13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළිත් සංශෝධනය කිරීම පසුගිය සතියේ අපේ දේශපාලන කතිකාව උණුසුම් කළ මාතෘකාවය. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඒ අයුරින්ම පවත්වාගෙන යමින් බලාත්මක කිරීමට ආණ්‌ඩුවේම එක් පිරිසක් උත්සාහ කරන අතර 13 වැනි ව්‍යවස්‌ථාව හා එහි කොටස් අහෝසි කිරීමට තවත් කණ්‌ඩායමක් උත්සාහ කරන ආකාරය පසුගිය සතියේත් දැකගත හැකිවිය. ඒ වෙනුවෙන් දෙපිරිස අතර වාද විවාද පැනනැගී තිsබිණි. එහෙත් ජයග්‍රහණය ලබන්නේ කාගේ මතයද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් කිසිවෙකුටත් ලබාගත නොහැකි විය. ඊට හේතුව ජනාධිපතිවරයා ඉන්නේ කුමන ආස්‌ථානයේද කියා ඒ කවරෙකුටවත් පැහැදිලිව දැනගත නොහැකි වීමය.
කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ ඇති අඩුපාඩු ගැන කතා කරන අවස්‌ථා නම් ගණනාවක්‌ම තිබිණි. පොලිස් හා ඉඩම් බලතල ගැන ඔහු තුළ වූයේ රටේ බහුතර ජනතාව දරන මතය බව පැහැදිලි විය. ජනපතිවරයා නිතරම කීවේ "ජනතාව අපිට වරමක් දීල තියෙනවා. ජනතාවට නිවැරැදි මතයක් තියෙනවා. අපි ඒක ජයග්‍රහණය කරවන්න ඕන." යන කතාවයි.
මේ කතිකාව දේශපාලන කරළිය උණුසුම් කරවමින් පැතිර යන අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගිය සිකුරාදා හවස් යාමයේ වයි 12 වර්ගයේ ගුවන් යානයකින් අනුරාධපුර බලා පිටත්ව ගියේය. ඔහු මුලින්ම ගියේ ජනාධිපති මන්දිරයටය. ඉන්පසුව උඩමළුවේ ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගන්නට ද ගියේය. එසේ ගොස් විවේකීව සිද්ධස්‌ථාන වැඳපුදාගත් ජනාධිපතිවරයා අටමස්‌ථානාධිපති හිමිවරුන් ද බැහැදැක යළි ජනාධිපති මන්දිරයට පැමිණ විවේකීව කාලය ගත කළේය. උතුරුමැද පළාත් සභාවේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද ප්‍රදේශයේ සිටින මන්ත්‍රීවරු ගණනාවක් මෙම අවස්‌ථාවට සහභාගි වන්නට පැමිණ සිටියහ.
පසුවදා උදෙන්ම අවදි වූ ජනාධිපතිවරයා අනුරාධපුරයේ සිට වයි 12 යානයෙන් කිලිනොච්චිය බලා පිටත්ව ගියේය. යානාව පහත් කරවනු ලැබුයේ ඉරණමඩු ප්‍රදේශයේ මීට පෙර කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය ගුවන් පථයටය. එම ගුවන් පථය කොටින්ගෙන් අත්පත් කර ගැනීමෙන් පසුව ගුවන් හමුදාව අභ්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස සංවිධානය කර තිබීම මෙහිලා ඇති විශේෂත්වයයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එහි ගියේ එම ගුවන් තොට විවෘත කිරීමටය.
ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු යාපනය බලා දිවෙන ඒ 9 මාර්ගය සංකේතාත්මකව විවෘත කිරීම කරනු ලැබුයේ ද ජනාධිපතිවරයා විසිනි.
ඒ හා සමගාමීව ප්‍රදේශයේ සංවර්ධන වැඩ කටයුතු රාශියක් ද ජනාධිපතිවරයා සොයා බලමින් එම ප්‍රදේශයේ සංචාරය කිරීම විශේෂ සිද්ධියක් වී තිබිණි.
උදය වරුව තිස්‌සේම ඉතා වෙහෙසකර සංචාරයක නිරත වෙමින් ඉරණමඩු ප්‍රදේශය හා කිලිනොච්චි ප්‍රදේශයේ සංචාරය කළ ජනාධිපතිවරයා එදින හවස යළිත් වයි 12 යානයේම නැග කොළඹ බලා පැමිණියේය.
ඉරිදා දිනයේ ජනාධිපතිවරයා සිටියේ තරමක් විවේකයෙන් යෑයි කිවහොත් නිවැරැදිය. ඉරිදා දවසම කොළඹ සිටිමින් රාජකාරි කටයුතු ගැන ද සොයා බලමින් ගත කළ ජනාධිපතිවරයා සඳුදා සිට සුපුරුදු පරිදි උදේ පාන්දරම වැඩ පටන් ගත්තේය. එදින පළාත් සභා දෙකක ආසන සංවිධායකවරුන්ට හා පළාත් සභා අපේක්‍ෂකයන්ට අරලියගහ මන්දිරයට පැමිණෙන්නට දැනුම් දී තිබිණි. ඒ අනුව මධ්‍යම හා වයඹ පළාත් දෙකේ සංවිධායකයෝ හා අපේක්‍ෂකයෝ විශාල පිරිසක් එදින අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ. මෙම පළාත් සභා දෙකෙහි පිරිස ජනාධිපතිවරයා හමුවූයේ දෙපාරකටය. පළමුව වයඹ පළාත් සභාවේ කණ්‌ඩායම හමුවන්නට ජනාධිපතිවරයා තීරණය කළේය.
