මෙයට අවුරුදු අටකට පෙර ඔස්ටේ්රලියාවේ කැන්බරා ටයිම්ස් පුවත්පතේ වැදගත් ප්‍රවෘත්තියක් පළවිය. ඒ මගින් කියෑවුණේ ලෝකයේ සාර්ථකම කැසිනෝ ව්‍යාපාරිකයන් ගෙන් අයකුවන ඡේම්ස් පැකර්ට අයත් Crown කැසිනෝවට 2005 පෙබරවාරි මැදදී පැමිණි Harry Kakavas (හැරී කකාවස්) නමැති ධනවත් ව්‍යාපාරිකයෙක් ඩොලර් 10000 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් දහතුන්කෝටි පනස් ලක්ෂයක් ඔට්ටු තබා ක්‍රීඩාව පටන් ගත් හැටිය. ඔහු දැමූ ඩොලර් 10,000 ට ඩොලර් 30,000 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් හතලිස් කෝටි පනස් ලක්ෂයක් ලැබිණි. ඔහු ඒ මුදල් සියල්ල පරාජයට පත්විය. එතැන් පටන් පසුදින එළිවනතුරු ඔහු ඔට්ටු ඇල්ලූ මුදල් සියල්ල පරාජයට පත්විය. සුන්වූ බලාපොරොත්තු ඇතිව ගෙදර ගිය හැරී කකාවස් බැංකුවෙන් ඩොලර් 10000 ක් රැගෙන පසුදින විත් මුල් දිනයේ පැරදුනු දහදාහද, දෙවැනි දිනයේදී ඔට්ටු දැමූ දහදාහද තවත් අමතර දහදාහක්ද යනාදී වශයෙන් ඩොලර් තිස්දහක්ම දිනාගෙන මහත් සතුටින් ගෙදර ගියේය. පසුවදාද ක්‍රවුන් කැසිනෝවට ආ ඔහු පෙරදින දිනූ ඩොලර් තිස්දහසක්, තවත් ඩොලර් තිස්දහසකුත් පැරදී ශෝකයෙන් සහ පරාජිත ස්වභාවයෙන් ගෙදර ගියේය.
එදා සිට පුරා මාස එකහමාරක් ක්‍රවුන් කැසිනෝවට පැමිණි ඔහු හැමදාම පැරදින. කලාතුරකින් ඩොලර් 1000 ක් දිනුවේය. මාස එකහමාර ගතවන විට ඩොලර්¨ බිලියන 1.479 ක් හෙවත් රුපියල් මිලියන දෙකෝටි විසිහත් ලක්ෂයක් ඔහු පැරදුනේය. හැරී කකාවස් සූදු කෙලීමට මුදල් සපයාගෙන තිබුණේ යාළුවන්ට ණයවීමෙනි. බැංකු අයිරා ලබා ගැනීමෙනි. ගේ දොර උකස් කිරීමෙනි. වසර 2006 එක් දවසකදී පමණක් ඔහු පැරදුනු මුදල ඩොලර් දශලක්ෂ 164 ක් හෙවත් ලංකාවේ රුපියල් දසලක්ෂ දොළොස් දහස් පන්සිය හතළිහකි. අන්තිමේදී ඔහු පාරටම විසිවිය. අතේ සතේ නැතිව නන්නත්තාරව සිටි ඔහු කැසිනෝ ක්‍රීඩාව කෙරෙහි තමන් තුළ පැවැති ඇබ්බැහිකම ප්‍රයෝජනයට ගනිමින් ක්‍රවුන් කැසිනෝව තමාගේ මුදල් වන ඩොලර් බිලියන 1.479 ක් දිනාගත් බව කියමින් උසාවියේ නඩුවක් පැවැරීය. තමා පැරදුනු මුදලින් ඩොලර් දශලක්ෂ දෙදහස් අටවසිය තිස්පහක් ආපසු දෙන ලෙස ඡේම්ස් පැකර්ට නියෝග කරන ලෙස ඔහු උසාවියෙන් ඉල්ලා සිටියේය.
