තිසර පෙරේරාගේ පාසල් ක්‍රිකට් පුහුණුකරු හර්ෂ ද සිල්වා කියන කතාවක්...
නාරංගොඩ ලියනආරච්චිලාගේ තිසර චිරන්ත පෙරේරා එහෙමත් නැතිනම් තිසර පෙරේරා අද ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නැතුවම බැරි ක්‍රීඩකයකු බවට පත් වෙලා. වමතින් පන්දුවට පහර දෙන තිසරගේ දැවැන්ත පහරවල් බලන්න ක්‍රීඩා ලෝලීන් දක්වන්නේ දැඩි කැමැත්තක්. 2009 අවුරුද්දේ දෙසැම්බර් 24 වෙනිදා ඉන්දියාවේ කොල්කටා හිදී ඉන්දියාවට එරෙහිව එක්දින තරගයකින් පළමු පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ තිසර එම තරගයේදී ලකුණු 31 ක් රැස් කළා. මේ වන විට ප්‍රවීණ ක්‍රිකට් තරුවක් බවට පත්ව සිටින තිසරගේ පාසල් සමයේ දස්කම් ගැන කතා කරන්න අපි ඔහුගේ පාසල් සමයේ (මරදාන ශාන්ත ජෝසප් විදුහල) ක්‍රිකට් පුහුණුකරු වූ හර්ෂද සිල්වා මුණ ගැසුණා.
“තිසර ශා. ජෝසප් විද්‍යාලයට ආවේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉඳලා. එතකොට තිසරට වයස අවුරුදු 15ක් විතර ඇති.
2006 ඉඳලා අවුරුදු 3 ක් ශාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළා. ඒ අවුරුදු තුනේම ශාන්ත පීතර විද්‍යාලයත් එක්ක පැවැත්වුණු වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී හොඳම පන්දු යවන්නා, තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන හොඳම ක්‍රීඩකයා වගේම තරගයේ වීරයා වුණේ තිසර.” හර්ෂ තිසර පිළිබඳ අතීතය මතක් කරමින් අපේ කතාබහට එක්වූයේ එහෙමයි.
පාසල් කාලයේ දී හර්ෂට මතකම හිටපු තිසරගෙ ඉනිම ක්‍රීඩා කරලා තියෙන්නේ 2007 පාසල් මහා ක්‍රිකට් තරගයේ දී. “මට මතකයි අඩු පන්දු ගණනකින් තිසර අපූරු ලකුණු 96ක් රැස් කළා. ඒ අවුරුදු තුනේම වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත්තෙත් තිසර” හර්ෂ මතක් කළා.
තිසර මහත් කැපවීමකින් පුහුණුවීම්වලට සහභාගි වෙමින් මහත් උනන්දුවකින් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ලු. ඒ කැපවීම නිසාම වයස අවුරුදු
19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් දෙවරක්ම 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙන්නත් තිසර වරම් ලැබුවා.
ඒ හැමදේටම වඩා ඔහුට තිසර පිළිබඳ වඩාත්ම මතක හිටින සිදුවීම වෙලා තියෙන්නෙ 2008 අවුරුද්දේ. එතකොට රට පුරා කොටි කලබලත් තියෙන කාලෙ. ඒ පාසල් ක්‍රිකට් සමයේ පාසල් දෙකක් අතර තිබුණ දින දෙකේ ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරපු තිසර දෙවන දිනයේ සෙල්ලම් කරන්න ඇවිත් නැහැ. ඒ පාර ගෙදරට කතා කරලා බැලුවහම ගෙදරින් කිව්වලු තරගයට සහභාගි වෙන්න ඉස්කෝලෙට ආවා කියලා. එතන ඉඳලා ඉස්කෝලෙ කට්ටියයි, ගෙදර කට්ටියයි ජාඇළ ඉඳලා මරදාන වෙනකම් තියෙන පොලීසිවල සෝදිසි කරලා බැලුවලු. ඒත් තිසර ගැන කිසිම හෝඩුවාවක් ලැබිලා නැහැ. අන්තිමට මහ ඉස්පිරිතාලෙත් හොයලා. ඒත් කිසිම ආරංචියක් නැහැ. පස්සෙ එදා හැන්දෑවෙ තිසර ගෙදර ඇවිත්.
තිසර කියපු විදිහට සිද්ධ වෙලා තියෙන්නේ එදා මැච් එකට එන්න ආපු තිසරව පොලීසියෙන් අල්ලගෙන. හැඳුනුම්පත ඉල්ලලා තියෙනවා. තිසර ළඟ හැඳුනුම්පත තිබිලා නැහැ. ඒ පාර තිසරව දවසම පොලීසියෙ තියාගෙන හැන්දෑවේ ගෙදර යවලා.
කොහොම හරි මේ සිද්ධියට විනය ගැන බොහොම තදින් සලකන ශාන්ත ජෝසප් විදුහලේ අධ්යක්ෂ පියතුමා පියවරක් ගත්තා. ඒ තරග තහනමක්. තිසරට ඉන් පස්සේ තරග දෙකකට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. ඊළඟට තිබුණෙ ශාන්ත පීතර විදුහල එක්ක තිබුණු මහා ක්‍රිකට් තරගය. ඒකට තිසර අවශ්‍යම ක්‍රීඩකයෙක්. පස්සේ හර්ෂ (පුහුණුකරු) චමින්ද වාස් ඇතුළු ආදි ශිෂ්‍ය කණ්ඩායමක් එක්ක අධ්යක්ෂ පියතුමා ළඟට ගිහින් සෑහෙන වෙලාවක් කරුණු කිව්වට පස්සේ තිසරව කණ්ඩායමට ගන්න අවසර ලැබිලා. තරගය ආරම්භ වෙන්නේ සිකුරාදා. සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා හවසට මුළු ක්‍රිකට් කණ්ඩායම විදුහලේ නතර වෙන එක සිරිතක්. බ්‍රහස්පතින්දා හැන්දෑවෙ තමයි ඒ අවසරය ලැබිලා තියෙන්නේ. ඒ ගමන්ම ආදි සිසුවෙක් වාහනයක තිසරලගෙ ගෙදරට ගිහින් තිසරව පාසලට එක්කගෙන ඇවිත් තියෙනවා.
“විශේෂම දේ කියන්නෙ අපි අවුරුදු 36 කට පස්සෙ ඒ බිග් මැච් එක දිනුවා. තරගයේ වීරයා වුණේ තිසර. තිසර නොහිටියානම් තරගය සමහර විට ජය පරාජයකින් තොරව අවසන් වෙන්න තිබුණා.” හර්ෂ කියනවා
කොහොම හරි ඒ තරගය දිනපු සතුටට ලංකාවෙ සහ ඕස්ට්‍රේලියාවෙ ඉන්න ශාන්ත ජෝසප් විදුහලේ ආදි ශිෂ්‍යයන් ක්‍රිකට් කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේ සංචාරයක් සූදානම් කරලා. ඒත් මංගල උත්සවයකට සහභාගි වෙන්න තියනවා කියලා තිසර ඒ සංචාරයට සහභාගි වුණෙත් නැතිලු.
No comments:
Post a Comment