එම රැස්‌වීමට එන විටම ජනාධිපතිවරයා තරමක කෝපයෙන් පසු වූ බව පෙනෙන්නට තිබිණි.
"ඔය කරල තියෙන්නෙ කට්‌ටිය පත්තරවල හෙඩ් ලයින්ම දමාගෙන. ඔන්න ඔහොම තමයි ඡන්දවලට ලෑස්‌ති වෙන්න ඕන. ඔය විදියට සමාජයේ හැසිරෙන්න ගියාම කොහොමද මිනිස්‌සු ඉස්‌සරහට ගිහිල්ල ලඡ්ජ නැතිව ඡන්දෙ ඉල්ලන්නෙ." කියමින් මුලින්ම ජනාධිපතිවරයා දොස් පවරන්නට පටන් ගත්තේ ගුරුවරිය දණගැස්‌සවූ සිද්ධිය සම්බන්ධයෙනි. එම සිද්ධිය සිදුවූ වහාම ඊට නිසි ක්‍රියාමාර්ග ගන්නට අදාළ ආරක්‍ෂක අංශවලට දැනුම් දී තිබුණත් ජනාධිපතිවරයා සිටියේ කොයි මොහොතක හෝ වයඹ කණ්‌ඩායම හමු වූ විටක අදාළ පුද්ගලයන්ගෙන් ඒ ගැන තදින් විමසන්නටය. මේ අවස්‌ථාවේ එම කෝපය පිටකර ගැනීමද සිදුවිය. ඔය අතර ජනාධිපතිවරයා වයඹ පළාත් සභා ඡන්දය මෙහෙයවන ආකාරය ගැන ආසන සංවිධායකවරුන් හා අපේක්‍ෂකයන් දැනුවත් කළේය. එහිදී අපේක්‍ෂකයන්ගේ පැත්තෙන් සිදුවන සියලු අඩුපාඩු අවසාන ඡන්ද ප්‍රතිඵලයට මහා නරක ප්‍රතිඵල එක්‌කරන බව ඔහු අනාවරණය කළේය.
වයඹ කණ්‌ඩායම හමුවීමෙන් පසුව හවස් වරුවේ මුණගැසුණේ මධ්‍යම පළාත් සභාවේ අපේක්‍ෂක හා සංවිධායක කණ්‌ඩායමය. ජනාධිපතිවරයා මුලින්ම ඔවුන්ගෙනුත් "කොහොමද මේ පාර ඡන්ද සූදානම" යෑයි විමසමින්ම කතාබහ පටන් ගත්තේය.
අපට බයවෙන්න දෙයක් නෑ සර්. සර්ගෙ ජනප්‍රියත්වය අපේ පළාතට තියෙනතාක් කල් ඡන්ද දිනන එක අපට ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඡන්ද සටනට බොහොම කාලයක ඉඳල සූදානම් වුණා. ඡන්දය හෙටය කියල අපි ලෑස්‌ති වුණේ නෑ. කල් තියා ලෑස්‌ති වුණු නිසාත් සර්ගෙ ජනප්‍රියත්වය නිසාත් අපිට මධ්‍යම පළාත් සභාව දිනන එක ලොකු අභියෝගයක් වෙන්නෙ නෑ. සරත් ඒකනායක ලොකු විස්‌තරයක් කරමින් කීවේය.
මේ අතර පළාත් සභා ඡන්ද සටනේදී අපේක්‍ෂකයන්ට මතුවිය හැකි ගැටලු ගැන කතා කරන්නට පටන් ගත්තේය. පළාත් සභා මන්ත්‍රීවරු හා අපේක්‍ෂකයෝ තමන්ට මුහුණ දෙන්නට සිදුව ඇති ගැටලු මතක් කරමින් කතා කළේය. ඒ අතර නැවත වරක් සරත් ඒකනායක කතා කරමින් කීවේ "අපේ මිනිස්‌සුන්ට වැඩ කරන්න ප්‍රතිපාදන නැහැ" කියාය.
ඒ මොහොතේ බැසිල් රාජපක්‍ෂ කතා කර මෙසේ කීවේය.
"ඔව් ඒක අපි දන්නවා. මම අද ආවේ ඒකට සූදානමක් ඇතිවයි කියමින් බැසිල් ලියුම් කවර මිටියක් ගෙන බෙදන්නට පටන් ගත්තේය. එම ලියුම් කවරවල තිබුණේ එක් මන්ත්‍රීවරයෙක්‌ට රුපියල් මිලියන දහයක් බැගින් වූ ප්‍රතිපාදන වෙන් කරන ලද ලියවිල්ලකි.
මේ සියලු නිල කතාවලට පසු ජනාධිපතිවරයා මන්ත්‍රීවරු හා අපේක්‍ෂකයන් අමතා හරි අපූරු කතාවක් කීවේය. කතාව කීවේ මර්වින් සිල්වා පහුගිය කාලයේ කිසිදු මන්ත්‍රීකමක්‌වත් නොමැති කාලයේ සිදු වූ සිද්ධියක් ගැනය. එවකට බලයේ සිටියේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවයි. මර්වින් එදා නිකම්ම නිකම් පුද්ගලයකු පමණක් විය.
