මාතලේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සේවය කරන ගුරුවරියන් පස් දෙනෙකු ගණිකා වෘත්තියේ නිරතවෙමින් සිසුවියන්ද එම වෘත්තියේ යොදවන බවක් මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ආචාර්ය ටී.ඩී.ජයතිස්ස මහතා විසින් පසුගිය සතියේ කරන ලද්දා වූ හෙළිදරව්ව මුළුමහත් රටක්ම තැතිගන්වන්නක් වූ බව අමුතුවෙන්ම සඳහන් කළ යුත්තක් නොවේ.
ඒ හෙළිදරව්ව සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්නට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පවා විශේෂ කණ්ඩායමක් මාතලේට ගොස් ඇත්තේ එබැවිනි. එසේම පැමිණිල්ලක් නැතත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවා මේ ගැන සොයා බැලීමක් දැනටමත් කර ඇත්තේ එම කාරණාවෙහි වූ බරපතළකම සලකා බලමිනි. ඒ මතෛක් ඉතිහාසයේ මෙවන් අශිෂ්ට ගුරු ගෝල සම්බන්ධයක් ගැන අසා නොතිබුණු බැවිණි.
අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පමණක් නොව, පොලිස් ළමා හා කාන්තා කාර්යංශයද මෙහිදී ඇස් කන් පියාගෙන සිටියේ නැත. ඔවුන්ද ඒ ගැන වෙනමම විමර්ශනයක් ඇරඹුවේ රටේ අනාගතය බාරගන්නට සිටින මල් කැකුළු විනාශ කරමින් ගණිකා මඩමකට දක්කන ගුරුවරියන් කවුරුන්දැයි හඳුනාගන්නටත්, ඔවුන්ට දිය හැකි උපරිම දඬුවම් දෙන්නටත් සිතාගෙනය.
ඒ අතර මාතලේ පොලිස් ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතාද මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේය. මාතලේ මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති රණවීර මහතා ප්රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඒ ගැන විමර්ශනයක් කරන්නට පියවර ගත්තේ ඒ නිසාය. ඒ රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම හෙළිදරව්ව කළාවූ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ ප්‍රධාන පුටුවල මේ අයද සිටි බැවිනි.
රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එදා ඒ හෙළිදරව්ව කරමින් එකී පාසලේ සිසුවියන් අතර සිදුවන අසම්මත ලිංගික හැසිරීම් ගැන මෙන්ම එම විද්‍යාලයේ සිසුවියන් කිහිප දෙනෙකු ගැබ් ගැනීමක් ගැනද කියා තිබුණේ පාසලේ විදුහල්පතිනියටද දොස් නගමිනි.
අසම්මත සම්බන්ධකම් සහ සිසුවියන් ගැබ් ගැනීම් සිදුවූ බවට වාර්තා වූ පළමු බාලිකා පාසල මේ කියන පාසල පමණක් යැයි යමෙකු සිතුවොත් එය නිවැරදි නොවේ. රටේ නම ගිය බොහෝ බාලිකා පාසල්වල අතීතය හාරා ඇවිස්සුවොත් මෙවැනි සිදුවීම් වාර්තා වූ අවස්ථා කොතෙකුත් දැනගන්නට ලැබෙනු ඇත. නමුත් එය එසේ යැයි කියා මෙය සුළුවෙන් බැහැර කළ හැක්කක් නම් නොවේ. අධ්‍යාපන බලධාරීන් මෙන්ම සමාජයේ ඒ ගැන වගකිවයුතු සෑම ආයතනයක්ම පාහේ මේ කියන බාලිකා පාසල දෙසට සිය අවධානය යොමුකර ඇත්තේ එබැවිනි.
රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ හෙළිදරව්වෙන් මෙම පාසලේ බාලවයස්කාර සිසුවියන්ගේ අසම්මත ඇසුරක් ගැන ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කියැවිණි. ඒ සම්බන්ධයෙන් මාතලේ පොලිසියේද එක් පැමිණිල්ලක් සටහන් වී තිබිම විශේෂිතය. ඒ මෙයට මාස හතරකට පහකට පමණ පෙරය. දෙවැනි ශ්‍රේණියේ සිසුවියකව උසස් පෙළ පන්තියේ සිසුවියන් දෙදෙනකු විසින් විද්‍යාලයේ වැසිකිළියට රැගෙන ගොස් කළාවූ අසම්මත කටයුත්තක් ගැන එහි සටහන්ව තිබිණි.
