1970 - 77 අතර කාලය තුළ පැවැති සමගි පෙරමුණු ආණ්ඩුවේ සිටි එක්තරා ප්‍රබල ඇමැතිවරයකු අන්‍යයන් අතර ප්‍රසිද්ධව සිටියේ නොම්මර එකේ මනමාලයකු වශයෙනි. ඔහු ඒ වන විට හැට වියටත් එළඹ සිටියද හෙතෙම වැඩිපුරම ආකර්ෂණය වූයේ ළාබාල තරුණියන් කෙරෙහිය.
අපොයි මෑන්ගෙන් වැඩක් කර ගන්නං ඉතින් සාරියක් ඇඳගෙනම යන්න ඕනෑ යි කියමින් සිනාසුණු ඇතැම් තරුණ මන්ත්‍රීවරුන්ගේ පිළිගැනීම වූයේ ළාබාල තරුණියන් කෙරෙහි දැඩි ලෙස ආකර්ෂණය වන එම පුද්ගලයා දවසක අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නා බවය.
ඒ කාලයේ රාජ්‍ය සේවයේ හැම පත්වීමක්ම ලබාදෙන ලද්දේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ ලැයිස්තුවටය. තරග විභාගවලට ඉදිරිපත් වී ඉහළින්ම සමත්වන තරුණ තරුණියන් පවා මන්ත්‍රී ලැයිස්තුවෙන් හැලී ගියේ ඔවුන් විරුද්ධ පක්ෂයේ හිතවතුන් ලෙස කවුරුන් හෝ මන්ත්‍රීවරයාට කේලාම් කීමේ හේතුවෙනි.
එලෙස පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් හැලීයන සියලුම තනතුරු පුරප්පාඩු ප්‍රතිපූරණය කිරීම සඳහා අදාළ ඇමැතිවරයා දතමැද ගෙන බලා සිටියේය. ඔහු එම තනතුරු පුරප්පාඩුවලට පත් කරන ලද සියලු දෙනාම පාහේ තරුණ කාන්තාවන්ය. ඒ සඳහා සුදුස්සන් තෝරා ගන්නා ලද්දේ ද ඔහු විසිනි.
මේ යකා අපේ කෝටා එකටත් කෙළින්නයි බලාගෙන ඉන්නේ යි කී සෙසු මන්ත්‍රීවරුන් අදාළ ඇමැතිවරයා සමග බලවත් කෝපයෙන් පසුවුවද ඒ ගැන අගමැතිනියට පැමිණිලි කිරීමට ඉක්මන් නොවූයේ එම පුද්ගලයා දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ පවා සමීප හිතවතෙකු වූ බව දැන සිටි නිසාවෙනි.
හොඳයි පුතෝ අඹරන්නං කෝ උඹට හොඳ ගුලියක් යි කී එම පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිස ඒ සඳහා කල්යල් බලමින් පසු වූයේ සුදුසු අවස්ථාවක් එළඹෙන තුරුය.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා නහරකාර මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රී සගයෙකුද සමග එම ඇමැතිවරයා හමුවීමට ඔහුගේ නිල නිවසට ගොස් තිබුණේ පදමට ඉදුණ දූරියන් මල්ලක්ද රැගෙනය.
සර්.... අපි දන්න කියන ගෑනු ළමයෙක් ඉන්නවා, ඒ ළමයා තමන්ගේ පවුලේ කීප දෙනෙකුට පත්වීම දෙක තුනක් දෙනවනං සර් වෙනුවෙන් ඕනම සැලකිල්ලක් කරාවි...
තමන් හමුවීමට පැමිණි එම පසුපෙළ මන්ත්‍රීවරුන් දෙදෙනා එසේ කී විට ඇමැතිවරයා ගේ දෙනෙත්වලට අමුතුම එළියක් වැටුණේය.
කොහේද අයිසේ මේ දවස්වල රස්සාවල්? යි කියමින් මුලින් නැතිවාදම් කී වයසක ඇමැතිවරයා මන්ත්‍රීවරුන් දෙපළට ඊළඟට කියාසිටියේ ඇයට ඉඩ ඇති වෙලාවක තමුන් හමුවන්නැයි දැනුම් දෙන ලෙසය.
හරි... සර් අපි ලබන සතියෙම එවන්නං
එසේ කී ඔවුන් අනේ සර් මෙන්න මේ අපේ ආසනේ තුන්හතර දෙනෙකුටත් පත්වීම් ටික්ක ගන්න ඕනෑ යි කියමින් ඉදිරිපත් කළ නම් ලැයිස්තුවට ලොක්කා ඒ මොහොතේම අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව ඊට ටික දිනකට පසු ඔවුන්ට අදාළ රැකියා ලැබුණු අතර එම ඇමැතිවරයා මන්ත්‍රීවරුන් දෙපළට නිතර නිතර දුරකථන ඇමැතුම දෙමින් ආගිය තොරතුරු විමසා තිබුණේ තමන්ට වූ පොරොන්දු ගැනද අනියම් අයුරකින් සිහිපත් කරමිනි.
ඒවා හරි සර්, ඒ ගැන බයවෙන්න එපා. අපි හෙටම එවන්නං යි කී එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඊළඟට කළේ අර ඇමැතිවරයාටත් වඩා වසර 15කින් පමණ වැඩිමහල් වයෝවෘද්ධ ගැහැනියක ඔහු හමුවීමට පිටත් කර හැරීමය.
ඇය මුලින්ම ඔහුට දුරකථනයෙන් කතා කළාය.
ආ.. එන්න එන්න ළමයෝ මොන එහෙකට ලැජ්ජවෙනවද? යි කියමින් විනාඩි තුන හතරක් ඇය සමග දුරකථනයෙන් තොදොල් වූ ඇමැතිවරයා තමන් හමුවීමට පැමිණෙන කාන්තාව උඩුමහලට කැඳවා ගෙන එන ලෙස කියමින් සේවකයෙකුද පහලට යැව්වේය.
ඔහු එලෙස ඉවසුමක් නොමැතිව බලා සිටියේ ඉතා ළාබාල රූමතියක් දැන් දැන් තමන් හමුවට පැමිණෙතැයි සිහින මවමිනි. එහෙත් ඊළඟ මොහොතේ මහත්තයා යි කියමින් තමන්ගේ නිදන කාමරයට එබුණු වයසක කාන්තාව දුටු ඇමැතිවරයාට දවල් තරු පෙනුණේය.
ඇය දුටු විගස තමන්ට එම ලණුව දුන් තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනා ගැන ඔහු තුළ ඉවසිය නොහැකි අන්දමේ කෝපයක් ඇති වූයේ ඉබේටමය. එසේ වුවද ඇමැතිවරයා ඔවුන්ගෙන් පළි ගැනීමට නොගියේ එසේ කළහොත් එම මන්ත්‍රීවරුන් දෙදෙනා මුළු සිද්ධියම ලොක්කගේ කනේ තබනු ඇතැයි සැකයෙනි
No comments:
Post a Comment