ඒ කාලයේ ආණ්‌ඩුවේ හිටපු බලවත් ඇමැතිවරු කවුරුවත් එක්‌ක වැඩිය බජනෙට එන්නෙ නෑ. හරි ආඩම්බරයි. පොළවෙ පස් පෑගෙන්න නැති මට්‌ටමෙන් තමයි හිටියෙ. ඔහොම ඉන්නකොට දවසක් මර්වින්ට ලැබෙනව පිටරට යන්න අවස්‌ථාවක්. මර්වින් ගුවන් යානයට නැගලා තමන්ට හිමිවෙච්ච ආසනයේ වාඩිවෙලා වටපිට බලනකොට යාබද ආසනයේ හිටියේ ආණ්‌ඩුවේ තවමත් ප්‍රබල ඇමැතිවරයෙකි. මර්වින් ඔහු සමඟ කතා බහ කරන්නට උත්සාහ කළේය. එහෙත් ඔහු මර්වින් සමඟ වැඩි බජනයකට පැමිණියේ නැත.
මේ මනුස්‌සයා අර ඇමැතිත් එක්‌ක කිහිප පාරක්‌ම කතා කරන්න උත්සාහ ගත්තා. වැඩිය හිතවත්කමක් ගොඩනැගිල නෑ. පැයක් විතර ගෙවිල ගියා. අන්තිමේ ගුවන් යානය ඉගිල්ලෙන්න පටන් ගත්තා. මර්වින් යානාවේ ගුවන් සේවිකාවකට කතා කරල අහන්න පටන්ගත්තා දැන් අපි ඉන්නෙ ලංකාවෙ ගුවන් සීමාවෙද නැද්ද කියලා. ඇය කිව්ව නැහැයි කියලා. එහෙම නම් ලංකාවෙ ගුවන් සීමාව ඉක්‌මවල ජාත්‍යන්තර සීමාවට ගියාට පස්‌සෙ මට කතා කරන්න කියල මර්වින් ඇයට කිව්වා.
ඔන්න ඔහොම ටික දුරක් යනකොට අර ගුවන් සේවිකාව මගින් මර්වින් දැනගන්නව ගුවන් යානය ලංකාවෙ ගුවන් සීමාව ඉක්‌මවල ගියාය කියල. ඔන්න එකපාරටම මිනිහ නැගිටල අර ඇමැතිතුමාට කිසිම ගරුසරුවක් නැතිව මචං කියල කතා කරන්න පටන් ගත්ත.
"මචං දැන් අපි ඉන්නෙ ලංකාවෙ නෙවෙයි ලංකාවට උඹ ඇමැති. මම නිකම්ම නිකම් මර්වින්. එතකොට මාත් එක්‌ක කතා නොකර සිටියට කමක් නෑ. හැබැයි දැන් අපි දෙන්නම ඉන්නෙ ලංකාවෙන් පිටවෙලා. උඹට දැන් ගරු කරන්න කෙනෙක් මෙහේ නෑ. මටත් නැහැ. ඒක නිසා අපි දෙන්නම එක බෝට්‌ටුවේ. ඔන්න ඔහේ සීතලේ යන්නත් එක්‌ක ගහමු මචං හොඳ අඩියක්." යෑයි කියමින් මර්වින් ඇමැතිවරයාට කතා කළා. අන්තිමේ එයාටත් සිද්ධවුණා මර්වින් එක්‌ක හිතවත් වෙලා කතා කරන්න. අන්න ඒකයි මම කිව්වෙ බලය කියන දේ තාවකාලිකයි කියල. ඒ වගේම බලයක් තියෙනව නම් තියෙන්නෙ ඒ අදාළ බලප්‍රදේශයේ විතරයි. මර්වින් අදටත් ඕක කියල හිනාවෙනව. බලය තියෙනකොට මිනිස්‌සු ඔළුව උදුම්මගන්න හොඳ නෑ. බලය තියෙනවට වඩා බලය නැතිවෙලාවෙ නිහතමානි වෙලා ජීවත් වෙන්න ඕන. මර්වින්ගේ අපූරු පාඩම කියමින් ජනාධිපතිවරයා සංවිධායකයන් හමුවේ කළ විස්‌තරයට සමහරු බඩ අල්ලාගෙන හිනාවෙන්නට වූහ.
පසුගිය සතියේ එක්‌සත් ජාතික පක්‍ෂය සිය පක්‍ෂයේ කාර්ය පටිපාටිය සංවිධානය කර තිබුණේත් ඔවුන්ගේ මේ දිනවල මාතෘකාව වූ ව්‍යවස්‌ථා සංශෝධනය හරහාය. එජාප නායක රනිල් එම අලුත් ව්‍යවස්‌ථාව රැගෙන තැනින් තැනට ගියේ ඒ පිළිබඳව රටේ විවිධ පාර්ශ්වයන් දැනුවත් කිරීමටය. ඒ අයුරින් කටයුතු කරන අතර පසුගිය සිකුරාදා හවස එජාප නායකයෝ විපක්‍ෂයේ පක්‍ෂ සංධානයේ නායකයන් ද සමඟ මැතිවරණ කොමසාරිස් හමුවන්නට ගියහ. ඊට රනිල් සහභාගි වූයේ නැත. තිස්‌ස, ජෝෂප්, රනිල්, සුමන්දිරන්, වික්‍රමබාහු, මනමේන්ද්‍ර, මනෝ ඇතුළු පිරිසක් එම ගමනට සහභාගි වී සිටියහ. විපක්‍ෂයේ පක්‍ෂ සන්ධානයේ නායකයෝ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කර සිටියහ. ඒ අතර උතුරේ ඡන්දය ක්‍රියාත්මක කිරීම, උතුර සඳහා වෙනම විදේශ නිරීක්‍ෂකයන් පිරිසක් ගෙන්වීම, 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක කර කොමිෂන් සභා පත්කිරීම, උතුරට ආණ්‌ඩුකාරවරයෙක් පත්කිරීම ආදී යෝජනා රැසක් එහි තිබිණි. එම ඉල්ලීම් සලකා බැලූ මැතිවරණ කොමසාරිස්‌වරයා මෙසේ කීවේය.
