එක්තරා දිනයෙක වෛද්‍ය රාජපක්ෂ මහතා සේවය කළ වාට්ටුවට ඇදුම රෝගය වැළඳුනු කාන්තාවක් ඇතුළත් කරනු ලැබුවා.
එම කාන්තාවගේ වයස අවුරුදු තිහක් පමණ ඇති. ඇදුම රෝගය උත්සන්න මට්ටමක නොතිබුණත් ඇය වාට්ටුවට ඇතුල් වුණු මොහොතේ පටන්ම නිරතුරුවම කීවේ තමා මියයන බවයි.
සාමාන්‍යයෙන් ඕනෑම ඇදුම රෝගියෙකු තම රෝග තත්ත්වය උත්සන්න තත්ත්වයට පත් වෙනකොට තමා මියයාවි යැයි ලොකු බයකින් පසුවෙනවා. මොකද මේ රෝගය ආශ්වාස ප්‍රාශ්වාසය සම්බන්ධ රෝග තත්ත්වයක්නේ. නමුත් ඒ හැම රෝගියෙක්ම මියයන්නේ නෑ.
වෛද්‍යවරුන් ඇතුළු ඒ මොහොතේ සිටින හෙද කාර්ය මණ්ඩලයත් ඒ වෙලාවට රෝගීන්ව අස්වසන එකත් සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.
කොහොම වුණත් මේ කියන කාන්තාව තදබල තත්ත්වයක සිටියේ නෑ.
නමුත් තමා මේ රෝගයෙන් මේ මොහොතේ මියයන බව නිරන්තරයෙන් කී ඇය ඒ සමගම මන්තරයක් මතුරන්නාක් මෙන් කී තවත් වචන පෙළක් තිබුණා. ඒ තමයි “මගෙ මිනිහට සාප වෙන්න ඕනෙ.” කියන එක.
ඇයට වෛද්‍යවරුන් වහා වහා ක්‍රියාත්මක වී ප්‍රතිකාර ලබා දෙන අතරේ පවා හුස්ම අල්ලා ගන්නට හැකි හැම අවස්ථාවකම ඇය මේ වචන පෙළ මිමිණුවා. ඇය මෙසේ පවසන්නේ ඇයි දැයි වෛද්‍යවරුන්ට ඒ මොහොතේ විමසන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ.
කළ යුතු සියලුම ප්‍රතිකාර නොපමාව ලබා දුන්නත් වෛද්‍යවරුන් කිසිසේත් අපේක්ෂා නොකළ පරිදි මේ කාන්තාව මියගියා. මියයන මොහොත දක්වාම ඇය තෙපලුවේ” මගෙ මිනිහට සාප වෙන්න ඕනෙ” කියන වචන පෙළමයි.
මේ කාන්තාව තමන්ගේ සැමියා කෙරෙහි එපමණ වෛරයකින් පසු වූ හේතුව ගැන විශාල කුතුහලයක් වෛද්‍යවරුන්ට වගේම අනිකුත් කාර්ය මණ්ඩලයටත් තිබුණා. ඒ වගේම ඇය තදබල වෛරයක් සිතේ දරා ගෙන මෙලොවින් සමුගැනීම පිළිබඳවත් කවුරුන් තුළත් වූයේ ලොකු කම්පාවක්.
හදිසියේ සිදු වූ මරණයක් නිසා ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයක්ද අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කරනු ලැබුවා. එහිදී ද ඇගේ මරණයට හේතුව ඇදුම රෝගය බවට තහවුරු වුණා.
ඒ අනුව ඇය සැමියා කෙරෙහි වෛරයෙන් මියගියත් එම මරණය මිනීමැරුමක් හෝ සියදිවි නසාගැනීමක් වුණේ නෑ. පසුව මේ කාන්තාව පිළිබඳව තොරතුරු ඇගේ සමීපතම අයෙකු වෙතින් අනාවරණය වී තිබුණා.
ඇය දෙදරු මවක්. ඔවුන් දෙදෙනාම ගැහැනු දරුවන්. වැඩිමහල් දියණිය එවකට දහතුන් හැවිරිදියි. දෙවැන්නී අට හැවිරිදි වියේ පසුවුණා. කිසිදු රැකියාවක් නොකළ ඇගේ සැමියා ඉඳහිට ලැබුණු කුලී වැඩකින් හරි හම්බ කළ මුදල වැය කළේ මත්පැන්වලට. මේ හේතුව නිසා දරු දෙදෙනාත් සමග මේ කාන්තාව නිරා දුක් වින්දා.
ඇගේ දෙමාපියන් තරමක් වතුපිටි ඉඩකඩම් තිබූ අය. ඒ ඉඩකඩම්වල කුලී වැඩට ආපු ඔහු සමග ඇය ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුණේ පාසල් යන වයසෙදී.
මේ සම්බන්ධය නිසා තමන්ගේ ජීවිතය සහමුලින්ම උඩු යටිකුරු වේවි යැයි ඇයට සිහිනෙන්වත් නොසිතෙන්න ඇති. දෙමාපියන් මේ සම්බන්ධය දැනගත් පසු ඇගේ පාසල් ගමන පවා නතර කර ඇය ගෙතුළ සිර කරගත්තා.
ඔහුට එම ඉඩකඩම්වල පස් පා ගන්නවත් දුන්නෙ නෑ. නමුත් ජීවිතය පිළිබඳව හසරක් නොදැන සිටි ඇයට වුවමනා වුණු එකම දෙය වුණේත් ඔහු පමණයි. ඒ නිසාම ඇගේ එකම අරමුණ වුණේ ඔහු සොයා යාමයි.