එම සිද්ධිය පොලිස් පොතේ ලියැවෙන්නට පෙර අතවරයට ලක්වූ සිසුවියගේ දෙමාපියන් ඒ ගැන විදුහල්පතිනියට දැනුම් දී තිබේ. ඊට එරෙහිව කටයුතු කරමින් නැවත එවැන්නක් සිදුනොවන්නට වගබලාගන්නවා වෙනුවට එහිදී ඇය අතවරයට ලක්වූ සිසුවියට කියා ඇතැයි පැවැසෙන්නේ “ඕව ගෙවල්වල ගිහින් කියන්න ඕනේ දේවල්ද? ඔය වගේ ඒවා ජීවිතේට අත්දැකීම්නේ” යනුවෙනි.
එකී පාසලේ සිසුවියන්ගේ අසම්මත කටයුත්ත ගැන පොලිස් පොතේ ලියැවී දිග්ගැස්සෙන්නේත් ඒ ගැන රටට හෙළිදරව්වන්නට මග පෑදෙන්නේත් විදුහල්පතිනියගේ ඒ තකතීරු කතාව නිසාය.
එය එසේ වුවත් එකී බාලිකා පාසල සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශනයක නිරතව සිටින නිලධාරීන් නම් පවසන්නේ අසම්මත කටයුතු සම්බන්ධයෙන් ඇති බරපතළකම් ගැන වෛද්‍යවරුන් මගින් සිසුවියන්ව දැනුවත් කරන්නට පාසල් මට්ටමින් පසුගිය කාලයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වී තිබෙන බවය. එසේම මාතලේ පොලිසියද එහිදී නිකම්ම සිටියේ නැත. ලද පැමිණිල්ලට අනුව විභාගයක් කර උසස් පන්තියේ සිසුවියන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නටද වගබලාගත්තේ අධිකරණය හරහා එම සිසුවියන්ට නැවත එවැන්නක් නොකරන්නට අවවාද මෙන්ම දඬුවමක්ද හිමිකර දෙමිනි.
එය එතැනින් නිමා වන්නේ නැත.
මෙම පාසලේ සිසුවියන් කිහිපදෙනෙකු ගැබ් ගැනීමක් ගැනද කතාවක් තිබෙන බව සභාපතිවරයාගේ හෙළිදරව් කිරීම් අතර විය. මාතලේ පොලිසිය පවසන්නේ මෙයට වසර හතර පහකට ඉහත එවන් සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බවයි. ඒවා පාසල් කාලයේ සිදුවූ සිදුවීම් හෝ පාසලට සම්බන්ධ සිදුවීම් නොවන බවත්, උසස් පන්තිවල සිසුවියන් තම පෙම්වතුන් සමග ගොස් එම ගැබ් ගැනීම් සිදුවී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ සිසුවියන් වයස අවුරුදු 16 ට වැඩි අය වූ බැවින් සහ කැමැත්තෙන් ඒ දේවල් සිදුවී තිබුණු බැවින් ස්ත්‍රී දූෂණයක් හෝ බාලවයස්කාර දැරිවියකට අතවර කිරීමක් ලෙස එය දැක්විය නොහැකි බව එම නිලධාරියා පැවැසුවේ රටේ මෙවන් සිදුවීම් කොතෙකුත් සිදුවුවත් ඒ ගැන කතා නොකරන අය මාතලේ බාලිකාව අල්ලාගෙන මේ කරන්නේ දේශපාලන විගඩමක් බව අවධාරණය කරමිනි.
ඒ කෙසේ වෙතත් මෙම බාලිකා පාසලට යම් චෝදනාවක් එල්ලවී ඇත්තම් ඒ එල්ලවී ඇත්තේ එම බාලිකාව තුළ සිදුවී ඇති, සමාජ සම්මතයට පිටින් කෙරී ඇති යම් ක්‍රියාවලියක් හේතුවෙනි. පොලිස් පොත්වලට පමණක් නොව අධිකරණය හමුවට පවා ඒ සිදුවීම් ගොස් තිබෙන බැවින් ඒවා බොරු යැයි කියන්නට කාටවත් බැරිය. ඒ අනුව බලන විට මේ හෙළිදරව්ව කළ රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දැන් වීරයෙකි.
