අයි. පී. එල්. වැනි තරගාවලිවලට ක්‍රීඩා කිරීමේදී රට ගැන නොසිතමින් ක්‍රීඩා කරන්නේ යෑයි විටෙක චෝදනා හැගුණද ඒ සියල්ල සත්‍ය නොවන බව සඳහන් කරන ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර, කණ්ඩායමේ සියලූම සාමාජිකයින් රට ගැන තිබෙන වගකීම එලෙසම තබා ගනිමින් කටයුතු කිරීමට වගබලාගෙන සිටින බව සඳහන් කර සිටියේය.
දකුණු අප්‍රිකාව සමග පැවැති එක්දින තරගාවලියේදී තරග 5 කදී ලකුණු 372 ක් රැස්කරමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලද සංගක්කාර තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඉහත අදහස් පළ කර සිටියේය. සංගක්කාර විසින් දක්වන ලද එම දක්ෂතාව ද්වී පාර්ශ්වික තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන්ද සටහන් විය. 2009 වසරේදී ඉන්දියාවට එරෙහිව ටී. එම්. ඩිල්ෂාන් රැස් කර තිබූ ලකුණු 352 මීට පෙර වාර්තා වී තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
'අයි. පී. එල්. නොවෙයි ඕනෑම තැනක ගිහින් ක්‍රිඩා කරාට අපේ ක්‍රීඩකයන් කවදාවත් රට ගැන අමතක කරන්නේ නැහැ. සමහර වෙලාවට හිතන්න පුලූවන් එහෙමද කියලා. හැබැයි මම දන්නවා අපේ ක්‍රීඩකයන් රට නියෝජනය කිරීමේදී කොච්චර කැපවීමකින්ද ක්‍රිඩා කරන්නේ කියන එක. එළියෙ ඉඳන් දකින සියලූ දේ සමහර වෙලාවට ඇත්ත නොවෙයි' යනුවෙන් සංගක්කාර පවසා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේදී මෙන් නොව සිය රටට ක්‍රීඩා කිරීමේදී දක්ෂතා අතින් පරස්පරතාවයක් දක්වනු ලබන බව මෙම වසරේ පැවැති අයි. පී. එල්. තරගාවලියෙන් සමාජයේ දැඩි මතයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳව 'දිවයින' නගන ලද පැනයට පිළිතුරු දෙමින් සංගක්කාර ඉහත අදහස් පළ කළේය.
'අයි. පී. එල්. මෙන්ම ඕනෑම තැනක අවස්ථාවක් ලැබෙන්නේ අපට රටට ක්‍රීඩා කරන නිසා. රටට හොඳින් ක්‍රීඩා කළේ නැත්නම් අපිට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අයි. පී. එල්. වේවා, කැරිබියන් ප්‍රිමියර් ලීග් වේවා, ශ්‍රී ලංකන් ප්‍රමියර් ලීග් වේවා ඕනෑම තැනකට යන්න රටට හොඳටම ක්‍රීඩා කරන්න ඕන. ඒ වගකීම පැහැර හැරියොත් එහෙත් නැතිවෙනවා මෙහෙත් නැතිවෙවා. ඒ දේ ඉබේම වෙනවා. මං හිතන්නේ ඕනෑම කෙනෙක් ක්‍රීඩා කරද්දී තමන් ප්රමුඛතාවයන් පෙළ ගස්සගන්නෙ රටට' යනුවෙන් සංගක්කාර සඳහන් කරයි.
මේ අතර එස්. එල්. පී. එල්. තරගාවලිය පැවැත්වීම අරමුණු කොට ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම වන දකුණු අප්‍රිකානු පිල සමගින් පැවැත්වීමට තිබූ ටෙස්ට් තරගාවලිය අවලංගු කිරීම පිළිබඳවද මෙහිදී සංගක්කාරගෙන් කරුණු විමසා සිටි අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණෙමින් 2017 ටෙස්ට් ලෝක ශූරතාවට සුදුසුකම් ලැබීමේ ආසන්නයට පැමිණීමට අවස්ථාවක් අහිමිවූ බව මෙහිදී ඔහු සඳහන් කර සිටියේය.
දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකයේ පළමු ස්ථානයේ සිටින ටෙස්ට් කණ්ඩායමක්. ඔවුන් වගේ කණ්ඩායමක් එක්ක ටෙස්ට් තරග 3 ක් ගහන්න තිබුණා නම් හොදයි . ලංකාවේ පැවැති එක්දින තරගවලදී අපි දැක්කා දැක්කා අපේ දග පන්දු යවන්නන්ටයි අපේ මේ තියෙන කාලගුණ තත්ත්වය තණතීරු සියල්ලම ඔවුන් ආස කරන්නේ නැති බව මෙහෙ ක්‍රීඩා කරන්න. ඉතිං එහෙම අවස්ථාවකදී ටෙස්ට් තරග 3 ගහලා ජයග්‍රහණය කරන්න අවස්ථාවයි වාසනාවයි තිබුණා නම් අපිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි උඩට යනවා.
No comments:
Post a Comment