ඔයගොල්ලො මැතිවරණ දෙපාර්තමේන්තුව ගැන සම්පූර්ණ විශ්වාසය තියන්න. අපෙන් කෙරෙන්න ඕන දේවල් අපි කරන්නම්. හැබැයි උතුරට ආණ්‌ඩුකාරයෙක් පත්කරල හරි 17 බලාත්මක කරන එක අපිට කරන්න නම් බෑ. ඒක කරන්න ඕන රජය. මැතිවරණ කොමසාරිස්‌වරයා කීවේය. මෙම සාකච්ඡාව ඇදී ගියේ ඒ අයුරිනි.
පසුගිය සෙනසුරාදා එජාප නායක රනිල් තම ව්‍යවස්‌ථා කෙටුම්පත ගැන දැනුවත් කරන්නට ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී විද්වතුන් හා වෘත්තීයවේදීන් පිරිසක් හමුවූයේය. එම සංවාදය ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉතා ඵලදායී එකක් ලෙස පැවැත්විණි. එදින සවස එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වන්නට ගියේය. එම සාකච්ඡාව නාවලපිටිය ආසනයේ නව සංවිධායක මයන්ත දිසානායකගේ පළමුවැනි ක්‍රියාකාරීන්ගේ හමුවයි. මෙම හමුවට ගාමිණී දිසානායක සම්බන්ධ ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් පැමිණ සිටීම විශේෂත්වයක් වූයේය.
මේ අයුරින් ඉරිදා දිනයේ ද ආණමඩුව, පුත්තලම ප්‍රදේශවල ආසන බලමණ්‌ඩල රැස්‌වීම් පැවැත්විණි. පුත්තලම ග්‍රීන්ගාඩ්න් හෝටලයේ පැවති එම හමුවට මහ ලේකම් තිස්‌ස සමඟ නිරෝෂන් පෙරේරා ද සහභාගි වී සිටියේය.
පසුගිය දිනවල දොස්‌තර ජයලත් ජයවර්ධන මියයැමෙන් පුරප්පාඩු වූ තනතුරු ගණනාවක් ද පක්‍ෂයේ තිබිණි. එම අතරින් එක් තනතුරකි ජාතික සේවක සංගමයේ සභාපති ධුරය. පසුගිය සතියේ එම පුරප්පාඩුවට ජෝන් අමරතුංග පත්කිරීම විශේෂත්වයකි. ජෝන් අමරතුංග ජාතික සේවක සංගමයේ තනතුර නිල වශයෙන් බාරගැනීම ද පසුගිය සතියේ සිදු වූ තවත් වැදගත් කරුණකි. ඒ අතර ජයලත් ජයවර්ධනගේ පුත්‍රයා වන කාවින්ද ජයවර්ධන පසුගිය සතියේ එජාප නායක රනිල් හමුවන්නට රනිල්ගේ නිවසට පැමිණියේය. ඔහු පැමිණ සිටියේ තම පියාගෙන් හිස් වූ දේශපාලන හිඩැස පුරවන්නට තමන් සූදානම් බව රනිල්ට දැනුම් දීමටය. රනිල් එම කාරණය ඉතා සතුටින් පිළිගත් බව පෙනෙන්නට විය.
එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලනය තුළ පසුගිය සතියේ ලොකු උණුසුම් සංවාදයක් ද පැනනැගුණ බව රහසක් නොවේ. එම සංවාදය හා දැඩි උණුසුම ගොඩනැගුණේ එජාපයේ තවත් ජනප්‍රිය නායකයන් දෙදෙනකු වන මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්‌තිලක පක්‍ෂයෙන් නෙරපා දැමීමට පක්‍ෂයේ විනය කමිටුව ගත් තීරණය ප්‍රකාශ කිරීමත් සමඟය.
සඳුදා හවස කොළඹ සිsරිකොත මන්දිරයේදී එම උණුසුම් කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම පැවැත්විණි. මුලින්ම පක්‍ෂයේ උපදේශක කමිටුවේ යෝජනාවක් අනුව ජයලත් ජයවර්ධනගෙන් හිස් වූ මානව හිමිකම් කමිටුවේ සභාපති ධුරයට නීතිඥ ශ්‍රීනාත් පෙරේරාගේ නම යෝජනා කෙරිණි. පක්‍ෂයේ විනය තීරණ තීන්දු ගත් විනය කමිටු යෝජනාව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඉදිරිපත් කළේ ඊට පසුවයි.
පසුගිය දිනවල සිරිකොතට පහර දී පොඩි පට්‌ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලැබූ පරීක්‍ෂණයක ප්‍රතිඵලය එළිදැක්‌විණි. චූදිතයෝ 16 දෙනාගෙන් හත්දෙනකු වැරදිකරුවන් කරන්නටත් 9 දෙනකු නිවැරැදිකරුවන් කරන්නටත් කමිටුව තීරණය කර තිබිණි. ඉන්පසුව පැවැත්වූ සරත් ෙµdන්සේකාගේ රැස්‌වීමකට පක්‍ෂයේ අණ නොතකා සහභාගි වූ කණ්‌ඩායමක් වෙනුවෙන් ද තවත් පරීක්‍ෂණයක් පැවැත්විණි. එම පරීක්‍ෂණයේදී ප්‍රතිඵලයට අනුව හතරදෙනෙක් වැරදිකරුවන් වූහ. මේ චෝදනා දෙකින්ම වැරදිකරුවන් වූ පිරිසකට දඬුවම් නියම විය. එහි ඉදිරියෙන්ම සිටියේ මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්‌තිලකය.