මේ නිසාම එක්තරා දිනෙක ඇය තමාගේ රන් ආභරණත්, බැංකු පොතත්, ගෙදරින් තව මුදල් ටිකකුත් සොරාගෙන ඇඳුම් කිහිපයකුත් රැගෙන ඔහු සොයා ගියා.
තමා අඳුරු ප්‍රපාතයකට විහින්ම පැන ඇති බව මේ තරුණියට වටහා ගන්නට වැඩි දවසක් ගත වුණේ නෑ. ඔහු හිටියෙ ඔහුගෙ මිතුරෙකුගෙ නිවසේ කුඩා කාමරයක. ඒ මිතුරාත් මේසන් බාස් කෙනෙකුට අත්වැඩ කළා.
දෙදෙනාම එකතුවෙලා හැන්දෑවට ගජරාමෙට මත්පැන් බොනවා. මිතුරාගේ බිරිඳ සහ දරුවාත් මේ නිසා දුක් වින්දා. ඇය මේ තරුණියගෙන් විමසූ එකම පැනය වුණේ ‘ඇයි නංගියේ උඹ දැනදැනම මේ වගේ අවීචි මහ නරකාදියකට වැටුණෙ.?”යන්නයි.
මේ ආකාරයට වසරක් පමණ ගත වන විට ඇගේ පළමු දියණිය බිහිවුණා. ඒ දරුවා බිහි වන්නට සිටින කාලයේදීත් සැමියා ඇය ගැන වැඩි උනන්දුවකින් සොයා බලා තිබුණේ නෑ.
ඒ වගේම මේ කාලය වන විට ඇගේ බැංකු ගිණුමේ මුදල්ද ටිකෙන් ටික සිඳී යමින් තිබුණා. එහෙත් රැකියාවක් සොයා ගෙන තම දරු පවුල නඩත්තු කිරීමේ වුවමනාවක් ඇගේ සැමියාට තිබුණේ නෑ.
පළමු දරුවා පාසල් යන වයස වන විට ඇගේ දෙවන දියණියත් බිහි වී සිටියා. දෙමාපියන්ගෙන් මේ වන විටත් ඇයට සමාවක් ලැබි තිබුණේ නෑ. පුදුමාකාර මානසික පීඩනයකින් ඇය කල දවස ගත කළේ. දෙමාපියන් වෙත යාමට ඇයට වුවමනාවක් නොතිබුණාම නොවෙයි.
එසේ ගියා නම් දරු දෙදෙනා සමග තමාව ඔවුන් එලවා නොදමන බවත් ඇය විශ්වාස කළා. නමුත් සැමියාගෙන් ඊට ඉඩක් ලැබුණේ නෑ. හිතුවක්කාර ලෙස ගෙදරින් පිටව යාමටත් ඇය බය වුණා.
දරුවන් දෙදෙනා තරමක් ලොකු මහත් වෙන විට ඇය ඔවුන් දෙදෙනා ගෙදර තබා අසල නිවෙසක බැල මෙහෙවරකම් පවා කළා. විශේෂයෙන් දෙවන දියණියත් පාසල් යන වයසට ආවට පස්සෙ ඇය දියණියන් පෝෂණය කළේ එම රැකියාවෙනුයි.
මේ වන විට ඇගේ බැංකු ගිණුමේ සතයක්වත් තිබුණේ නෑ. අඟහිඟකම් ඇගේ ජීවිතය වටා පිරී තිබුණා. ඒ අතරෙම ඇය ඇදුම රෝගයෙනුත් වරින් වර පීඩා වින්දා. නමුත් ඒ කිසිවකට නිසි ප්‍රතිකාරයක් ගැනීමට ඇයට හැකියාවක් තිබුණේ නෑ.
මොන දේ අහිමි වුණත් ඇය තමාගේ රන් ආභරණ ටික සැමියාට හොරෙන් සඟවා තබාගෙන රැකගෙන සිටියේ තමාට ඉතිරිව තිබෙන එකම වත්කම එය පමණක් නිසයි.
දිනක් ඇය නිකමට මෙන් තම රන් ආභරණ සඟවා තිබූ තැන බැලුවේ සෑහෙන කලකින් එය බලන්නටවත් අමතක වූ නිසයි. එහෙත් රන් ආභරණ දමා තිබූ ප්ලාස්ටික් පෙට්ටිය හිස්වී තිබුණා.
ඇය උමතු වූවකු මෙන් කාමරය පුරා රත්තරන් බඩු සෙව්වා. ඒත් හමුවුණේ නෑ. බැරි තැන ඇය සැමියා සොයා දිව ගියා. ඔහු හිටියෙ අසල නිවසක දාම් අදිමිනුයි.
“මගෙ රත්තරන් බඩු ටික නෑ.” ඇය හති හලමින් කිව්වා., “කෑ නොගහ පලයන් ගෑනියෙ. මං වැඩක්. ඔහු කිසිදු ගණනක් නැතිව කී ආකාරයෙන්ම රන් ආභරණවලට සිදුවී ඇති විපත ඇය වටහා ගත්තා. නිවසට පැමිණි ඇය විලාප දෙමින් හැඬුවා.
මේ අතර ඇගේ ඇදුම රෝගයත් ඉස්මතු වුණා. ඊට පසුව තමයි ඇය රෝහල්ගත කර තිබුණේ. අන්ත අසරණ කාන්තාවක් ලෙස සිය විවාහ ජීවිතය තුළ අනේක විද දුක් විඳි ඇය සැමියා කෙරෙහි වෛරයෙන් මිය ගිහින් තිබුණේ ඔය ආකාරයටයි.
No comments:
Post a Comment