හැරී කකාවස් යනු දිවි පරදුවට තබා සූදු කෙළියාවූ සූදු අන්තුවෙකි. පැකර්ගේ Crown කැසිනෝවට යැම සඳහා මුදල් නැතිවූ එක් දවසක ඔහු ඩොලර් 286000 (ලංකාවේ මුදලින් රුපියල් තුන්කෝටි අසූහයලක්ෂ දහදාහක්) සොරකම් කළේය. පොලිසිය ඔහු අල්ලාගෙන රිමාන්ඩ් කූඩුවට දමා ඇඟ බැඳ එළියට දැම්මේය. මීට පෙර ඔහු ඇමරිකාවේ ලාස්වේගාස් සූදු නගරයේද සූදු සෙල්ලම් කර ඇත. එතැනින් ජෙට් එකක් කුලියට ගෙන එහි නැග මැකාවු නමැති කැසිනෝ දූපතට ගුවනින් ගොස් පැය 24 ක් තුළ ඩෙලාර් ලක්ෂ 40ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් කෝටි පනස් හතරක් පරුදුණේය. ඔහු ක්‍රීඩා කිරීමට වඩාත් ප්‍රිය කළ සූදුව Baccarat ය. බැකරැට් යන බූරුවා කුට්ටම යොදාගෙන කරන සූදුවකි. මෙයට කිසිදු ආකාරයක දක්ෂකමක් අවශ්‍ය නොවන අතර "වාසනාව" ලෙස හඳුන්වන සම්භාවිතාව පමණක් බලපාන්නේය. සූදුකාරයා මෙහිදී ක්‍රීඩා කරන්නේ තමන් අතට ලැබෙන කාඩ්වලට අනුවය. කොළ බෙදන්නේ කුට්ටම අනන්නාය. කුට්ටම ඇනෙන විදියට ඔහු කොළ බෙදාගෙන යයි. මෙය හොර කිරීමට ඉතාම අපහසු ක්‍රීඩාවකි. පාර්ශ්ව දෙකක් අතර පමණක් කෙරෙන සූදුවකි. පළමු පාර්ශ්වය සූදුකරුවා වන අතර දෙවන පාර්ශ්වය කල්බ්එකය. සූදුකාරයා player ලෙසත්, කල්බ්එක Banker ලෙසත් මෙහිදී හැඳින්වේ. ඩොලර් 50 ක් සාක්කුවේ දාගෙන කැසිනෝවට ගොස් Baccarat ක්‍රීඩාවෙහි යෙදී ඩොලර් පනස් ලක්ෂයක් දිනාගෙන එන සුදු අන්තුවෝ යුරෝපයෙහි සිටිති.
හැරී කකාවස් සැළකෙන්නේ ඔස්ටේ්රලියොවේ කැසිනෝ ඉතිහාසයේ ලොකුම පරාජිතයන් දෙතුන් දෙනාගෙන් කෙනකු ලෙසය. ඔහුට උසාවි යැමට ඇති අයිතිය කුමක්ද?
මේ ගැන දැනගැනීම සඳහා පසුගිය සතියේදී මම ශ්‍රී ලංකාවේ ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු හමුවුණෙමි. කොළඹ පිහිටි කැසිනෝ ක්ලබ් එකක අත්උදව්කරුවකු ලෙස ජීවිතය පටන් ගත් ඔහු අද ගෙදර සිට CCTV කැමරා මගින් තම කැසිනෝවේ සූදු කෙළින ආකාරය නිරීක්ෂණය කරයි. සූදු කෙළින්නකු හොරයක් කරනවිට ඔහුට පෙනෙන අතර ඔහු වහාම ඒ බව ක්ලබ් එකට දන්වයි. තම සේවකයකු හොර කරන විට ඔහුට හසුවෙයි. කැසිනෝ ක්ලබ් එකක් යනු එයටම ආවේණික අභ්‍යන්තර නීති පද්ධතියක් ඇති ආයතනයකි. සූදුකාරයකු හොර කර අසූවූ විට ඔහු සමග ඔට්ටු ඇල්ලීම එතැනින්ම නවත්වන කැසිනෝව ඔහු දිනූ සියලු මුදල් ඔහුට දී විනීත ලෙස කැසිනෝවෙන් ඔහු ඉවත් කරන අතර මතු කෙදිනකවත් ඔහු ක්ලබ් එකට වැද්දා ගන්නේ නැත. එහෙත් සේවකයකු සොරකම් කර හසුවන විට ක්ලබ් එක කරන්නේ ඔහු ක්ලබ් එකේම කාමරයකට රැගෙන ගොස් නිරුවත්කර පහරදී පයින්ද ගසා එළියට දැමීමය. ඉන්පසු ඔහුට වෙනත් කිසිදු කැසිනෝවක රැකියාවක් ලැබෙන්නේ නැත. සේවකයාද කැසිනෝවට විරුද්ධව පොලිසි නොයන අතර කැසිනෝවද යළි කවදාවත් ඔහු ගැන සොයන්නේ නැත.
මා මගේ කැසිනෝ හිතවතා හමුවූයේ හැරී කකාවස්ට උසාවි යැමට අයිතිය තිබේද යන්න දැන ගැනීමට බව පාඨකයාට නැවතත් මතක්කර දෙමු. මගේ මිතුරා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව එබඳු නඩුවක් ඉදිරියට ගෙන යැමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන නැතත් යුරෝපයේ එබඳු නඩුවකට ඉඩ ඇති බවය.