මේ අවස්‌ථාවේදී සජිත් ප්‍රේමදාස අසාධාරණයට එරෙහිව නැගී සිටිමින් කතා කරන්නට විය. එම විනය තීන්දුව මෙවරත් බලාත්මක නොකර තවදුරටත් සමාව දී ඔවුන්ගේ සහාය පක්‍ෂය වෙත ලබාගන්නැයි සජිත් යෝජනා කළේය. එහෙත් සෙසු සාමාජිකයන් ඊට අකමැති වූහ. මේ අවස්‌ථාවේ සජිත් තරමක් තදින් හා වේගයෙන් කතා කළේය. ඒ වේගය නිසා ඒ හා සමාන වේගයකින් සජිත්ට පිළිතුරු දීමට තවත් අයෙක් පැමිණියේය. ඔහු අජිත් පෙරේරාය. අජිත් පෙරේරා හා සජිත් අතර පරුෂ වචන හා විවිධ සතුන්ගේ නම් කියමින් එකිනෙකාට බැන අඬගසා ගන්නා ලද වාග් සංග්‍රාමයක් ඇරඹුණේ ඉන් පසුවයි. රනිල් එය ටික වෙලාවක් ඇදී යන්නට ඉඩහැර පසුව සමථයකට පත්කර සභාව විසුරුවා දැමීය.
මේ අතර පසුගිය සතියේ ජාතික නිදහස් පෙරමුණේ නායකයන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවන්නට අරලියගහ මන්දිරයට ගියහ. විමල් ප්‍රධාන මෙම පිරිස ගොස් උතුරු නැගෙනහිර පළාත් සභාවේ ඡන්දය පැවැත්වීම ගැන අත්සන් ලක්‍ෂ දහයක විරෝධයකින් ගොඩනැඟුණු පෙත්සමක් ජනාධිපතිවරයාට බාර කළේය. ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් ජානිපෙ රජය හා ලොකු විසංවාදයක සිටින බව පෙනෙන්නට තිබිණි. විමල් එය ඉදිරිපත් කර විස්‌තර කළේය. අවසානයේ සියල්ල අසා සිටි ජනාධිපතිවරයා මෙසේ විස්‌තර කළේය.
"හරි හරි.... මට මේ ප්‍රශ්නය තේරෙන්නෙ නැතිව නොවෙයි. හැබැයි මේක විසඳන්න ඕන පියවරෙන් පියවර ක්‍රමානුකූලව කලබල වෙලා මොකවත් කරගන්න බැහැ. ටිකක් ඉඳල බලමු අපි කොහොමද මේකෙන් ගැලවෙන්නෙ කියල. ජනාධිපතිවරයා එසේ පිළිතුරු දෙමින් ජානිපෙ කණ්‌ඩායම යම් සංහිඳියාවකට ලක් කළ බව පැහැදිලිය.
ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම මුදල් අමාත්‍යාංශය පිළිබඳ උපදේශක කාරක සභා රැස්‌විම් පාර්ලිමේන්තුවේ කාරක සභා කාමරයේ පැවැතියේ ඉකුත් 18 වැනිදාය.
ජනාධිපතිවරයා පැමිණීමට කලින් කල්වේලා ඇතිව පැමිණි අමාත්‍යාංශ දෙකට අයත් නිලධාරීන් අතර ගෝඨාභය රාජපක්‍ෂ සහ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද වූහ. ජනාධිපතිවරයා පැමිණෙන තෙක් ඔවුන් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේගේ කාමරයට ගියේ ආගිය තොරතුරු ටිකක් කතා කිරීමටය. එජාප මන්ත්‍රී ශ්‍රී රංගා ද එතැනට පැමිණියේ තවත් මාධ්‍යවේදීන් කීපදෙනකු ද සමගය.
"කොහොමද රටේ ආර්ථික තත්ත්වය?
මාධ්‍යවේදියකු කබ්රාල් මහතාගෙන් විමසීය.
"ආර්ථිකය ගැන නොයෙක් කතා කියනවා. සමහරුන් කිසිම පදනමක් නැතිව විවේචනය කරනවා. ආර්ථික ප්‍රශ්න ලෝකයේ නැත්තේ කොහෙද? අපේ රටට එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. මිනිස්‌සුන්ට දැන් අවශ්‍යතා ගොඩක් තියෙනවා. පහසුකම් සොයා යනවා. ඉක්‌මණින් මේවා සම්පූර්ණ කරගන්න යනකොට අතේ මුදල් ඉතිරිවෙන්නේ නෑ. බලන්න ටිකක් රටේ ඇවිදලා සිද්ධ වේගෙන යන සංවර්ධනය. මේ හැදෙන්නෙ රටේ අනාගතය නේද" කබ්රාල් මහතා දිගු විස්‌තරයක් කරමින් කියා සිටියේය.
"ඒකෙත් ඇත්තක් තියෙනවා· ශ්‍රී රංගා මන්ත්‍රීවරයා කීය.
ජනාධිපතිවරයා හරියටම 10.30 ට පැමිණ මුදල් අමාත්‍යාංශය පිළිබඳ උපදේශක කාරක සභාවට පැමිණ අසුන් ගත්තේය. එය ඉතා ඉක්‌මණින් අවසන් විය. ඊළඟට තිබුණේ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්‌වීමය. එය අවසන් කොට ජනාධිපතිවරයා දිවා ආහාරයද ගත්තේ "පාර්ලිමේන්තුවෙත් ටිකක් ඉඳල එන්න ඕනෑ" කියමිනි. ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ප්‍රේම කීර්ති රණතුංග විසින් ලියන ලද "පිටමං කිරීම" සහ "ජාතියේ විමුක්‌ති අරගලය" යන පොත් දෙකද මෙදින ජනාධිපතිවරයාට පිළිගැන්වීම සිදුකෙරුණි. එම පොත් දෙකේ පිටු කීපයක් කියවා බැලූ ජනාධිපතිවරයා "මේ වගේ පොත් අපේ දරුවන්ට කියවන්න දෙන්න ඕනෑ" හුඟක් දෙනකුට අතීතය අමතක වෙනවනේ. අතීතය අමතක කරන්න හොඳ නෑ" කියමිනි.
