Saturday, April 20, 2013

වරදට සමාව කුමටද දැන්

බොදු ගොවි රූමත් චරිතවත් දියණියට සුදුසු සහකරුවකු සොයයි.... මෙවැනි මංගල දැන්වීම් අපි පුවත්පත් මගින් ඕනෑ තරම් දැක ඇත්තෙමු. මෙම දැන්වීම්වල රූමත් චරිතවත් ලෙස සඳහන් කිරීමට විශේෂ හේතුවක්‌ ඇත. මංගල යෝජනාවලදී බොහෝ මනාලයන් සොයන්නේ කිසිදිනෙක පිරිමියකුගේ අතින්වත් අල්ලා නැති ප්‍රේම සම්බන්ධයක්‌වත් පවත්වා නැති නොයිඳුල් තරුණියකි. ගැහැනුන් සියයක්‌ සමඟ වුව ඇසුර පැවැත්වූ පිරිමියකු නහවා ගෙට ගත් විට පිරිසිදු යෑයි අපේ ගැමියෝ පවසති. නමුත් ගැහැනු දරුවකුට එවන් හිමිකමක්‌ නැත. ඇය එක්‌ පිරිමියකු සමඟ හෝ ඇසුරක්‌ පැවැත්වුවහොත් ඉන් පසු ඇය පිවිතුරු නැත. එනිසා අප වැනි ආසියානු රටවල පවතින සමාජ සංස්‌කෘතිය අනුව දියණියක්‌ ඇසක්‌ මෙන් රැකගත යුතුය. බටහිර රටවල මෙන් පිරිමින් දෙතුන්දෙනා ඇසුර අපගේ සංස්‌කෘතියට අනුව ගැළපෙන්නේ නැත. එවැනි කාන්තාවන්ට අපගේ සංස්‌කෘතිය අනුව පවසන්නේ "සල්ලං වූ ගෑණු" ලෙසය.

නමුත් වර්තමානයේ අප රටේ පවතින සමාජ ක්‍රමය අනුව මෙලෙස "සල්ලං වූ ගැහැනු" ඕනෑ තරම් දැකගත හැකිය. එවැනි ගැහැනු බහුලවම දකින්නට ලැබෙන්නේ නාගරික සමාජයේය. බටහිරටත් නැති පෙරදිගටත් නැති සංස්‌කෘතියක ජීවත්වන ඔවුන් ඇතැම්විට මෙලෙස සල්ලං වන්නේ නොදැනුවත්වය. තවත් සමහරුනට සිය රැකියාව වෙනුවෙන් දැනුවත්ව සල්ලං වීමට සිදුව තිබේ. එනම් සිය ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට අවනත වීමට සිදු වේ. එසේ නොවුන හොත් රැකියාව අනතුරේය. වර්තමාන අප සමාජයේ එවැනි තරුණියෝ ඕනෑතරම් සිටිති. බොහෝ රූමත් තරුණියන් තම ආයතන ප්‍රධානීන්ගේ ආශාවන් ඉටුකරන්නියන් බවට පත්ව තිබේ. එනිසා එවැනි රූමත් තරුණියන් තුළ අපගේ පෙරදිග සංස්‌කෘතියට අනුව පවසන චරිතවත් බව නැත.

පෙරදිග සංස්‌කෘතියට අනුව කාන්තාවකගේ චරිතවත් බව මනින මිනුම් දණ්‌ඩ වනුයේ කන්‍යාපටලයයි. (Hymen) කන්‍යාපටලය හානියට ලක්‌වී ඇත්නම් ඇය චරිතවත් නැතැයි පවසති. කාන්තාවක්‌ගේ කන්‍යා පටලය හානියට ලක්‌වන්නේ ලිංගික එක්‌වීමකදීය. එය හානියට ලක්‌වූවා යෑයි දැනගත හැක්‌කේ පළමු එක්‌වීමේදී කාන්තාවගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමේදීය. එනිසා චරිතවත් කාන්තාවක්‌ නම් විවාහ වී පළමු එක්‌වීමේදී රුධිරය පිටවිය යුතු යෑයි කියා පෙරදිග සංස්‌කෘතියට අනුව සිතන පතන අය සිටිති. එසේ නොවුණහොත් ඇය චරිතවත් නැත. එසේත් නැතිනම් ඇය සල්ලං වූ කාන්තාවක්‌ ලෙස ඔවුහු සිතති.