මේ වීරයාට, නියම වීරයෙකු වන්නට හැකිවන්නේ පොලිසි උසාවිවල ලියැවුණු කරුණු කාරණා සනාථ කරන්නට යාමෙන් නොව අදාළ බාලිකා පාසලේ ගුරුවරියන් පිරිසක් ගණිකා වෘත්තියේ නිරත වෙමින්, සිසුවියන්ද එම වෘත්තියේ යොදවන බවට පවසමින් ඔහු රටේම අවධානය දිනාගත් ඒ කාරණාව ඔප්පු කිරීමෙන් පමණි. අධ්‍යාපන අමාත්‍යංශයෙන්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්ද ළමා හා කාන්තා කාර්යංශයෙන්ද පොලිසියෙන්ද පරීක්ෂණයක් සිදුවන්නේ ඒ ගැනය. දැන් එකී පරීක්ෂණ පටන්ගෙන සතියකටත් වැඩිය. අඩුම තරමින් පාසලේ ගුරුවරියන් අතර සිටින ගණිකාවක් තබා පාසලට එන යන ගණිකාවක් ගැනවත් ඒ කිසිවෙකුටවත් සොයාගන්නට තවමත් හැකියාව ලැබි නැත. එය එසේ වුවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සභාපතිවරයා එකී හෙළිදරව්ව කරන්නේ ගණන් මිනුම්ද ඇතිවය. ඒ ගුරුවරියන් පස් දෙනෙකු එකී කටයුත්තේ නිරතව සිටින බව කියමිනි.
මේ පාසලේ ගුරුවරියන් අතරින් ගණිකාවන් කවුරුන්දැයි යන්න ගැන හෝඩුවාවක් සොයාගන්නට නොහැකි වූ තැන ඒ ගැන පරීක්ෂණ පවත්වන මාතලේ පොලිසියේ විමර්ශන කණ්ඩායම පිහිට පතා යන්නේ රත්තොට සභාපතිවරයා හමුවටය. ඒ මේ ගැන ප්‍රකාශ කළ පුද්ගලයා ඔහු වූ බැවිණි.
නමුත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මාතලේ බාලිකා විද්‍යාලය ගැන කෑමොර දුන් සභාපතිවරයා දැන් පවසන්නේ තමා හරිහැටි කරුණු නොදැන එකී ප්‍රකාශය කළ බවකි. මාතලේ පොලිසියේ විමර්ශකයන් පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය විටක එහිදී යම් පිරිසක් බාලිකා විද්‍යාලය ගැන කළ කතාබහක් මෙම සභාපතිවරයා එසේ හෙළිදරව් කළා මිස ගණිකා වෘත්තියේ නිරතව සිටින ගුරුවරියක් ගැන හෝ එකී වෘත්තියට සිසුවියන්ව යොමු කිරීමක් ගැන තමා කිසිවක් නොදන්නා බව දැන් ඔහු පවසන බවකි. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තමන් ඒ ගැන කීවේ අවධානය ඒ සඳහා යොමු කිරීමට වුවත් මාධ්‍ය එය වැරදියට වාර්තා කිරීමෙන් මේ සියල්ල සිදුවී ඇති බව පවසමින් ඇඟ බේරා ගැනීමකටද දැන් සභාපතිවරයා යොමුවී තිබෙන බව සඳහන්ය. පොලිසියට පවා ඔහු දැන් ඒ ගැන පවසා ඇති බැවින් පොලිසිය එදා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන්ගෙන්ද ප්‍රශ්න කරන්නට පටන්ගෙන ඇත්තේ කවුරුන් නිවැරදි දැයි සොයා බලන්නටය.
එය එසේ වුවත් එදා එම සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාතලේ පොලිස් ප්‍රධානියාද ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රභූවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද සම්බන්ධවී සිටි බව අමතක නොකළ යුතුය. එබැවින් සභාපතිවරයාට තමා කළ කී දෑ ගැන බොරු කරන්නට බැරිය. ඒ තත්ත්වය මත මාතලේ පිහිටි එකී බාලිකා පාසලේ ගුරුවරියන් අතර සැබෑ ලෙසම ගණිකාවන් සිටීද යන්න ඔප්පු කළ යුත්තේ සභාපතිවරයාමය. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ දේශමාන්‍ය, ආචාර පට්ටම් තිබුණාට ඔහු ද මේ රටේ සිටින තවත් එක් බොරුකාර දේශපාලනඥයෙකු පමණක් බවට මහජනතාව අතර හංවඩු වැදීම පමණි.
No comments:
Post a Comment