19 වැනිදා ප්‍රවීණ නළු සනත් ගුණතිලක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ කුමාරසිරි හෙට්‌ටිගේ හමුවීමටය. ඒ වන විට ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, ගුණරත්න වීරකෝන්, ජගත් පුෂ්පකුමාර යන ඇමැතිවරුද, නෙරන්ජන් වික්‍රමසිංහ, වික්‌ටර් ඇන්තනි, අරුන්දික ප්‍රනාන්දු, තාරානාත් බස්‌නායක ඇතුළු මන්ත්‍රී පිරිසක් කතාබහ කරමින් සිටියේ අතීත දේශපාලන මතක සිදුවීම්ය.
"හැබෑට එක්‌නැලිගොඩ ගැන දැන් මොනවද අලුත්ම තොරතුරු" ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේය.
"අලුත් විස්‌තර මොනව වුණත් මටත් උසාවියෙ පෙනී ඉන්න කියල දැනුම් දීමක් තියෙනවා. මං ගිහින් මගේ කතාව කියනව" අරුන්දික කීවේය.
අපිත් එදාට උසාවි එන්නම්කො" එතැන සිටි මැති ඇමැතිවරුන් ඔහුගේ සහායට කීහ.
අපේ සනත් ගුණතිලක මොකද මේ පැත්තේ? දේශපාලනයටවත් එන්න සූදානමක්‌ද? ජගත් පුෂ්පකුමාර ඇමැතිවරයා ඇසුවේ 2002 එජාප ආණ්‌ඩුව කාලයේ බොරු චෝදනාවකට දෙදෙනාටම රහස් පොලිසියට යැමට සිදුවූ සිද්ධියක් ගැන සිහිපත් කරමිනි.
ඒ කාලෙ සනත් හැකි පමණින් අපටත් උදව් කළා. අරලියගහ මන්දිරයට ගියාමත් අපව හොඳින් පිළිගත්තා" ජොන්ස්‌ටන් ඇමැතිවරයා කීවේය.
චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ළඟ හිටිත් මං කාටවත් ලෙඩ දැම්මේ නෑ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ඒක දන්නවා. එතුමාට මං විරුද්ධව වැඩ කරලත් නෑ. සනත් ගුණතිලක කීවේ එදා දේශපාලන සිද්ධීන් කීපයක්‌ම විස්‌තර කරමිනි.
ඔයා හොඳ චරිතාංග නළුවෙක් නිසා බැරිද අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න විවිධ චරිත එකතු කරල චිත්‍රපටයක් කරන්න. හොඳට රඟපාන්න පුළුවන් අය ඉන්නවා. හෙට්‌ටිගේ කියද්දී සනත් ගුණතිලක කීවේ "හොඳයි· හොඳයි අපි ඉස්‌සරහට බලමු" කියමිනි.
මේ අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා එතැනට පැමිණියේ තවත් මන්ත්‍රීවරුන් කීපදෙනකු සමගිනි.
කොහොමද දුමින්ද දැන් ඔයාට හොඳටම හොඳද? ඇමැති විමල් වීරවංශ ඇසුවේය.
ඔව්· ඇමැතිතුමා දැන් හොඳයි. තවත් ටිකකලක් වෛද්‍ය උපදෙස් ගන්න වෙනවා· දුමින්දගේ පිළිතුර විය.
ඇත්තටම ඔයාගේ ජීවිතය බේරුණ හැටි පුදුමයි." අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීය.
ඇත්තටම ඒක ගැන නං හැමෝම වගේ කියනවා. ඔහොම වෙඩි වැදිල බේරුණා කියන්නෙ ලොකු හාස්‌කමක්." හෙට්‌ටිගේ කීවේය.
මං වෙඩි වැදිල ඉස්‌පිරිතාලෙ ගෙනිච්ච වෙලාවෙ ලේ ගැලීම් නතර කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ රුවන් විජේවර්ධන එජාප මන්ත්‍රීතුමා එයාගෙ අම්මාගෙ ඔපරේෂන් එකකට ගෙනාපු බේතක් ගන්න පුළුවන් වීමෙන් කියල දැනගන්න ලැබුණා. ඒක නැති වුණා නම් ඉතිං ඉවරයි.
පසුගිය සිකුරාදා උදේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කතුවරු ජනාධිපතිවරයා හමුවන්නට පැමිණ සිටියේ ඔහුගේ ආරාධනාවක් නිසාය. ලංකාවේ සියලුම පුවත්පත්වල කතුවරුන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීහු ද එම සාකච්ඡාවට පැමිණ සිටියහ. ජනාධිපතිවරයා ඉතා චාම් ඇඳුමකින් සැරසී සිනාමුසු මුහුණින් යුතුව එම හමුවට පැමිණියේ උදේ 8.45 ට පමණය. ඔහු ආ සැණින්ම මාධ්‍ය ප්‍රධානීන් විමසන්නට වූයේ මේ දිනවල රටේ තිබෙන ලොකුම ගැටලුව වන 13 වැනි සංශෝධනය ගැනය.