මෙලෙස කාන්තාවකගේ පිවිතුරු බව කන්‍යාපටලයෙන් තීරණය කිරීමට අපගේ ඇතැම් වැඩිහිටියෝ පුරුදුව සිටින නිසා බොහෝ තරුණියන් මංගල මධු සමය ගතකරන්නට යන්නේ පෝරකයට රැගෙන යන වරදකාරියක ලෙසිනි. ඇත්තටම ඔවුන් චරිතවත් විය හැකිය. නමුත් සිතේ ඇති බිය නිසා සතුටින් මධුසමයට යා නොහැකිය.

එනිසා චරිතවත් කාන්තාවක්‌ වූවත් පළමු එක්‌වීමේදී රුධිරය පිටනොවුණ හොත් ඇයගේ මධුසමයට කණ කොකා හඬන්නට පිළිවන. එනිසා යෝජනා මත විවාහවන්නට පෙරුම් පුරන බොහෝ තරුණයෝ තරුණියන්ගේ පිවිතුරු බව කන්‍යාපටලයෙන් තීරණය කරති. එනිසා යෝජනා මත විවාහ සිදුකිරීමට පළකරනු ලබන මංගල දැන්වීම්වල මනාලිය ගැන තොරතුරු සඳහන් කරද්දී චරිතවත් යන වචනය නැත්නම් එවැනි මංගල දැන්වීම්වලට ප්‍රතිචාර ලැබෙන්නේ අඩුවෙන්ය.

පතිවත පවසන මෙම කන්‍යාපටල ගැටලුව නිසාම ඊට විසඳුම්ද බටහිර විද්‍යාව අනුව සොයාගෙන ඇත. එය කොතෙක්‌ දුරට පෙරදිග සංස්‌කෘතියට ගැලපේදැයි කියා කිව නොහැකිය. කෙසේ වෙතත් බිඳුණු කන්‍යාපටලය යළි සැකසීම සිදුකරන සැත්කම් ඇත. මෙවැනි සැත්කම් මීට වසර කිහිපයකට පෙර සිදුකරනු ලැබුවේ පිටරටවලදීය. නමුත් දැන් අප රටේද පෞද්ගලික රෝහල්හි මෙම සැත්කම සිදුකරයි. රුපියල් දස දහසක්‌, දොලොස්‌දහසක්‌ වැනි මුදලකට එවැනි කන්‍යාපටලය යළි සකස්‌ කිරීමේ සැත්කමක්‌ සිදුකරගත හැකිය.

මෙවැනි සැත්කම් සඳහා අප රටේ නාගරික තරුණියන් බහුලව යොමුවී සිටිති. එසේ සැත්කම් සඳහා යොමුවන ඇතැම් තරුණියන්ගේ සැත්කම් ගාස්‌තු ගෙවන්නේ ඇය සේවය කරන පෞද්ගලික ආයතනයේ ප්‍රධානියා විසිනි. එසේම මෙම කන්‍යා පටලය යළි සකස්‌ කර ගැනීමේ සැත්කම් සඳහා යොමුවන බොහෝ තරුණියන් අතවරයට ලක්‌ව ඇත්තේ ඇය දැනුවත්වය. එනම් රැකියාව නිසා තම ප්‍රධානියාට අවනතවීමට සිදුවීම, තම පෙම්වතා නිසා හැඟීම් පාලනය කරගැනීමට නොහැකිවීම නිසා අතවරයට ලක්‌ව ඇත.

කිසියම් පුද්ගලයකුගේ බලහත්කාරකමක්‌ නිසා අතවරයකට ලක්‌වූවන් මෙවැනි සැත්කම් සඳහා යොමුවන්නේ ඉතා සුළු වශයෙනි.

එබැවින් නාගරික සමාජයේ සෙල්ලක්‌කාර තරුණියන් සල්ලං වී ඇති දැයි කියා කන්‍යාපටලයෙන් තීරණය කිරීමේ යුගය නිමා කිරීමට සිදුව ඇති බව ඉතා කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කළයුතුව ඇත. මන්දයත් කන්‍යාපටල සැත්කමට අනුව විවාහයට පෙර ලිංගිකව එක්‌වූ තරුණියකට සිය මධුසමය පතිනියක ලෙස සැමියා සමඟ ගතකර තම සල්ලංවූ දිවිය හංගන්නට පිළිවන. මෙය පෙරදිග සංස්‌කෘතියට අනුව කිසිසේත්ම අනුමත කළ නොහැකිය. නමුත් ගතින් පමණක්‌ ශ්‍රී ලංකාවේ හිඳිමින් සිතින් බටහිර සංකර සිරිත් විරිත් විදින තරුණියකට තම පතිවත රුපියල් දහදොලොස්‌ දහසකට ලංසු තැබීම යනු සාමාන්‍ය දෙයකි.