මෙහිදී මම හැරී කකාවස්ගේ නඩු නිමිත්ත තුළ ඇති දුර්වලකම ගැන තර්ක කළෙමි. කැසිනෝ හිතවතා මට මෙසේ කීවේයá "ලංකාවේදී නම් මෙය නීතිඥයකුට භාර ගැනීමටවත් පුළුවන් නඩුවක් නොවයි. මොකද, කැසිනෝව ඩොලර් බිලියන එකහමාරක් වංචා කළ බවක් ඔප්පු කරන්න බැහැ. කැසිනෝව මේ මුදල් දිනාගෙන තිබෙන්නේ තරගකාර පාර්¨ශ්වයේ කැමැත්ත ඇතිව සූදු කෙළීම මගින්. සූදු කෙළින්නා සූදුවට ඇබ්බැහි වී තිබෙනවාද නැද්ද යන කාරණය ක්ලබ් එකට වැදගත් වන්නේ නැහැ. කැසිනෝව නිසි සුදුසුකම් සපුරා ලියාපදිංචි වූ බදු ගෙවන ආයතනයක් නම් පැරදුන නිසා නඩු යන්නට අපේ රටේදී බැහැ. එහෙත් පිටරටවල නිතිය කටයුතු කරන්නේ කැසිනෝවට නොව සූදු කෙළින්නාට මුල් තැනක් දෙමිනි. කෙනකු දිගටම පරාජය වන විට ඔහුගේ මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝනය වන බව ඒ රටවල නීතියට ඒත්තු ගන්වන්න පුළුවන්. උල්ලංඝනය වූ එම අයිතිවාසිකම තමයි ජයග්‍රහණය කිරීමට තිබෙන අයිතිවාසිකම. මා උදාහරණයක් කියන්නම්. මෙයට කලකට පෙර ඇමරිකාවේ ක්ෂණික කෝපි ආයතනයකින් කෝපි කෝප්පයක් මිලට ගත් කාන්තාවක් එය රැගෙන යන විට කෝපි ඇඟේ ඉහිරුනා. කෝප්පය පියනකින් වසා තිබුණත් පියන තද කරන්න බැරි එකක්. ඇගේ සිරුරේ හැලුණේ උතුරන කෝපි. ඇය උසාවියට කීවේ කෝපි සමාගමේ නොසැලකිල්ල නිසා ඇගේ සිරුරට හානි වූ බවයි. උසාවිය ඇයට වාසියට තීන්දුවක් දෙමින් ඩොලර් 60000 ක් ඇයට ගෙවන ලෙස කෝපි සමාගමට නියෝග කළා. මෙය ලංකාව වැනි රටක අවම වශයෙන් වලංගු නඩු නිමිත්තක්වත් වෙන්න පුලුවන් දෙයක් නොවෙයි. ඒ අනුව Cරදඅබ කැසිනෝවට විරුද්ධව නඩුව ඉදිරියට ගෙන යන්න ඕස්ටේ්රලියාවේදී පුළුවන්.."
"කැසිනෝවකට එන කෙනකු නැවැත්වීමට අයිතිය කැසිනෝවකට තිබෙනවාද?" මම මිතුරාගෙන් ඇසුවෙමි.
"අයිතිය කොහොම වුණත් අප එහෙම කරන අවස්ථා තිබනෙවා. නීති ක්ෂේත්රයේ ඉහළ කෙනෙක් නිතරම කැසිනෝවකට යන බව අප දැක්කා. අප වහාම ඔහුව නැවැත්තුවා. හේතුව ඔහු කැසිනෝ ගහන බව ප්‍රසිද්ධ වුණාම ඔහුගේ ක්ෂේත්රය තුළදී ඔහුට ප්‍රශ්න මතුවෙනවා. එවිට එම ප්රශ්නය රටේ පරිපාලනයට බලපානවා. තවත් වතාවක් අපේ කැසිනෝව ඉස්සරහට ඇවිත් ඉන්න වැදගත් කාන්තාවක් මට දකින්නට ලැබුණා. ඇය ඇතුළට නෑවිත් හඬමින් සිටියා. පසුව සොයා බලද්දී දැනගන්නට ලැබුණේ ඇගේ සැමියා ගේ දොර වතු පිටි සියල්ල උකස්කර කැසිනෝවට එන බවයි. ඔහු රුපියල් කෝටි ගණනක් පැරදී තිබූ අතර, ඒ වන විට ඔවුන්ගේ ගේ පවා සින්න වෙන තත්ත්වයක් තිබුණා. මුළුÊපවුලම මහපාරට වැටෙන අවස්ථාවක් ඇවිත් තිබුණා. මා ඒ කාන්තාව සමඟ කතාකර ඔවුන්ගේ නිවස සහ මෝටර් රථය උකස්කරුවන්ගෙන් බේරා දී ඇගේ සැමියා අපේ කැසිනෝවට වැද්ද ගැනීම තහනම් කර අනෙක් කැසිනෝවලටත් පණිවුඩයක් දුන්නා. දැන් ඔහු කැසිනෝ ගහන්නේ නැහැ.
ඉහතින් සඳහන් වූයේ කැසිනෝ පිළිබඳ කතන්දර කිහිපයක් පමණි. එහෙත් නොකියන ලද මෙවැනි කතා තව සිය ගණනක් ඇති බව කියූ මගේ මිතුරා තම කැසිනෝව තුළ තිබෙන තරුපහේ භෝජන සංග්‍රහයකට මට ආරාධනා කළේය.
No comments:
Post a Comment