මම හිතුවා ඔයගොල්ලො ජනමාධ්‍ය සාරධර්ම පද්ධතිය ගැන අහයි කියල. ඇයි ඔයාල ඒක ගැන කතා නොකර 13 ගැනම කතා කරන්නෙ.
ඒ පිළිබඳ විවිධ කතුවරු විවිධ කරුණු කියන්නට වූහ. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේ.... නෑ නෑ මේක මේ අපේ යෝජනාවක් නෙවෙයි කියාය. ඒ සමඟම ඔහු කෙහෙළිය දෙස බැලුවේය. අනතුරුව කෙහෙළිය කතා කරන්නට පටන් ගත්තේය.
"ඇත්තම කියනව නම් මේක ගේන්න කියල යෝජනා කළේ කරු ජයසූරිය මන්ත්‍රීතුමා. එතුම තමයි තේරීම් කාරක සභාවට ගිහිල්ල මෙහෙම දෙයක් ගැන බොහොම උනන්දුවෙන් කතා කළේ."
ඒ විතරක් නොවෙයි අපහාස නීතිය ගැනත් අපහාස නීතිය ගේන්න කියල යෝජනා කළා. අපි කල්පනා කළා මෙතන ප්‍රශ්නෙ තියෙනව නම් ඒකට විසඳුමක් හොයන්න ඔබ තමුන්නාන්සේලාගෙම යෝජනා අරගෙන ඒව ක්‍රියාත්මක කරන්න. මගේ අතේ තියෙනව ඒ විදියට ඔබලා හදපු ජනමාධ්‍ය සාරධර්ම ප්‍රඥප්තියක්. මේ තියෙන්නෙ ඒක.
ඒ අතර එය කෙහෙළියගෙන් ජනාධිපතිවරයා ඉල්ලා ගත්තේය. ඔහු එහි පිටු කීපයක් පෙරළා බැලුවේය.
"ඕක හදල තියෙන්නෙ කර්තෘ සංසදය."
"හා ඇත්තද? ඕක දැනුත් තියෙනවද?"
කොහොම වුණත් සමහර මාධ්‍යවේදීන් තම තමන්ගේම මාධ්‍ය පාවිච්චි කරන ආකාරය ගැන අපේ රටේ ප්‍රශ්න තියෙනව. සමහර අයගෙ චරිත ඝාතනය කරනවා. ඒ ගැන පැමිණිලි තියෙනවා. බලන්න අද සමහර අයගෙ දරුවන්ට පාරෙ බැහැල යන්න බැරි තරමට ප්‍රශ්න. සමහර ළමයි පාසල් යන්නෙ නැහැ. කොච්චර වැරදිද? ජනාධිපතිවරයා කීවේය.
ඒ වුණාට ජනාධිපතිතුමා ඔය සමහර දේශපාලනඥයො රටට කරන විනාශය ඊට වඩා වැඩියි නේද? කතුවරයෙක් කීවේය.
"ඔව් ඉතිං. එහෙම අයට දඬුවම් දෙන්න අයිතිය ජනතාවට තියෙනව නේ. ඒ වෙලාවට නිසි දඬුවම් දෙන්න ඕන. ඒ වුණාට ඔය වැරදි කරන මාධ්‍යවේදීන්ට දඬුවම් දෙන්න ජනතාවට බලයක් තියෙනවද? නැහැනෙ. දඬුවම් දෙන්න ක්‍රමේකුත් නෑ. සාරධර්ම පද්ධතියකුත් නෑ. කොතනද වැරදි. ඒකයි මම කියන්නෙ මේව මේ අලුතෙන් ඇති කරන දේවල් නෙවෙයි. තියෙන දේවල්. කවුරුවත් උගුලකට අසු කරන්න මේව ඇති කරනවත් නෙවෙයි. ඒක නිසා ආණ්‌ඩුවේ දේවලුත් අරගෙන ඔයාලගෙ දේවලුත් එකතු කරල හැමෝටම පිළිගන්න පුළුවන් විදියට ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන විදියට නිවැරැදි ප්‍රඥප්තියක් හදාගන්න. නිදහස සීමා කරගන්නෙ නැතිව අපි ඒක කරගමු. ජනාධිපතිවරයා කීවේය.
ඉන්පසුව කතාබහ 13 වැනි සංශෝධනය පැත්තට බර විය.
"මේ 13 කාගෙ උවමනාවට ආපු එකක්‌ද? ඇති කළේ කොහොමද? ලැබුණෙ මොනවද? ජනතාව ඊට දුන් ප්‍රතිචාරය මොකක්‌ද? කියල මම නොකීවට ඕගොල්ල ඔක්‌කොම දන්නව. මේ එකක්‌වත් එක පාර හදන්න බැරි වැරදි. පළාත් සභා සුදු අලියෙක් විත්තිය ඇත්ත. නමුත් කොහොමද මේ සුදු අලිය එක පාර මරන්නෙ. එහෙම කරන්න ගත්තොත් එක කට්‌ටියක් සතුටු වේවි. ඒ වගේම ඒ සමාන තව කට්‌ටියක් ඇවිල්ල අරලියගහ මන්දිරයත් වට කරන්න පටන් ගනීවි. ඒක නිසා මම මේව හදන්නවත් නැති කරන්නවත් යන්නෙ නෑ. ඒකට බලය තියෙන නිසි තැනක් තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. මම ඒකට ප්‍රශ්නය දානව. ප්‍රශ්නයට නිසි උත්තරය අපි එතනින් ලබාගමු."
මේ අතර ඉන්දියානු රජයෙන් 13 සම්බන්ධයෙන් ලංකාවට බලපෑම් තිබේදැයි කතුවරයකු ඇසුවේය.