පිවිතුරු බව කන්‍යා පටලයෙන් මනින්න එපා
විශේෂඥ වෛද්‍ය මාලින් අබේවර්ධන

කන්‍යාපටලය යළි සැකසීමේ සැත්කම පිළිබඳව අපි ප්‍රසව හා නාරි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්‌ වන මාලින් අබේවර්ධන මහත්මියගෙන් විමසුවෙමු.

වර්තමානයේ අපේ සංස්‌කෘතිය බටහිර සංස්‌කෘතිය සමග මිශ්‍රවෙලා. එනිසා බොහෝ දෙනා එම ගතිසිරිත් අනුව ජීවත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස වර්තමානයේ පාසල් ළමුන් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට දක්‌වන උනන්දුව වැඩිවෙලා තිබෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික පංතිවලට යන තරුණ තරුණියන් අතර මෙය බහුලවම දක්‌නට ලැබෙනවා. මෙය අප වැනි පෙරදිග සංස්‌කෘතියක්‌ ඇති රටකට හොඳ නැහැ. එනිසා දෙමාපියන් තම වයස අවුරුදු 12 - 13 වියේ පසුවන දූ දරුවන් ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුයි. ඔවුන්ගේ එම වයසේදී සිදුවන කායික සහ මානසික වෙනස්‌වීම් ගැන අවධානයෙන් සිටිය යුතුයි. එම වෙනස්‌වීම් ගැන දරුවන්ට අවබෝධ කර දිය යුතුයි. එය කළ හැක්‌කේ මෙම ලිංගික වෙනස්‌වීම් ගැන අවබෝධ කරගෙන තරුණ දූ දරුවන් සමග සමීපව සිටීමෙනි. එවිට ඔවුන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතා සහ ඇසුරු කරන මිතුරු මිතුරියන් ගැන දැනගත හැකියි. ඉන් තම දුවගේ පුතාගේ හොඳම යහළුවා යෙහෙළිය බවට දෙමාපියන්ට පත්වීමට පුළුවනි.

ඒ වගේම තමයි තරුණ දූ දරුවන්ට අනවශ්‍ය ලෙස බලපෑම් කරන්න එපා. ඔවුන්ට දැඩි නීති රීති දාන්න එපා. තරුණ වයසේදී ගැහැනු ළමයෙක්‌ පිරිමි ළමයෙක්‌ වෙත ළංවීම සාමාන්‍ය දෙයකි. පිරිමි ළමයෙක්‌ ගැහැනු ළමයෙක්‌ ගැන සිතීම, ඔවුන් ඇසුරු කිරීමට කැමැත්තක්‌ දැක්‌වීම සාමාන්‍ය දෙයකි. එය දෙමාපියන් අවබෝධ කර ගත යුතුයි.

ඇතැම් දෙමාපියන් දරුවන්ට දැඩි නීතිරීති පනවනවා. තමාගේ දුව පිරිමි ළමයෙක්‌ සමග කතාබහ කළොත් ඊට දැඩි විරෝධය පානවා. පහරදීම වැනි දැඩි දඬුවම් පවා සිදු කරනවා. ඇත්තටම කළ යුත්තේ එය නෙවෙයි. තරුණ වියේ පසුවන දුවගේ පුතාගේ සිරුරේ මතුව ඇති ශාරීරික වෙනස්‌කම් ගැන කියාදිය යුතුයි. තමාගේ තරුණ හැඟීම් පාලනය කරගන්නා ආකාරය පිළිබඳව උපදෙස්‌ ලබාදිය යුතුයි. අප ජීවත්වන්නේ 21 වැනි ශතවර්ෂයේ බව අවබෝධ කරගත යුතුයි. සාම්ප්‍රදායික ආකල්පවල හිඳිමින් දූ දරුවන් හදා වඩාගන්න බැහැ.

