Monday, July 29, 2013

cricket News - දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක පරාජයක්‌ ශ්‍රී ලංකාව තරගාවලියම දිනයි

ටී. එම්. ඩිල්ෂාන්ගේ 17 වැනි එක්‌දින ශතකය සහ කුමාර් සංගක්‌කාරගේ ලකුණු 91 ක වටිනා ඉනිම හේතු කොට ගෙන දකුණු අප්‍රිකාව සමග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්‌දින තරගයෙන් කඩුලු 8 ක ජයක්‌ අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඊයේ (28 දා) හැකිවිය. මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමග තරග 5 කින් සමන්විත දෙරට අතර එක්‌දින තරගාවලියේ තවත් තරගයක්‌ ඉතිරිව තිබියදීම තරගාවලිය 3/1 ක්‌ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්‌ථාව උදාවිය.


ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් ඩිල්ෂාන් පන්දු 130 කදී නොදැවී ලකුණු 115 ක්‌ද සංගක්‌කාර පන්දු 101 කදී ලකුණු 91 ක්‌ද(හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 8 ක්‌) ලබා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 184 ක වාර්තාගත සම්බන්ධතාවක්‌ ගොඩනංවමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මොවුන් දෙදෙනා විසින් වාර්තා කරන ලද එම ලකුණු සංඛ්‍යාව දෙරට අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සම්බන්ධතාව වශයෙන්ද සටහන් විය. මීට පෙර අදාළ සම්බන්ධතාව වූයේ මොවුන් දෙදෙනා විසින්ම 2009 වසරේදී සෙන්චූරියන්හිදී රැස්‌ කරන ලද ලකුණු 158 ක සම්බන්ධතාව විය.

දකුණු අප්‍රිකාව ලබා දුන් ලකුණු 239 ක ඉලක්‌කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජයග්‍රහණය 44 පන්දුවාරයේදී සනිටුහන් වන විට කඩුලු 8 ක්‌ සහ සම්පූර්ණ පන්දුවාර 6 ක්‌ අත ඉතිරිව තිබිණි. එමෙන්ම අදාළ තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමග පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී දෙවැනි වරට පන්දුවට පහර දෙමින් කණ්‌ඩායමක්‌ ජය වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීය. මිට පෙර මෙම ක්‍රීඩාංගණයේදී හඹා යමින් ජයගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ නවසීලන්තයට එරෙහිව (2012 දී) ශ්‍රී ලංකාව විසින් රැස්‌ කරගන්නා ලද ලකුණු 200 ක ඉලක්‌කය විය.

හඹා යැම තරමක්‌ අසීරු යෑයි සැලකෙන පල්ලකැලේ තණතීරුවේදී මෙතරම් ලකුණු සංඛ්‍යාවක්‌ හඹා යැම සඳහා ශ්‍රී ලංකාව සතු වූ ප්‍රබලම ශක්‌තිsය වූයේ ඉක්‌මනින් කඩුලු දැවී නොයැම විය. මෙහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන (12) අතර ලකුණු 45 ක්‌ වාර්තා වීමද ශ්‍රී ලංකා ඉනිම තවත් ශක්‌තිමත් කරනු ලබන්නක්‌ වීය.

හතරේ පහර 16 කින් සමන්විත වූ ඩිල්ෂාන්ගේ නොබිඳුණු ඉනිමත් සමග සිය මව්බිමේදී වැඩිම ශතක සංඛ්‍යාවක්‌ වාර්තා කර ඇති පිතිකරුවා බවට පත්වීමේ අවස්‌ථාවද ඩිල්ෂාන්ට හිමිවිය. මෙම ශතකය වාර්තා කිරීමට පෙර ශතක 7 ක්‌ වාර්තා කරගෙන සිටි හිටපු නායක සනත් ජයසූරිය සමග සම තත්ත්වයේ පසුවිය.