"ඉන්දියාව බලපෑම් කරන්නේ නැහැ. කළත් අපි ගණන් ගන්නෙත් නැහැ. අපි ස්‌වාධීන රටක්. අපි ඔය බලපෑම්වලට වැඩ කරන්නෙ යන්නෙ නැහැ."
එතනදී තවත් කතුවරයෙක් ප්‍රශ්න කළේ කැසිනෝ රජෙක් ලංකාවට පැමිණෙනවා කියන්නේ සත්‍යයක්‌දැයි කියා අසමිනි.
"කැසිනෝ රජවරු ගැන අපි විස්‌තර දැනගත්තේ ඔයගොල්ලන්ගෙ පත්තරවලින්. ඔය ජෝසිම්ල ගෙන්නුවෙ අපි නෙවෙයි. ඕවට ලයිෂන් දුන්නෙත් අපි නෙවෙයි. මතකයි නේ එක පාරක් ජෝසිම්ල ගෙන්වල මෙහේ ලයිෂන් දුන්න විතරක් නෙවෙයි. මැණික් පතල් කපන්නත් ලග්ගලින් ඉඩම් දුන්නා. ඕගොල්ල දන්නව ඇති නේ කවුද කළේ කියල.
හැබැයි අපි එක දෙයක් කළා. හැම තැනම තියෙන කැසිනෝ එක තැනකට ගෙනල්ල ඒවට විතරක් වෙන්වුණු කලාපයක් ඇති කරන්න යෝජනා කළා. එහෙම නැතුව කැසිනෝවලටයි, මත්පැන්හල්වලටයි අපේ රජය බලපත්‍ර දීල නෑ. දැන් තියෙන කර්මාන්තවලට, ව්‍යාපාරවලට කවුරුහරි ඇවිල්ල අතරමැදින් සම්බන්ධ වෙනව නම් ඒක වළක්‌වන්න අපට බැහැ. ඒක වහන්නත් බැහැ. අලුතෙන් ඇති කරන්න දෙන්නෙ නැහැ.
අනිත් එක, එක කට්‌ටියකගේ අදහස්‌වලින් විතරක් රටක් පාලනය කරන්න බැහැ. රටක් ඉදිරියට ගෙනයන්න නම් විවිධ අදහස් තියෙන්න ඕන. විවිධ මත තියෙන්න ඕන. විවිධ ක්‍රියාකාරකම් තියෙන්න ඕන. එතකොටයි රටක් ඉදිරියට යන්නෙ."
මෙම ප්‍රශ්නෙන් පසුව තවත් කතුවරයකු හරි අපූරු කතාබහකට මුල පුරමින් ප්‍රශ්නයක් ඇසුවේය. ඔහු කීවේ අධික වර්ෂාවක් ලැබී ජලාශ සියල්ල කට ළඟට පිරුණත් ඉන් කාර්යක්‍ෂමව සේවාවක් ලබාගන්නට සැලැස්‌මක් විදුලිබල බලධාරීන් සතුව නැති බවය. බලධාරීන් ජලය අපතේ හැර වැඩි මිලට විදුලිය ලබාගන්නා සැලසුම් සොයන බව ඔහු කීවේය.
"එහෙම දෙයක් ගැන නම් මම දන්නෙ නෑ. අපි බලමු ඔය කතාව ඇත්තද කියලා. විදුලිය ගැන ඉන්න බලධාරීන්ට කතා කරල.
අපට ඇමැතිතුමියවත්, විදුලිබල මණ්‌ඩලයේ සභාපතිතුමාවත් අල්ලගන්න විධියක් නෑ. එයාල ප්‍රශ්න මඟඅරිනවා. ඒකයි අපි ඔබතුමාගෙන් මේ ගැන අහන්නෙ. කතුවරයෙක් කීවේය.
සභාපති ඔයාලයි හිටපු කෙනෙක් නේ. ඇමැතිතුමියත් මාධ්‍ය එක්‌ක හොඳයි. මං හිතන්නෙ නෑ මඟහරිනව කියල. බලමු අපි ඔය කාටහරි කතා කරල. කියමින් ජනාධිපතිවරයා විදුලිබල මණ්‌ඩලයේ සභාපති ගණේගල මහතාට කතා කරන්නට උත්සාහ කළේය.
"ගණේගල මහත්තයද කතා කරන්නෙ. දන්නවද ඔයාට දැන් නැගිච්ච චෝදනාව. අපේ කර්තෘ මහත්තරු කියනව ඔයා හැම වෙලාවෙම මාධ්‍ය මඟඅරිනව කියල. කොහේද දැන් ඉන්නෙ. එන්න බැරිද චුට්‌ටක් මෙතෙන්ට."
ඊට ගණේගල යම් පිළිතුරක් දුන්නේය. මේ පිළිතුර නිසා ජනාධිපතිවරයා අපූරු කතාවක් කීවේය.
"නෑ නෑ නෑ මම මේ මැඩම් නෙවෙයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ. ඔයාලට තාමත් මැඩම්ව තමයි ඔලුවෙ තියෙන්නෙ. ඒකනේ මැඩම් මැඩම් කියවෙන්නෙ. යෑයි කියමින් ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කළේය.
සිදු වූ අලකලංචිය පත්තර කතුවරු හොඳින් දැන සිටියහ. එම නිසා මුළු සභාවම මොහොතක් සිනා සයුරේ ගිලී ගියේ යෑයි කිවහොත් නිවැරදිය. සාකච්ඡාව පැයකට වැඩි කාලයක් පැවැත්විණි. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියේ උදේ තේ පැන් සංග්‍රහයට සහභාගි වීමෙන් අනතුරුවය.
No comments:
Post a Comment