කොච්චිකඩේ පොලිස් වසමට අයත්, තෝප්පුව ග්‍රාමසේවා වසමේ පදිංචිව සිටි පස් හැවිරිදි දරුවකු සිය පියාගේ නවීන පන්නයේ මෝටර් රථය තුළ සිරවී සිහිසුන්ව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 දා මරණයට පත්වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ තෝප්පුව - කොච්චිකඩේ තිදෙනකුගෙන් සමන්විත පවුලේ බාලයා වූ සන්දීප් කෞශල්‍ය ප්‍රනාන්දු නමැති දරුවායි.
මේ දරුවා පියාගේ නවීන පන්නයේ මෝටර් රථය තුළට ගොස් දොර අගුළු දමා ගැනීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවට පත්වී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබේ. දරුවා ආගිය අතක් නොමැතිවීම නිසා ඔහු සෙවීමේ යෙදී සිටි ඤාතීන්ට දරුවා මෝටර් රථය තුළ සිරවී ඇතැයිs අවබෝධ වී තිබේ. කුළුගෙඩිවලින් ගසා වීදුරු කඩා දරුවා පිටතට ගන්නා විටත් ඔහු සිහිමුර්ඡාවෙන් පසුවී ඇත. පළමුව මීගමුව රෝහලට ඇතුළත් කර ඇති දරුවා පසුව ජාතික රෝහලට මාරුකර යවා තිබේ. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 දා ඔහු මරණයට පත්වී ඇත.
දරුවාගේ මරණය පිළිබඳව කොච්චිකඩේ පොලිසිය පරීක්ෂණ පවත්වන අතර අවසන් කටයුතු පසුගිය 13 දා තෝප්පුව කොච්චිකඩේ රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරිණි.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුqල් හක් මහතා විසින් මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අහංගම මහතා දොරවල් වැසී තිබූ වාහනය තුළ සිටියදී දැඩි අව් රශ්මියට භාජනය වීමෙන් බහුවිධ ග්‍රන්ථි අක්‍රිය වීමෙන් දරුවා මරණයට පත්වී ඇති බවත්, එය හදිසි අනතුරකින් සිදුවූවක් බවත් නිගමනය කළේය.
No comments:
Post a Comment