ආබාධයක්‌ හේතුවෙන් පළමු තරග තුනම අහිමි වූ හෂීම් අම්ලා ඊයේ දිනයේදී පළමු වතාවට පන්දුවට පහර දෙමින් දකුණු අප්‍රිකානු ඉනිමට සාර්ථක ආරම්භයක්‌ එක්‌කර දුන්නේය. පළමු කඩුල්ල ලෙස ඩිකොක්‌(08) මාලිංගගේ පන්දුවක්‌ කෙළින්ම කඩුල්ලේ වැදීම මත දැවී ගිය නමුත් අම්ලාට එක්‌වූ පෝල් ඩුමිනි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවක්‌ ගොඩනංවමින් දකුණු අප්‍රිකානු පිල යම් ස්‌ථාවරයකට කැඳවාගෙන යැමට සමත් වූහ.

මනස්‌කාන්ත කවර් ඩ්‍රයිව් සහ පුල් පහරවලින් එකතු කරගන්නා ලද හතරේ පහර 9 ද සමගින් ප්‍රවේගකාරී වූ අම්ලාගේ ඉනිම පන්දු 71 කදී ලකුණු 77 ක්‌ වශයෙන් සටහන් විය. අදාළ සම්බන්ධතාව අතරතුරදී පිතිකරුවන්ට හිමි පවර් පිලේ අවස්‌ථාව 16/20 අතර වාරයේ ලබා ගැනීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් පෙළැඹීම තරමක්‌ විශ්මය දනවන්නක්‌ වූ අතර එහිදී ලකුණු 22 ක්‌ පමණක්‌ රැස්‌ කර ගැනීමට හැකි වීමද දකුණු අප්‍රිකානු පිලට තරමක පාඩුවක්‌ ගෙන දෙන්නක්‌ද විය.

දිගු ඉනිමක්‌ ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ඇතිව පිටියට පිවිසි නායක ඩිවිලියර්ස්‌(04), ඩිල්ෂාන් විසින් යවන ලද, එහෙත් නිසැකයෙන්ම වයිඩ් පන්දුවක්‌ ලෙසින් ඇදී ගිය පන්දුවට එළවා පහර එල්ල කිරීමට යැමේ අනිසි ප්‍රතිඵලය වූයේ පිත්තේ කොණක වැදී පන්දුව කඩුලු රකින සංගක්‌කාර විසින් උඩපන්දුවක්‌ ලෙස රැක ගැනීමය.

පිතිකරුවන්ට සහ දඟ පන්දු යවන්නනට වාසිදායක ලෙසින් හැසිරුණු පල්ලකැලේ තණතීරුවේදී ලසිත් මාලිංග කඩුලු 3 ක්‌ දවා ගැනීමට සමත් වූ නමුත් ඔහුගේ පන්දුවාර 9 ට ලකුණු 52 ක්‌ (පන්දුවාරයක්‌ දළ වශයෙන් 6 කට ආසන්න අගයක්‌) ලබාගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත් වූහ. දඟ පන්දු යවන්නන් අතරින් යළිත් සාර්ථක වූ අජන්ත මෙන්ඩිස්‌ ලකුණු 51 කට කඩුලු 4 ක්‌ දවා ගත් අතර ඩිල්ෂාන් සහ හේරත් පිළිවෙළින් කඩුලු 2 ක සහ 1 බැගින් දවාගත්හ.

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 36 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට කඩුලු 3 කට ලකුණු 172 ක්‌ ලෙස ප්‍රබල තත්ත්වයක පසුවුවත්, දඟ පන්දු යවන්නන් වූQ හේරත්(1) සහ මෙන්ඩිස්‌(2) විසින්, ලකුණු 1 ක්‌ තුළ කඩුලු 3 ක්‌ දවා ගැනීමට සමත්වීම මත දකුණු අප්‍රිකානු ඉනිම තරමක පසුබෑමකට මුහුණ දුනි. එහෙත් අවසන් සිය අන්තය ආරක්‍ෂා කරගෙන සිටි පෝල් ඩුමිනි මැද පෙළ කඩා වැටුණු දකුණු අප්‍රිකානු ඉනිමට ජීවයක්‌ ලබාදෙමින් පන්දු 121 කදී ලකුණු 97 ක්‌ ලබා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූQවේය. එහිදී සොසෝබේ සමග අවසන් කඩුල්ල සඳහා ඩුමිනි පන්දු 25 කදී ලකුණු 33 ක්‌ එක්‌ කළහ.

No comments:

Post a Comment