්ටුගේ බුද්ධි ගෝලයන් කොළඹ ඇතුළු දකුණේ ප්‍රදේශ කිහිපයක වෙස් වලාගෙන බුද්ධි තොරතුරු සෙව්වේය. රජය කරන්නට යන්නේ කුමක්දැයි පවා ‍පොට්ටු අම්මාන් එකල කලින් දැන සිටි බව කියයි.
එතරම් ප්‍රබල කොටි නායකයකු වුවද ‍පොට්ටු අම්මාන් මාධ්‍ය හමුවට පැමිණියේ අඩුවෙනි. ඒ ඔහුගේ කාර්යය අප්‍රසිද්ධියේ ඉතා සුක්ෂමව ඉටු කිරීම සඳහා විය යුතුය.


---- copy - lakbima news paper 

No comments:

Post a Comment