වැඩිවියට පත් ගැහැනු ළමයින්ගෙන් 30% ක ගේ කන්‍යා පටලය පිහිටා තිබෙන්නේ හඳ පළුවක්‌ (ඛමබ්) වැනි හැඩයටයි. එවැනි ගැහැනු ළමයකුගේ පළමු එක්‌වීමේදී කන්‍යා පටලය බිඳීයැම සිදුවන්නේ ඉතා කලාතුරකිනි. එනිසා පිවිතුරු බව කන්‍යා පටලයෙන්ම තීරණය කරන්න අමාරුයි. අනෙක පිවිතුරු තරුණියක්‌ කියන්නේ යහපත් ගතිගුණ ගුණධර්ම සමග ජීවත්වන කාන්තාවටයි. කන්‍යාපටලය තිබූ පමණින්ම ඇය පිවිතුරු වන්නේ නැහැ.

කන්‍යාපටලය යළි සකස්‌ කිරීමේ සැත්කම් අප රටේ බොහෝ පෞද්ගලික රෝහල්හි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු විසින් සිදු කරනු ලබනවා. මෙම සැත්කම අපේ රටේ සංස්‌කෘතියට අනුව සම්පූර්ණයෙන්ම අනුමත කරන්න බැහැ. නමුත් වර්තමාන නාගරික සමාජයේ ජීවත්වන ඇතැම් තරුණියන්ට තමාගේ අකැමැත්ත මත වුව විවාහයට පෙර ලිංගික ඇසුරට යොමුවීමට සිදු වෙන අවස්‌ථා මතුවෙනවා. තවත් අය නොදැනුවත්ව එවැනි ඇසුරට යොමු වෙනවා. එහි බරපතළ බව තේරෙන්නේ විවාහ වීමට යැමේදී පිරිමි පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන කොන්දේසි අනුවයි. එනිසා වඩාත්ම සුදුසු දෙය තම තමන්ගේ ලිංගික වර්ධනය ගැන දැනුවත් වී සිටීමයි. එවිට ඇයට තමාගේ පිවිතුරු බව කිසියම් හෝ ආකාරයකට රැක ගත හැකියි.

ඒ වගේම තමයි තරුණයනුත් තමාගේ ලිංගික වර්ධනය සහ මානසික වර්ධනය ගැන දැනුවත් වී සිටීමෙන් හැඟීම්වලට වහල් නොවී අනවශ්‍ය ලිංගික හැසිරීම්වලට යොමුවීම පාලනය කරගත හැකියි.

තමාගේ අකැමැත්ත මත යම් අතවරයකට ලක්‌වූ තරුණියකට විවාහවීමේදී කන්‍යාපටලය මත පිවිතුරු බව සොයන අවස්‌ථාවකට මුහුණදීමට සිදු වුවහොත් ඒ සඳහා විසඳුමක්‌ ලෙස කන්‍යාපටලය යළි සැකසීමේ සැත්කමකට යොමුවිය හැකියි. නමුත් එය පුරුද්දක්‌ බවට පත්කර ගන්න හොඳ නැහැ. ඒ වගේම තමයි කන්‍යා පටලය මතම කාන්තාවකගේ පිවිතුරු බව මැනීමේ දැඩි ආකල්පය තුළ හිඳීමත් හොඳ නැහැ.

කාන්තාවක්‌ කියන්නේ කන්‍යා පටලයෙන් පිවිතුරු බව මැනිය හැකි සරල තැනැත්තියක්‌ නොවෙයි. ඇය මවු පදවිය යන උතුම් තනතුර දරන්නට සුදුසුකම් ලැබූ තැනැත්තියකි. එසේම පිරිමියා කියන්නේත් පිය පදවිය ලැබීමට හිමිකම් කියන ශ්‍රෝෂ්ඨ පුද්ගලයකු මිස හැඟීම්වලට වහල් වී අනාචාරයේ යෙදෙන සල්ලාලයෙක්‌ නොවෙයි. එනිසා මා ඉතා වගකීමෙන් පවසන්නේ කන්‍යා පටලය යළි සැකසීමේ සැත්කම ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල සිදු කරනවා කියා තමුන්ගේ පිවිතුරු බව, චරිතවත් බව නැතිකර ගැනීමට තරම් පහත් තත්ත්වයට පත්වෙන්න එපා කියා මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා යෑයි විශේෂඥ වෛද්‍ය මාලින් අබේවර්ධන මහත්මිය පැවසුවාය.

No comments:

Post a Comment